අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නව රජය අවලංගු කළා ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අදානි සමාගම සමඟ පසුගිය රජය ගිවිසුම්ගතව ඇති මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව රජය විසින් අවලංගු කළ බවට පුවත් සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද පළ වූ බැවින් රජය එවැනි තීරණයක් ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

නව  ආණ්ඩුව විසින් අදානි සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණේ මේ අයුරින්.

 

Fb|Archive / Fb|Archive

සමාජ  මාධ්‍ය සටහන්වල මෙන් ම මෙරට ඇතැම් පුවත් වෙබ් අඩවි විසින් ද පසුගිය රජය අදානි ග්‍රීන් ඒජන්සි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව රජය විසින් අවලංගු කර ඇති බවට පුවත් වාර්තා කර තිබුණා. එම පුවත් මෙතනින් සහ මෙතනින්.

මෙරට ප්‍රධන පුවත්පතක්වන දිවයින පුවත්පතේ ද මෙම ගිවිසුම අවලංගු කිරීමට නව රජයේ කැබිනට් අනුමැතිය හිමි වූ බවට පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

.

පුවත්පත් ඉදිරිපත්කරනු ලබන රූපවාහිනී වැඩසටහන් තුළ ද එම පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස සහ ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම්වල දැක්වෙන අයුරින් අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කර තිබේ ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Update :

මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යවමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ බව දන්වා තිබෙනවා.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙනව බව අදානි සමාගම පෙන්වාදෙන අතර මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.

මේ බව මෙරට මාධ්‍ය මෙන් ම ඉන්දියානු මාධ්‍ය ද වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

පරිසරවේදී රෝහාන් පෙතියාගොඩ මහතා කැබිනට් පත්‍රිකාවක් දක්වමින් අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය නව ආණ්ඩුව යටතේ අවලංගු කර ඇති බවට දැක්වීමත් සමඟ මෙම පුවත කෙරෙහි බොහෝදෙනාගේ අවදානය යොමු වුණා.

ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව පාදක කරගනිමින් මෙරට ඇතැම් මාධ්‍ය ද අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගුකර ඇති බවට පුවත් වාර්තා කරනු ලැබුවා.

එම කැබිනට් පත්‍රිකාව පහතින්,

මෙම ඡායාරූප පැහැදිලි නොවන බැවින් පුවත් සඳහා පාදක වූ කැබිනට් පත්‍රිකාවේ පළමු පිටුවෙ රෝම අංක i යටතේ සඳහන් කරුණ මෙලෙස දක්වන්නම්.

  1. to revoke the Cabinet decision dated 2024-05-05 on the Memorandum dated 2024-05-03 numbered as CP No.24/0850/621/047, submitted by the then Minister of power and Energy on “Proposal Adani Green Energy SL Limited for the development of 484MW e Wind Power Plants in Mannar and Fooneryn

එනම්, 

මන්නාරම සහ ෆූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් හි යෝජනාව සම්බන්ධයෙන් එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2024-05-03 දිනැති CP අංක 24/0850/621/047 සංදේශය පිළිබඳ 2024-05-05 දිනැති කැබිනට් තීරණය අවලංගු කිරීම.

ඒ අනුව කැබිනට් පත්‍රිකාවේ සඳහන්වන ලෙස හිටපු බලශක්ති අමාත්‍යවරයා වන කංචන විජේසේකර විසින් 2024.05.03න්වන දින මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා අදානි ග්‍රීන් ඒජන්සි සමාගමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත්කර තිබෙනවා. එම යෝජනාව සඳහා  2024-05-05 දින පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ද හිමිව තිබෙනවා. ඒ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාදුන් මෙම යෝජනාව අවලංගු කර තිබෙනවා.

එසේ නම් නව රජයේ කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කළ පසුගිය රජයේ කැබිනට් තීරණය කුමක් ද?.

2024-05-05 දින ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත්, වසර 20ක කාලසීමාවක් සඳහා M/s Adani Green Energy SL Limited වෙත විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් හිටපු  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. එම කැබිනට් තීරණය අමාත්‍ය මණ්ඩල කාර්‍යාල නිල වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්. 

Cabinet Decisions May 2024 

ඒ අනුව පැහැදිලිවම නව රජයේ කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ Adani Green Energy සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනුව පමණි. එනම් මෙහිදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමඟ මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවලංගු කර නොමැත.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ අදානි සමඟ විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීමේ නිවැරදි පුවත ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. ඒ අනුව ඉන්දියානු මාධ්‍ය, ශ්‍රී ලංකා රජය විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කර ඇති නමුත් ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බව වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ Adani Green Energy සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීම දක්වා ඇති කැබිනට් පත්‍රිකාවේ ම දෙවන පිටුවේ රෝම අංක ii යටතේ දක්වා ඇත්තේ, සම්පූර්ණ ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කරන ලද බවයි.

අදානි සමාගම

පසුගිය රජය Adani Green Energy  සමාගම සමඟ ගිවිසුම් ගතව ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කළ බවට පුවත් පළ වීමත් සමඟ අදානි සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, 2025 ජනවාරි 2 වන දින නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, එම සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් දැක්වෙනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘති අවලංගු කර නොමැති බව පවසන අදානි සමූහය ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන එකක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරන බවත් සඳහන් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර ඒ අනුව අමාත්‍ය විජිත හේරත් පවසන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් එහි අවසන් තීන්දුව ලැබෙන තුරු ව්‍යාපෘතිය අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන් ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, අදානි සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා වැඩි මිලක් ලබා දී ඇති බැවින් ඊට ශ්‍රී ලංකා රජය එකඟ නොමැති බව ඉන්දීය නිලධාරීන්ට දන්වා ඇති බවයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පවසනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද පවසන්නේ, අදානි ග්‍රීන් ඒජන්සි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මන්නාරම සුළං විදුලි බලාගාර අවලංගු කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි. නව රජයේ ප්‍රතිපත්තියට අනුව ව්‍යාපෘතිය සමාලෝචනය කිරීමේ අරමුණින් වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරුන් දැනුවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට සටහනක් ඉදිරිපත් කළ බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.ව්‍යාපෘතිය පිළිබඳ අවසන් තීරණය අධිකරණයේ පවතින නඩුවේ තීන්දුව මත රඳා පවතිනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

එම පුවත් මෙතනින් සහ මෙත්නින්

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතාගෙන් ද අප විමසීමක් සිදුකළ අතර එහිදී එම මහතා සඳහන් කළේ ද මෙම ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බවයි. එවැනි ව්‍යාපෘතියක් එකවර අවලංගු කළ නොහැකි බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් සමාලෝචනයක් සිදුවන බවත් එම මහතා සඳහන් කළා. ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවත් එම මහතා අප වෙත පැවසුවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

අදානි සමාගම සමගම සමඟ පසුගිය රජය ගිවිසුම්ගතව ඇති මන්නාරම සහ පුනරීන් සුළ විදුලි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ පසුගිය (22) දිනයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඒ පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා.

ඒ අනුව මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ඉදිකිරීම අවලංගු කිරීමට තීරණයක් ගෙන නොමැති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියට අදාළව අධිකරණයේ නඩු 5ක් ගොනු වී ඇති බවත්, මෙම නඩුව ළඟදීම නැවත විභාගයට ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙම ව්‍යාපෘතියට අදාළ මිල ගණන් සම්බන්ධයෙන් නව රජයේ එකඟතාවයක් නොමැති අතර එය නැවත ඇගයීමට ලක්කර සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ගත් බව අමාත්‍යවරයා මෙහිදී පවසනවා.

ඒ අනුව සමාලෝචන කමිටුවක් පත්කර ඇති බවත පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, පත්කර ඇති කමිටුව මඟින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිදුකරන සමාලෝචනයන් අනුව ඒ පිළිබඳ තීරණයකට එළඹිය හැකි බවයි.

ඒ අනුව මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කළ බවට හුවමාරුවන පුවත් නොමඟ යවන සුළු පුවත්වන බව පැහැදිලි ය.

එසේම මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම, පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය, නව ජාතික ජන බලවේග රජය අවලංගු කළ බවට විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. පසුගිය (2024) දෙසැම්බර් මාසයේ, නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා යටතේ ජාතික ජන බලවේගයේ නව පාර්ලිමේන්තුව පිහිටවූ මුල් අවදියේ ද එලෙස නොමඟ යවන සුළු පුවත් සංසරණය වූ අතර අප එම අවස්ථාවේ ද ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කරනු ලැබුවා.

එම ලිපියේ අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධ වැඩි දුර තොරතුරු ද රැසක් සඳහන්වන අතර එම ලිපියත් ඔබට පහත දිගුවෙන් කියවිය හැකි ය.

Also Read – අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිගේ එකඟතාවක්?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් අවලංගු කර නොමැති අතර අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට පසුගිය රජය යටතේ එකඟ වී තිබු ගිවිසුම පමණක් අවලංගු කර ඇත. එසේම සම්පූර්ණ ව්‍යාපෘතිය සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කර ඇත.

Avatar

Title:අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නව රජය අවලංගු කළා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *