දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් ඡායාරූපයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණු අතර අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“ආසියාවම මවිත කළ වනජීවී ඡායාරූපය” ලෙස සඳහන් කරමින් ජාතික රූපවාහිනි විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහනක් ලෙස එම ඡායරූපය සහ එය ලබාගත් පුද්ගලයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ද ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා.
ආසියාව බබළන දක්ෂයෝ ලෙස සඳහන් කරමින් තවත් එවැනි සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඡායාරූපය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් එකක් ද යන්න අප විමසා බැලුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයට පෙර වැඩසටහනකදී, තමන් යාල, කුමන සහ විල්පත්තු යන වනෝද්‍යාන තුළ ශ්‍රී ලංකා කොටියා සම්බන්ධව ඡායාරූපකරණය පාදක කරගත් පාරිසරික අධ්‍යයනයක් සිදුකරන බව පවසනු ලබනවා.එමෙන් ම එය තමන්ගේ විනෝදාංශයක් බවත්, ශ්‍රී ලංකා කොටියා කේන්ද්‍රකරගත් පරිසර හිතකාමී, තිරසාර සංචාරක ප්‍රවර්ධනයක් සිදුකිරීම ඔහුගේ තවත් අරමුණක් බවත් එම මහතා මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් පවසනු ලබනවා.
ඒ අනුව එතුමාගේ මෙම ප්‍රකාශයෙන් පසුව මෙම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මෙම සමාජ මාධ්‍ය සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් අදහස් වලින් ඇතමුන් මෙය විශ්වාස කරන බව ද පෙනී යනවා.
කෙසේ වෙතත් අප Google Reverse search Image ඔස්සේ මෙම ඡායාරූපය පිළිබඳව සොයා බැලූ අතර එය 2024 දෙසැම්බර් 15 වැනි දින ජාතික රූපවාහිනියේ Rupavahini News හි නිල ෆේස්බුක් පිටුවේ “සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගත් තරිඳු ඩිල්ෂාන් සෙන්දනායකගේ ඡායාරූපයක් සහිතව මෙම ඡායාරූපය පළ කර තිබුණා.
මෙම තරඟාවලිය ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වුණු බවත්, වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම තරඟාවලිය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා දැඩි තරගකාරීත්වයක් සහිත තඟයක් බවත් එම පුවතේ සඳහන්වනවා
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන් මෙහි විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබෙන නමුත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට මෙහි විශිෂ්ටතා සම්මානය මෙතෙක් දිනාගැනීමට හැකිවී නොමැති බව එම පුවතේ සඳහන් වනවා.
ඒ අනුව තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක මෙම සම්මානය දිනු පළමු ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පියා වන බවත්, මෙය මෙරට සමස්ත වනජීවී ඡායාරූප ශිල්පීන්ටම සුවිශේෂී ජයග්‍රහණයක් වන බවත් එම පුවතේ සඳහන් කර ඇත.
ජාතික රූපවාහිනියේ 2024 දෙසැම්බර් 15 වැනි දින දහවල් 12 පුවත් විකාශය තුළ ද තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක මෙම ඡායාරූපය වෙනුවෙන් සම්මානයට පාත්‍රවන පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ඔහු සම්මානය දිනාගන්නා අවස්ථාවේ ද පසුබිමෙන් ඔහු ලබාගත් මෙම ඡායාරූපය දක්වා තිබුණු අතර ජාතික රූපවාහිනී පුවත් තුළ ද එය විකාශය කර තිබෙනවා.
එමෙන් ම මෙරට වෙනත් මාධ්‍ය විසින් ද තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක මෙම වනජීවී ඡායාරූපය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ බවට වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. මෙම සෑම පුවතකම ඔහු ලබාගත් ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඡායාරූපය දක්වා තිබෙනවා.
කොටියෙකුගේ ග්‍රහණයට ලක් වූ වල් ඌරෙකු බේරා ගැනීමට වල් ඌරන් රංචුවක් කොටියෙක් සමඟ සටහන් කරන මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානයේදී තරිඳු ඩිල්ශාන් ලබාගෙන ඇති අතර ඒ බව ඉන්දියාවේ ස්වභාවික හා වනජීවී සංරක්ෂණ සඟරාවක් වන Sanctuary Asia වෙබ් අඩවියේ ඔහුගේ ඡායාරූපය ද සහිතව සටහනකින් ද සඳහන් කර තිබුණේ මේ අයුරින්.
තරිඳු ඩිල්ෂාන්ගේ ෆේස්බුක් පිටුවේද ඔහු ලබාගත් මෙම ඡායාරූපය සහිතව ඔහු සම්මානය ලබාගත් අවස්ථාවේ ඡ්යාරූප ද පළ කර තිබුණා. ඒ අතරින් ඔහුට හිමි වූ සම්මානයේ ඔහු ජයග්‍රහණය ලබාගත් මෙම ඡායාරූපය පළ කර තිබුණේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අපගේ විමර්ශනයෙන් පැහදිලි වන්නේ, “සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගත් තරිඳු ඩිල්ෂාන් සෙන්දනායකගේ එම ජයග්‍රහණය ලැබූ ඡායාරූපය සහ තරිඳුගේ ඡායාරූපයත් සමඟ ජාතික රූපවාහිනිය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ඡායාරූපය සංස්කරණය කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහිතව එය නැවත පළකර ඇති බවයි.
ඒ සඳහා පාදක වී ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා කොටියා සම්බන්ධව සිදුකරන ඡායාරූප අධ්‍යයනයක් සහ එය ඔහුගේ විනෝදාංශයක් බව ඔහු වැඩසටහනකදී පැවසීමයි.

Title:ආසියාවම මවිත කළ වනජීවී ඡායාරූපය ලබාගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද?
Written By: Piumika LakshaniResult: False
