පාප් වහන්සේ බුදුන් සරණ ගියා ද?

False International Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය දා නරක අතට හැරීමෙන් පසු, පාප් වහන්සේ රෝහල් ගත කර තිබුණා. උන්වහන්සේ රෝහල්ගත කිරීමත් සමඟ පාප් වහන්සේ සම්බන්ධයෙන් විවිධ නොමඟ යවන සුළු තොරතුරු හුවමාරු වීම සිදු වූ අතර මේ දිනවල ද එවැනි නොමඟ යවන සුළු වීඩියෝවක් සංසරණය වෙමින් පවතින බැවින් එම වීඩියෝව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media) :

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බුදුන් සරණ ගියබවට එනම්, බෞද්ධ ආගම වැළඳගත් බවට ඇඟවෙන අයුරින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ  “ඔබ තවමත් ප්‍රමාද නැත! පාප්වහන්සේ ද අන්තිමේදී බුදුන් සරණ යයි!” යන සටහන ද සමඟින්.

මෙම වීඩියෝව මිලියන ගණනක් නරඹා තිබූ අතර බොහෝදෙනා මෙම වීඩියෝව හුවමාරුකරගෙන ද තිබුණා. එමෙන් ම මෙම වීඩියෝව සඳහා යොමු කළ අදහස් දෙස අවදානය යොමු කිරීමේදී පෙනීගියේ, පාප්වහන්සේ බෞද්ධ ආගම වැළඳගත් බවට බොහෝදෙනා විශ්වාස කර ඇති බවයි.

එමෙන් ම තවත් බොහෝ පිරිසක් මෙම අවස්ථාව අර්ථකතනය කරගෙන තිබුණේ, පාප් වහන්සේ වර්තමානයේ රෝගී වූ අවස්ථාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් පාප්වහන්සේට ආශිර්වාද කිරීමක් සිදුකරන බවටයි. 

පාප් වහන්සේගේ රෝගී තත්ත්වය වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාප් වහන්සේට ආශිර්වාද කිරීමක් සිදුකරන බවට ඇඟවෙන අයුරින් මෙම වීඩියෝව ම පළ කළ අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව මෙම සමාජ මාධ්‍යයේ පළ කර ඇති අයුරින් මෙම අවස්ථාව පාප් වහන්සේ බුදු දහම වැළඳ ගැනීමක් ද? එසේත් නොමැතිනම් පාප් වහන්සේගේ අසනීප තත්වය හමුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිදුකළ සෙත් පැතීමක් ද? අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් නිවැරදි කරුණු පරීක්ෂාවක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බුදු දහම වැළඳ ගැනීමක් සිදුවූයේ නම් එය ලොව ප්‍රධාන පුවතක් බවට පත්වන බැවින් අප පළමුව සිදුකළේ විදෙස් පුවත් ඔස්සේ එවැනි පුවතක් වාර්තා කර තිබේද යන්න පරීක්ෂා කිරීමයි.

ඒ අනුව විදේශ පුවත්වල මෙන් ම වතිකානුවේ පුවත් පළ කරනු ලබන වෙබ් අඩවියේ ද අප පරීක්ෂා කළ නමුත් එවැනි පුවතක් ඒවායෙහි වාර්තා වීමක් සිදුව තිබුණේ නෑ.

එමෙන් ම පාප් වහන්සේගේ රෝගී තත්වය හමුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාප් වහන්සේට නීරෝගී සුවය වෙනුවෙන් සෙත්පැතීමක් සිදුකළ බවට ද පුවතක් වාර්තා වී තිබුණේ නෑ.

නමුත් මෙම වීඩියෝවේ රූප රාමු Reverse Search Image ඔස්සේ පරීක්ෂා කර බැලීමේදී පෙනීගියේ මෙම වීඩියෝව 2024 වසරේ මැයි 27 දින වතිකානුවේදී තායිලන්තයේ වැදගත්ම බෞද්ධ විහාරස්ථානයක් වන බැංකොක්හි වොට් ෆ්‍රා සෙටුෆොන් විහාරයේ (වොට් ෆෝ ලෙසද හැඳින්වේ) බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූ අවස්ථාවක වීඩියෝවක් බවයි.

තායිලන්තයෙන් පැමිණි මෙම භික්ෂුන් වහන්සේලා වතිකානුවේදී පාප්වහන්සේ හමු වූ මෙම අවස්ථාව වතිකානු පුවත් ඔස්සේ ද වාර්තා කර තිබුණේ මේ අයුරින්.

එම පුවතේ වැඩිදුරටත් සඳහන්වන්නේ, වතිකානුවේ ක්ලෙමන්ටයින් ශාලාවේදී, තායි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිසක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වූ බවයි. මෙම හමුවෙන් දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගය ශක්තිමත් වූ බව පාප්වහන්සේ සිය දේශනයේදී පවසා තිබෙන අතර 2019 දී තමාට තායිලන්ත සංචාරයේ ලබාදුන් ආගන්තුක සත්කාරයන් සිහිපත් කර තිබෙන බවයි.

ඒ අනුව මෙම වීඩියෝව වතිකානුවට පැමිණි තායිලන්ත භික්ෂුන් වහන්සේලා හමුවූ අවස්ථාවේ එකක් බව පැහැදිලි වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නවතම තත්ත්වය

88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය පෙබරවාරි 14 වන දින සිට රෝමයේ ජෙමෙලි රෝහලේ රෝහල් ගතකර තිබුණා. බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වූ අතර ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීම සඳහා රුධිර පාරවිලයනය ඔස්සේ උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුවූ බවයි වතිකානුව සඳහන් කර තිබුණේ.

ලොව පුරා සිටින කිතුනුවන් ඇතුළු සැවොමගේ ආශීර්වාදයත්, ආදරයත්, ලැබීම සම්බන්ධයෙන් වතිකානුව සිය කෘතඥතාවය ද පළ කර තිබුණා.

කෙසේවෙතත් ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසනවා.

Also Read – ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් මිය ගිය බවට අසත්‍ය සටහනක්!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය):

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, පාප් වහන්සේ බුදුන් සරණ ගිය බවට සංසරණය වන වීඩියෝව එවැනි අවස්ථාවක හෝ පාප් වහන්සේගේ රෝගී භාවය වෙනුවෙන් සිදුකරන ආශිර්වාදමය අවස්ථාවක් නොව, 2024 වසරේදී වතිකානුවේ ක්ලෙමන්ටයින් ශාලාවේදී, තායි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිසක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වූ අවස්ථාවේ එකක් බවයි. 

Avatar

Title:පාප් වහන්සේ බුදුන් සරණ ගියා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply