සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්‍යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ තීරණයක් ?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමට නව ආණ්ඩුව ගත් තීරණයක් සම්බන්ධයෙන් මේ දිනවල බොහෝදෙනා අතර කතාබහක් ඇති වී තිබෙනවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශණයක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

සංචාරක ආකර්ශණය ඇති තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ තීරණයක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් “රනිල් ඕක කරන්න ගිහින් නේද ජෙප්පන්ගෙන් බැනුම් ඇහුවේ” යන සටහනක් ද සමඟින් පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

ඒ හා සමගාමී තවත් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.

Fb|Archive/ Fb|Archive/ Fb|Archive / Fb|Archive/ Fb|Archive /Fb|Archive

ඒ අනුව සංචාරක ආකර්ශණය ඇති තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ නව ආණ්ඩුවේ තීරණයක් ගෙන තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් නිසි කරුණු විමර්ශණයක් අප සිදුකළේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

සංචාරක ආකර්ශණය ඇති තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කළ බවට හුවමාරු වන බැවින් පළමුව අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය අප පරීක්ෂා කර බැලීමක් සිදු කරනු ලැබුවා.

තැපැල් සේවය නවීකරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය මාර්තු 6 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකරන අතර එහිදී මෙම සංචාරක ආකර්ශණය ඇති තැපැල් කාර්යාල සම්බන්ධයෙන් වන ප්‍රකාශය සිදුකරනු ලබනවා.

ඒ අනුව අමාත්‍යවරයා තැපැල් සේවය පිළිබඳ කතාවේදී පවසනු ලබන්නේ තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි අඩු අවදානයක් පවතින බවත්, මෙම තැපැල් සේවය නවීකරණය කිරීම ඔස්සේ පුද්ගලික අංශය සමඟ තරඟ කරන තත්වයට පත් කර ලාභ ලැබිය හැකි සේවයක් බවට පත් කළ හැකි බවයි. ඒ සඳහා තැපැල්පති ඇතුළු නිලධාරීන් උත්සහ ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පවසනු ලබනවා.

ඒ අනුව මෙවර අයවැයෙන් පුනරාවර්තන වියදම් බිලියන 21 සහ ප්‍රාග්ධන වියදම් බිලියන 2ක් ලෙස සම්පූර්ණ බිලියන 23.9ක්  තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එසේ ම නව තැපැල් කාර්යාල 14ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, තවත් කිහිපයක් අලුත් වැඩියා කිරීමටත් මිලියන 1300ක් වියදම් කරන බවත් පවසනවා.

තැපැල් සේවයේ වාහන අලුත් වැඩියා කළ යුතු බවත්, සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළිය, නුවර, කොළඹ, ගාල්ල වැනි ස්ථානවල ඇති තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට වෙන ම වැඩ පිළිවෙලක් ගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසනවා.

ප්‍රධාන තැපැල් මූලස්ථාන ආශ්‍රිතව කෞතුකාගාරයේ වැඩි සංවර්ධනය කරන්න බලාපොරොත්තුවක් තිබෙන බවත්, තැපැල් සේවකයන්ගේ සහයෝගය සහිතව තැපෑල හොඳ තැනකට නවීකරණය කර ලාභ ලබන සේවයක් බවට පත්කරන බවයි අමාත්‍යවරයා සිය කතාවේදී ප්‍රකාශ කරනු ලබන්නේ. 

සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට වැඩ පිළිවෙලක් ගෙන යාමට බලාපොරොත්තුවන බවට අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය තුළ එම තැපැල් කාර්යාල පෞද්ගලික අයෝජකයන්ට පැවරීමක් හෝ පෞද්ගලික අංශයට බදු දීමක් හෝ එම තැපැල් කාර්යාල වෙනත් ස්ථානයකට ගෙන ගොස් අදාළ ගොඩනැඟිලි සංචාරක හෝටල් බවට පත් කරන බවට කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරයි.

එමෙන් ම එම තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙල කෙබඳු එකක් ද යන්න පිළිබඳව හෝ එම කතාව තුළ සඳහන් නොවේ.

එබැවින් එය පැහැදිලි කර ගැනීම සඳහා අප සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධ කරගනු ලැබුවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

අප කළ විමසීමේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ,  තමන් කළ ප්‍රකාශ ඇතැම් පුවත් නොමඟ යවන සුළු ලෙස වාර්තා කර ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ පැවසූ දේට අනුව කටයුතු කරන බවත්, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම තැපැල් ස්ථාන සංවර්ධනය කිරීමට පමණක් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ,

එනම් අදාළ සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්යාලවල එම තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර අදාළ තැපැල් කාර්යාල සංචාරක ආකර්ශණීය ස්ථාන ලෙස වැඩිදුරටත් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

නුවර එළිය තැපැල් කාර්‍යාලය

සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක ආකර්ශණයක් දිනාගෙන තිබෙන නුවර එළිය තැපැල් කාර්‍යාලයෙන් අප විමසීමක් සිදුකළ නමුත්, එම තැපැල් කාර්යාලයෙන් අප වෙත පවසනු ලැබුවේ දැනට නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, මහ මැතිවරණයට පෙර අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, නුවරඑළිය තැපැල්හල් ගොඩනැඟිල්ල පසුගිය රජය විසින් සංචාරක හෝටලයක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස් කර තිබුණද නව රජයේ ප්‍රතිපත්ති මත එම ගොඩනැඟිල්ල සහ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අත්හිටුවන බවත් ය. 150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසනු ලැබුවා. 

නුවර එළිය තැපැල් කාර්යාලය පෞද්ගලික හෝටල් ව්‍යාපෘතියකට (ටාජ් සමුද්‍රා හෝටලය) ලබා දීමට පසුගිය රජයේ පැවති සැලසුම

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පැවති රජය විසින් වඩාත් සංචාරක ආකර්ශණයක් දිනාගෙන තිබෙන නුවර එළිය තැපැල් කාර්‍යාලය එතැනින් ඉවත් කොට එම ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයට බදු දීමට ගෙන තිබූ තීරණය හේතුවෙන් නුවර එළිය තැපැල් කාර්‍යාලය සම්බන්ධයෙන් එකළ පැවතියේ විශාල ආන්දෝලනාත්මක තත්වයකි. එකල එම තීරණය සම්බන්ධයෙන් බොහෝ විරෝධතා ද ඇති විය.

ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑතභාගයේ මෙරට නොතිබුණු තරම් ය. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති බොහෝ ජනාධිපති අපේක්ෂකයන්ගේ වේදිකාවල පවා නුවරඑළිය තැපැල් කාර්යාලය කතා මවන මාතෘකාවක් බවට පත්ව තිබුණා.

මේ පිළිබඳ වචන හුවමාරුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර මහතා අතර සිදු වූ අයුරු ද රටේ බොහෝ කතාබහට ලක්වූ අවස්ථාවක් විය. මෙම සිදුවීම 2023 වසරේ නුවරඑළියේ සංචාරක නගර සංවර්ධනය පිළිබඳ පැවති සාකච්ඡාවකදී සිදුවූ අතර එම අවස්ථාවේ ජනපතිගේ කතාවෙන් පැහැදිලි වූයේ නුවරඑළියේ තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා භාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම් දී තිබී ඇති බවයි. එසේම එය එම අවස්ථාව තෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි. එසේම එම සංවාදයෙන් පෙනී ගියේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල වෙනුවට තැපැල් කාර්යාලය පිටුපස භූමිය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් වී සිටි බවයි. එවක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තැපැල්පතිවරයාගෙන් මෙය දෙනවා ද නැද්ද යනුවෙන් විමසා සිටි අතර තමාට මුළු ගොඩනැඟිල්ලම අවශ්‍ය බවත් පවසනු ලබනවා.

එම අවස්ථාවේ ඇති වූ සංවාදය පහතින්.

මෙවැනි පසුබිමක් පසුගිය රජයේ පැවති අතර කෙසේ වෙතත් එම තීරණය නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට සහ එම ගොඩනැගිල්ල තවදුරටත් තැපැල් කාර්යාලය ලෙස පවත්වාගෙන යාමටත් තීරණය කළ බව විජිත හේරත් අමාත්‍යවරයා පවසනු ලැබුවා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්‍යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරන බවට පවසන ප්‍රකාශය මෙතරම් කතාබහට ද ලක් ව ඇත්තේ, මෙම පසුබිම හේතුවෙනි.

නමුත් අප කළ විමසීමේදී ද අමාත්‍යවරයා තහවුරු කළේ මෙය පෞද්ගලික අංශයට බදු දීමක් නොව සංචාරක ආකර්ශණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමක් පමණක් සිදුවන බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්‍යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ තීරණයක් ?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *