මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

False Scam Social

Subscribe to our WhatsApp Channel

රජය විසින් ඕනෑම පුරවැසියෙකුට ජීවිත කාලයට ම මාසයකට රුපියල් 750,000 දක්වා නිල වශයෙන් ලබා ගත හැකි බවට හරිනි අමරසූරිය අගමැතිණිය රූපවාහිනී වැඩසටහනකදී සදහන් කළ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සහ  වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවටත් සඳහන් දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. මෙම සටහන් මඟින් ගෙවීම් ලබා ගැනීම සඳහා සබැඳියක් ක්ලික් කරන ලෙස පරිශීලකයින් දිරිමත් කර තිබෙන ආකාරයත්, ආයෝජන ක්‍රම සඳහා පෙළඹවීමක් සිදුකර ඇති අයුරුත් දැකගත හැකිවනවා.

මෙම සමාජ මාධ්‍ය සටහන් සැලකිය යුතු අවධානයක් දිනාගෙන ඇති බැවින්, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අපි කරුණු පරීක්ෂාවක් සිදු කළෙමු.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

Claim 01:

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ජීවිත කාලය සඳහා ම රු.750,000ක් ලබාගත හැකි බවටත් ඒ සඳහා NetherexPro නම් වෙබ් අඩවියක ලියාපදිංචි විය යුතු බවත්, එහි 75,000ක් ආයෝජනය කරනු ලබන අයට මෙලෙස ජීවිත කාලයට ම මෙම මුදල ලබාගත හැකි බවටත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිරස News 1st මඟින් සිදුකරන Face to Face නම් දේශපාලන වැඩසටහනකදී පැවසූ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් පළ වී තිබුණේ මේ අයුරින්. මෙය ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ කළ ලිපියක් ලෙස ඇඟවෙන අයුරිනුයි පළ කර තිබුණේ.

Archive

මෙම ලිපියේ සඳහන් වන ලෙස හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තමාට බදු ක්‍රමය දියුණු කිරීමට අවශ්‍ය බවත්, මෙරට පුරවැසියන් ගෙවන බදුවලින් ලාභාංශ ලෙස මෙම මාසික මුදල ලබාදිය හැකි බවටත් පැවසූ බවටයි සඳහන් වන්නේ.

එක් පුද්ගලයෙකුට මසකට ශ්‍රී ලංකා රුපියල් 750,000 දක්වා ගෙවීමට අයවැයෙන් වෙන් කර ඇති බවටත් අගමැතිණිය මෙම වැඩසටහනේදී පැවසූ බවටයි සඳහන් වන්නේ.

රජයට පුරවැසියන් ගෙවන බදු වලින් කොටසක් රජයේ වියදම් වලට වැය වූ පසු තව මුදල් ඉතිරිව ඇති බවත්, ඒවා ආයෝජනය කර මෙම මාසික දීමනාව ලබාදෙන බවටත් මෙහි සඳහන් වනවා.

ඒ සඳහා දැනටමත් ප්‍රසිද්ධ NetherexPro වේදිකාවේ සභාපති සමඟ තමන්  සාකච්ඡා පවත්වා ඇති බවත්, පුරවැසියන් සඳහා සමාජ ගිණුම් 4,000ක් විවෘත කිරීමට එකඟ වූ බවත්, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුරවැසියෙකුට NetherexPro හි ලියාපදිංචි වී ආදායම් උපයාගත හැකි බවටත් අගමැතිණිය පැවසූ බව මෙහි සඳහන් වනවා. තව ද ශ්‍රී ලංකාවේ පුරවැසියන් 4,000 කට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මසකට ශ්‍රී ලංකා රුපියල් 750,000 ක් ඉන් උපයා ගැනීමට අවස්ථාව ලැබෙන බවත්, 75,000ක ආයෝජන මුදල අවමය වන බවත්, එය ආයෝජනය කිරීමෙන් මෙම ගිණුම සක්‍රීය වන බවත්, එය ඕනෑම අවස්ථාවක ලබාගත හැකි බවත්, මෙම ආයෝජනය සිදුකරන ඕනෑම අයෙක්ට මාසිකව 750,000ක මුදල ලබාගත හැකි බවටත් සඳහන් වනවා. එමෙන් ම මෙය නීත්‍යානුකූල බවට අගමැතිණිය සහතික වූ බවට ද මෙහි සඳහන් වනවා.

මෙම වැඩසටහනේදී එම අවස්ථාවේදීම මෙහි ආයෝජනය කරන අයුරු අගමැතිණිය සිදුකර පෙන්වන බව ද සඳහන් වනවා. ඒ සඳහා ගතවන්නේ විනාඩි 20ක කාලයක් බවත්, නම, දුරකතන අංකය, අදාළ මුදල බැරකරන ආකරයත් මෙහිදී කළ යුතු බවට අගමැතිණිය පැවසූ බවත්, මෙහිදී සිදුකරන ආයෝජනය වැඩි කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභය වැඩි බවත්, මෙය රජය සහ ශ්‍රී ලංකා බැංකුව විසින් සහතික කරන ලද ජාතික ව්‍යාපෘතියක් බැවින් කිසිදු අවදානමක් නොමැති බවට අගමැතිණිය සඳහන් කළ බවටයි මෙහි තොරතුරු සඳහන් වන්නේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප පළමුව අගමැතිණිය මෙම ප්‍රකාශය සිදුකළ බවට ඡායාරූප සඳහන් වූ වැඩසටහන පරීක්ෂා කර බැලූ අතර එම වැඩසටහන සිරස News 1st හි Face to Face නම් වැඩසටහන වන බව අපට හඳුනාගත හැකි විය.

ඒ අනුව අප එම වැඩසටහන පළමුව පරීක්ෂා කළ අතර එය 2024 මැයි 7 වන දින පළ වූ වැඩසටහනක් බව අපට දැකගත හැකි විය. ජනාධිපතිවරණය ද පැවත්වුණේ, 2024 සැප්තැම්බර් 21 වන අතර මෙය ජනාධිපතිවරණයටත් පෙර විකාශය වූ වැඩසටහනක් බව ඒ අනුව පැහැදිලි වනවා. 

අගමැතිණිය ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් සහ මුදල් ලබාදිය හැකි බවට සඳහන් කළ බවට පළ කර ඇති ලිපියේ සඳහන් වන්නේ, එම ප්‍රකාශය අගමැතිණිය වීමෙන් අනතුරුව හරිනි අමරසූරිය මහත්මිය මෙම News First හි Face to Face වැඩසටහනේදී පැවසූ බවටයි. එනම් අගමැතිණිය ලෙස හරිනි අමරසූරිය මහත්මියව එම වැඩසටහනේදී නිවේදකයා විසින් පිළිගත් බවටයි ඔවුන් අතර සංවාදය එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

නමුත් මෙම සම්පූර්ණ වැඩසටහන අප නැරඹූ අතර මෙය හරිනි අමරසූරිය මහත්මිය අගමැති වීමටත් මාස කිහිපයකට පෙර එකක් බව පෙනී යනවා. එමෙන් ම එම වැඩසටහන අතර තුර ඔවුන් බලයට පත්වීමෙන් පසුව හෝ එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවට සඳහන් නොකරනු ලබයි.

විශේෂයෙන් ම ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ කළ බවට ඇඟවෙන අයුරින් පළ කර ඇති සටහනේ සඳහන් ආකාරයේ කිසිඳු ම ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී කිසිඳු සඳහනක් නොකරයි. මෙම වැඩසටහන පුරාවට කතා කරනුයේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ඔවුන්ගේ රැළි සහ බලයට පත්වීමෙන් අනතුරුව සිදුකිරීමට බලාපොරොත්තුවන ක්‍රියාපටිපාටියන් ය. එම වැඩටහන මෙතනින්.

මෙම ලිපියේ වැඩසටහනේ නිවේදකයාගේ නම සඳහන් වන්නේ, ජනක කාරියවසම් ලෙසයි. නමුත් එම නිවේදකයාගෙ සත්‍ය නම වන්නේ, ෂාර්ලන් කෙවින් බෙනඩික් වේ.

ඒ අනුව සම්පූර්ණයෙන් ම මෙම වැඩසටහනේදී අගමැතිණිය පැවසූ බවට සඳහන් මුදල් ආයෝජනය කිරීම සහ මුදල් ලබාදීමේ කරුණු සම්බන්ධ ලිපිය ව්‍යාජ එකක් බව මෙම කරුණු ඔස්සේ පෙනී යනවා.

කෙසේ නමුත් අප අගමැතිණිය වීමෙන් පසු හරිනි අමරසූරිය සම්බන්ධ වූ වැඩසටහන් ද පරීක්ෂා කළ නමුත් එම කිසිඳු වැඩසටහනක ඇය එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බව අපට නිරීක්ෂණය විය.

එමෙන් ම මෙම ලිපියේ සඳහන් වන්නේ අයවැයෙන් මෙම මුදල් ලබාදීමට මුදල් වෙන් කර ඇති බවයි. එබැවින් අප ජනාධිපතිවරයාගේ අයවැය කතාව ද පරීක්ෂා කළ නමුත් එවැනි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් එහි තොරතුරු සඳහන් නොවේ.

ලිපියේ සඳහන් ඇතැම් කරුණු පරස්පර විරෝධියි

මෙම ලිපියේ කරුණු අප මුල සිට අග දක්වා පරීක්ෂා කළ අතර එහි මුල සඳහන්වන්නේ, අයවැයෙන් මෙම මුදල් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කරන බවයි. නමුත් ලිපියේ මැද සඳහන් වන්නේ, NetherexPro වේදිකාවක පුරවැසියන් 4000ක් සඳහා ගිණුම් විවෘත කිරීමට එම ආයතනය සමඟ සාකච්ඡා කළ බවයි. අනතුරුව ඒවායෙහි ආයෝජනය කිරීමෙන් ආදායම් ලබාගත හැකි බවත්, ආයෝජනයන් වැඩි කිරීමෙන් ලබාගත හැකි මුදල වැඩිවන බවත් සඳහන් වනවා.

අයවැයෙන් ජනතාවට ලබාදීමට මුදල් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කර ඇත්නම්, නැවත ආයෝජනයන් සිදුකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් පැන නගී. ලිපියේ මුල සියලුම පුරවැසියන්ට මුදල් ලබාදෙන බවට සඳහන් වුවත්, පසුව පුද්ගලයන් 4000ක් සඳහා ආයෝජනයට ගිණුම් විවෘත කළ හැකි බවටයි සඳහන් වන්නේ.

පසුව නැවතත් සඳහන් වන්නේ, ඕනෑම අයෙක්ට ආයෝජනය කර මුදල් ලබාගත හැකි බවයි. මුලදී සෑම පුද්ගලයෙක්ට මාසයකට රු.750,000ක් ලබාගත හැකි බව සඳහන් වුණත් ලිපිය අවසානයේ සඳහන්වන්නේ, ආයෝජන ක්‍රමය අනුව ලැබෙන මුදල වැඩිවන බවයි.

ඒ අනුව මෙම ලිපියේ සඳහන් කරුණු පරස්පර විරෝදී බව පෙනී යනවා.

මෙවැනි මුදල් ලබාදීමක් හෝ ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් රජයේ නිල නිවේදන නොමැත.

අප රජයෙන් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කළ නමුත් කිසිඳු කැබිනට් තීරණ දැනුම්දීමක හෝ කිසිඳු නිල රජයේ මාධ්‍ය සාකච්ඡාවකින් හෝ නිල නිවේදනයකින් ජනතාව දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව අපට පැහැදිලි විය.

ඩේලි මිරර් වෙබ් අඩවියේ මෙවැනි පුවතක් වාර්තා කර නොමැත

මෙම ලිපිය 2025 පෙබරවාරි මාසයේ පළ කළ බවට සඳහන් වන නමුත් නිෂ්චිත දිනයක් නොමැත. කෙසේ වෙතත් අප පෙබරවාරි මාසයේ ඩේලි මිරර් වෙබ් අඩවිය පළ කළ සියලු පුවත් පරීක්ෂා කළ නමුත් එවැනි පුවතක් වාර්තා කර ඇති ආකාරය අපට දැකගත නොහැකි විය.

ඩේලි මිරර් වෙබ් අඩවියට පිවිසුණු විට එහි ඩොමේන් එක පෙන්වන්නේ, www.dailymirror.lk ලෙසයි.

නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති ලිපිය සහිත සබැඳිය සඳහන් වන්නේ දීර්ඝ ලෙස සහ එහි ඩේලි මිරර් නිල සබැඳිය දැකිය නොහැකි ය. එමෙන් ම එහි chilldoodle.com ලෙස සඳහන් ඩොමේන් එක ඔස්සේ ම මෙය ලංකාවේ වෙබ් අඩවියක් නොවන බවත්, ඩේලිමිරර් නිල වෙබ් අඩවිය නොවන බවත් තහවුරු කරගත හැකි ය.

ඩේලි මිරර් නිල ලාංඡනය ද මෙහි දැක්වෙන්නේ වෙනස් ආකාරයෙනි. ඩේලි මිරර් වෙබ් අඩවියේ නිල ලාංඡනය සහ ව්‍යාජ ලිපියේ එය සඳහන් වන ආකාරය සංසන්දනාත්මකව බලමු.

ඒ අනුව මෙම සියලු තොරතුරු බැලූ විට මෙය ව්‍යාජ පුවතක් බව අපට පෙනී යනවා.

Claim 02:

තව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඡායාරූපයක් සහ ඩේලි මිරර් වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත්කරන ලද දැන්වීමක් ලෙස මෙම සටහන Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, රජය විසින් ජීවිත කාලය පුරාවටම මූල්‍ය ගෙවීමක් අවුරුදු 35 සහ ඊට වැඩි පිරිස් සඳහා ලබාදෙන බවට සඳහන් කරමින් ය. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් අවුරුදු 35 සහ ඊට වැඩි මෙරට පුද්ගලයින් සඳහා දීමනාවක් ජීවිත කාලය පුරාවට ම ලබාදෙන්නේ නම් ඒ සම්බන්ධ වැඩපිළිවෙල සහ ඒ සඳහා වෙන් කර ඇති මුදල මෙවර නව රජයේ අයවැය ඔස්සේ අනිවාර්යෙන් ම ඉදිරිපත් කිරීමක් සිදුවන බැවින් අප අයවැය කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබුවා. නමුත් ‘අස්වැසුම’ සඳහා මූල්‍ය වෙන් කිරීම් හැරුණු විට මෙවැනි ආකාරයක වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී තොරතුරු ඉදිරිපත් නොවීය.

මේ ආකරායේ ජීවිත කාලය දක්වා ම දීමනාවක් මෙරට පුරවැසියන්ට ලබාදීමේ නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් නව තීරණයක් හෝ ගෙන තිබේනම් එය අනිවාර්‍යෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම සිදුවන බැවින් අප ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීමක් මේ සම්බන්ධයෙන් පවතී ද යන්න පරීක්ෂා කළ නමුත් කිසිඳු විශ්වාසනීය මූලාශ්‍රයක් අපට දැකගත නොහැකි විය.

රජය විසින් ගත් එවැනි කිසිඳු තීරණයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කිසිඳු රජයේ නිල නිවේදනයක් හෝ මාධ්‍ය සාකච්ඡාවක් පළ කර ඇති ආකරයක් ද අපට දැකගත නොහැකි විය.

ව්‍යාජ ඩේලි මිරර් වෙබ් අඩවියේ ජංගම පෙනුම ( Fake Daily Mirror Mobile Preview)

අප ඩේලි මිරර් වෙබ් අඩවියේ මේ ආකාරයේ දැන්වීමක් හෝ පුවතක් වාර්තා කර තිබේ ද යන්න පරීක්ෂා කළ නමුත් ඩේලි මිරර් වෙබ් අඩවියේ එවැනි පුවතක් වාර්තා කර ඇති ආකාරයක් අපට දැකගත නොහැකි විය.

කෙසේ වෙතත් සමීපව පරීක්ෂා කිරීමේදී, මෙය නිර්මාණය කරන ලද තිර රුවක් බව අපට පෙනී ගියා. සැබෑ ඩේලි මිරර් ජංගම අනුවාදයේ ( Daily Mirror Mobile Preview) ලාංඡන ස්ථානගත කිරීම, දැන්වීම් ස්ථානගත කිරීම සහ සමස්ත සැලසුම මේ ආකාරයෙන් නොවන බව අපට පැහැදිලි විය. පහත දැක්වෙන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියේ ජංගම පෙනුමේ සත්‍ය ඡායාරූපයකි.

ඒ අනුව පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන සහ සත්‍ය ලෙස ම ඩේලි මිරර් වෙබ් අඩවියේ ජංගම පෙනුමේ (Daily Mirror Mobile Preview)  සංසන්දනයයි. ඒ ඔස්සේ ඔබට මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන ව්‍යාජ එකක් බව වැටහේවි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් ම නිවැරදි තහවුරු කර ගැනීමක් සිදුකර ගැනීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් සිදුකරනු ලැබුවා. 

ඒ අනුව මෙරට පුරවැසියන් සඳහා ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් ක්‍රමයක් රජයෙන් හඳුන්වා දී නොමැති බවත්, කිසිඳු ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් අගමැතිණිය ප්‍රකාශ කර නොමැති බවත්, රටේ බදු ඔස්සේ හෝ පුරවැසියන්ට මුදල් ලබාදීමේ ක්‍රමයක්, වැඩපිළිවෙලක් නොමැති බවත්, මේ ආකාරයෙන් සංසරණය වන ව්‍යාජ සබැඳි සහිත පණිවිඩ සම්පූර්ණ‍යෙන් ම අසත්‍ය බවත් ග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයෙන් තහවුරු කරනු ලැබුවා.

ව්‍යාජ සබැඳි සඳහා ඔබේ තොරතුරු ඇතුළත් නොකිරීමට වග බලාගන්න

සාමාන්‍යයෙන් රජයේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නේ නම් එය රාජ්‍ය ප්‍රවෘත්ති අංශයෙන් හෝ අදාළ අමාත්‍යංශ හරහා නිල වශයෙන් ජනතාව දැනුවත් කරනු ලබනවා. 

එබැවින් කිසිසේත් මෙවැනි අවිධිමත් ආකාරයේ ක්‍රමවේද ඔස්සේ රාජයේ තොරතුරු ලබාදීමක් සිදු නොවේ. නමුත් මෙවැනි ව්‍යාජ සබැඳි සහිත ව්‍යාජ පණිවිඩවල විශ්වාසනීයත්වය රැක ගැනීමට රජයේ වැඩපිළිවෙලක් ලෙස දැක්වීමට උත්සහ කරනු ඇත. එසේත් නොමැති නම් රජයේ වගකිවයුතු පුද්ගලයෙක් හෝ ප්‍රසිද්ධ චරිතයක් ආයෝජනය කළ බවසඳහන් කරනු ලැබීමෙන් පුද්ගලයින් මෙවැනි ව්‍යාජ ආයෝජන ක්‍රමවලට හසුකරගැනීමට උත්සහ දරනවා.

එකී විශ්වාසනීයත්වය ගොඩ නඟා මෙම ව්‍යාජ පණිවිඩ සහිත ව්‍යාජ සබැඳි ඔස්සේ ඔබේ පෞද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු ලබාගැනීමට උත්සහ කරනු ලබනවා.

එබැවින් සැක සහිත සබැඳි මත ක්ලික් නොකිරීමට සහ ඔබේ පුද්ගලික තොරතුරු කිසිඳු සැකසහිත මෙවැනි ආකරයේ ව්‍යාජ සබැඳි සඳහා ඇතුළත් නොකිරීමට වගබලා ගැනීම ඉතාමත් වැදගත්වනවා.

මෙවැනි සබැඳි සහිත පණිවිඩ විශ්වාස කිරීමට හෝ බෙදා ගැනීමට පෙර නිල මූලාශ්‍ර ඔස්සේ අනිවාර්‍යෙන් ම  තහවුරු කරගන්න.

Also Read – 2025 වසරේ රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් !

Also Read – කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගමෙන් මුදල් ත්‍යාග පිරිනමනවා ද? 

Also Readකම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්

Also Read – සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

Also ReadSCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Also Read – Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

Also Read – මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද?

Also Read – ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව! 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය)

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, News First හි Face to Face වැඩසටහනේදී අගමැතිණිය ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හෝ සෑම පුරවැසියෙක්ටම රු.750,000ක් මාසිකව ලබාදෙන බවට සඳහන් කරමින් පළ කර ඇති ඩේලි මිරර් මඟින් පළ කළ ලිපියක් බවට ඇඟවෙන ලිපිය සහ රජය විසින් ඩේලි මිරර් දැන්වීමක් හරහා වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවට පවසමින් සංසරණය වන සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ එකක් බවයි. 

මෙම සටහනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිරූපය භාවිතා කරමින් මෙම පුවත් සත්‍ය බවට ඇඟවීමට උත්සහ ගෙන ඇති නමුත් එය අසත්‍යයකි. රජය එවැනි වැඩසටහන් ප්‍රකාශයට පත් කර නොමැති අතර අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය විසින් මෙම සටහන්වල සඳහන් තොරතුරු අසත්‍ය එකක් බව තහවුරු කරනු ලැබී ය. 

සමාජ මාධ්‍ය සටහනේ භාවිතා කර ඇති ඩේලි මිරර් වෙබ් අඩවියේ නිල ලාංඡන සහ ආකෘතිය පවා මේවායෙහි වෙනස් කර ඇති අතර මේවා තතුබෑම් වංචා (SCAM ) ලෙස හඳුනාගත හැකිය. එබැවින් සැක සහිත සබැඳි ක්ලික් කිරීමෙන් සහ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින්න.

Avatar

Title:මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply