PTA පනත මඟින් පිල්ලෙයාන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළා ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පසුගිය අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ. 

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් නැවතත් කතාබහක් ඇති වී තිබෙන පසුබිමක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහන් සහ එම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවට ද ඇතැම් අදහස් පළ වී තිබූ නිසාවෙන් එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“පිල්ලෙයාන් රඳවා තබාගන්නේ PTA පනත මඟින්. මෙය ඉතාමත් මිලේච්ඡ ක්‍රියාවක්” යනුවෙන් දුමින්ද හුලංගමුව 2025.04.12 දින පැවති මාධ්‍ය හමුවකදී පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසෙන්.

Fb|Archive

ඒ අනුව මෙවැනි ප්‍රකාශයක් දුමින්ද නාගමුව විසින් සිදුකළා ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2025.04.12 වන දින පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව විසින් පිල්ලෙයාන් රඳවා තබාගන්නේ PTA පනත මඟින් බවටත්, මෙය ඉතාමත් මිලේච්ඡ ක්‍රියාවක් බවටත් ප්‍රකාශ කළ බවට දක්වා තිබීම හේතුවෙන් අප පළමුව ජන අරගල සන්ධානය විසින් පසුගිය 12 වන දින මාධ්‍ය හමුවක් පවත්වා තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව ජන අරගල සන්ධානයේ ෆේස්බුක් ගිණුම සහ යූ ටියුබ් නාලිකාව පළමුව අප පරීක්ෂා කර බලනු ලැබුවා.

නමුත් පසුගිය 12 වන දින දුමින්ද නාගමුව ද සහභාගී වූ මාධ්‍ය හමුවක් පවත්වා නොතිබුණු බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. 

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍යය සටහනේ දුමින්ද නාගමුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී ඇති ඡායාරූපයක් ද පළ කර තිබූ බැවින් Reverse Search Image ඔස්සේ එම ඡායාරූපය කුමන දිනක මාධ්‍ය හමුවක එකක් ද යන්න සම්බන්ධයෙන් අප පරීක්ෂා කරනු ලැබුවා.

ඒ අනුව එම ඡායාරූපය පසුගිය අප්‍රේල් 8 වන දින ජන අරගල සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවක එකක් බව දැකගත හැකිවිය. ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවේ මෙන් ම ෆේස්බුක් ඔස්සේ ද එය පළ කර තිබුණේ මෙලෙසින්.

මෙම මාධ්‍ය හමුවේදී දුමින්ද නාගමුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකරන නමුත් ඔහු පිල්ලෙයාන් PTA පනත මඟින් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කිසිඳු අදහසක් ප්‍රකාශ නොකරනු ලබයි.

ඔහු මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ, ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකරයක් ඇලවූ PTA එක යටතේ අත්අඩංගුවට ගත්ත රෂීඩ් මොහොමඩ්ගේ සිදුවීම සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්නේ මුස්ලිම් අයට විරුද්ධව පමණක් බවත්, වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබියදී මෙම පනත ක්‍රියාත්මක කරන බවයි. 

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 13 වන දින ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී ද දුමින්ද නාගමුව අදහස් දැක්වීමක් සිදුකරන අතර එහිදී ද ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකරන අතර ඔහු  ප්‍රකාශ කරනු ලබන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත රෂීඩ් මොහොමඩ්ගේ සිදුවීම සම්බන්ධයෙනි. ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්වලට සමාන අදහසක් ම ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ද සිදුකරනු ලබනවා. 

එනමුත් PTA පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් පළ නොකරනු ලබයි.

ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී PTA පනත සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේ ය.

ඔහු දැක්වූ මෙම අදහස් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබූ නමුත් එම වාර්තා කිරීම් තුළ ද PTA පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශයක් කළ බවට දැක ගත නොහැකි ය. එම වාර්තා කිරීම මෙතනින්.

දුමින්ද නාගමුව විසින් පිල්ලෙයාන් PTA පනත මඟින් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුනොකළ බවත්, ජාතික ජන බලවේගයේ ව්‍යාජ ගිණුම් හරහා ජන අරගල සන්ධානය විසින් ප්‍රකාශ කළ බවට විවිධ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාර ගෙන යන බවටත්, PTA භාවිතා කිරීමේ වරද සඟවා  ගැනීමට පිල්ලෙයාන් පාවිච්චි කිරීමේ තක්කඩි උත්සාහය පෙනෙන්නට තිබෙන බවටත් සඳහන් කරමින් සටහනක් ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොස ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

එම සටහන ම දුමින්ද නාගමුව ද සිය ෆේස්බුක් පිටුවේ හුවමාරුකරගෙන තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම සඳහා දුමින්ද නාගමුව සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද ඔහුව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය.

එනමුත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දා අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා සියලු මාධ්‍ය හමු, සහ මාධ්‍ය වාර්තා අප පරීක්ෂා කළ නමුත් දුමින්ද නාගමුව විසින් පිල්ලෙයාන් PTA පනත මඟින් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට අපට කිසිඳු වාර්තා කිරීමක් හමු නොවීය.

‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීම.

‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

දින 90 ක කාලයක් ඔහුව රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි.

මහාචාර්‍ය සිවසුබ්‍රමනියම් අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.

එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි මෙලෙස චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ඕනෑම පුද්ගලයෙකුගේ, පුද්ගල කණ්ඩායමක, සංගමයක, සංවිධානයක හෝ පුද්ගල මණ්ඩලයක නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා තාවකාලික ප්‍රතිපාදන සැලසීමේ පනතකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)1978 වර්ෂයේදී තාවකාලික විධිවිධානයක් වශයෙන් බලාත්මක කරන ලද අතර 1982 වර්ෂයේ ස්ථීර කරන ලදී.

එය ක්‍රියාත්මක කර ඇති වසර 40 ක කාලසීමාවේ සාමාන්‍යය නීතියෙන් ආවරණය නොවූ අපරාධ සහ බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංඝණයන් යටතට නොගැනෙන ක්‍රියා සඳහා මෙම නීතිය හඳුන්වා දී ඇති බවට ද පවසනු ලබනවා.

නීත්‍යානුකූල විරෝධතා මැඩ පැවැත්වීම සහ මානව හිමිකම් ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් පනතේ ඇතැම් වගන්තිය පීඩාකාරී ලෙස යොදාගෙන ඇති බවට මානව හිමිකම් සංවිධාන වෝදනා නඟයි.

මේ සම්බන්ධ වැඩිදුර විස්තරයක් ඔබට මෙතනින් කියවිය හැකිය.

Also Read : CID භාරයේ සිටින පිල්ලෙයාන් සිදු කළ හෙළිදරව් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වල ඇත්ත නැත්ත!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

PTA පනත යටතේ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රඳවා ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළ බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමේ දින සිට මෙතෙක් පැවති මාධ්‍ය හමු තුළදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීම් කළ ද එම පනත යටතේ පිලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිඳු අදහසක් දක්වා නොමැත.

Avatar

Title:PTA පනත මඟින් පිලෙයාන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply