
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වසර 16කට පසු පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ ලෙස නම් කර ඇති දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වන දින ආරම්භ කෙරුණු අතර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙලෙස දළඳා ප්‍රදර්ශණය පැවැත්වෙන කාලවකවානුවේදී දළඳා වහන්සේගේ වීඩියෝ දර්ශණ සහ ඡායාරූප ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව හුවමාරුවන ආකාරය අප දුටුවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ද හුවමාරු වෙමින් පවතින බැවින් අප මෙම වීඩියෝවල ඇත්තේ මහනුවර දළඳා වහන්සේගේ සැබෑ වීඩියෝ දර්ශණ ද, ඡායාරූප ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media): Claim 01 :
“දෙව්ලොවට දොරටු විවර වෙන්නේ කලාතුරකින්…. මේ වගේ පිණක් ලැබෙන්නේ අතිශය කලාතුරකින් කෙනෙකුට” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
එසේම “ මේ අවසාන කරඬුව නේද? මේ ඇතුලෙනෙ දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නවා” යනුවෙන් ද සඳහන් කරමින් මෙම දර්ශන පෙළ YouTube ඔස්සේ ද බහුලව හුවමාරු වී තිබුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) Claim 01:
මහනුවර දළඳා මාළිගාවේ, දළඳා වහන්සේ ප්‍රදර්ශණයේ සිව්වන දිනය අදට(21) යෙදී තිබෙන අතර මෙම දින හතර තුළ දන්ත ධාතුන් වහන්සේගේ සැබෑ ඡායාරූප හෝ වීඩියෝ දර්ශණ මාධ්‍ය වෙත මුදා හැරීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් අප පරීක්ෂා කළා.
එනමුත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ දන්ත ධාතුන් වහන්සේගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශණ ප්රවෘත්ති විකාශයන් තුළ හෝ පළකර ඇති ආකාරයක් අපට දැකගත නොහැකි විය.
එමෙන් ම දළඳා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවේ හෝ දළඳා වහන්සේගේ කිසිඳු ඡායාරූපයක් හෝ වීඩියෝවක් පළකර නොතිබුණි.
ඒ අනුව මෙම වීඩියෝවේ සඳහන් වන්නේ, මහනුවර දළඳා මාළිගාවේ තැන්පත්කර ඇති දළඳා වහන්සේගේ සත්‍ය වීඩියෝ දර්ශණයක් ද යන්න සම්බන්ධයෙන්, පසුගිය අප්‍රේල් 19 වනදා ශ්‍රී දළදා සමිදු තේවාව භාර ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරාධිපති පූජ්‍ය පාද අමුණුගම ශ්‍රී විපස්සි නායක හිමිපාණගෙන් සහ දළඳා මාළිගාවේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව එම දෙපාර්ශවයම අප වෙත තහවුරු කරනු ලැබුවේ මෙම වීඩියෝවේ ඇති දළඳා වහන්සේ බවට දැක්වෙන වීඩියෝ දර්ශණය සත්‍ය දළඳා වහන්සේගේ වීඩියෝ දර්ශණයක් නොවන බවයි.
අප වැඩිදුරටත් මෙම වීඩියෝවේ දැක්වෙන දළඳා වහන්සේගේ යැයි පැවසෙන දර්ශණ පරීක්ෂා කළ අතර එහිදී දැකගන්නට ලැබුනේ මෙම වීඩියෝවේ අවසාන කොටසේ දැක්වෙන දළදා වහන්සේ ලෙස හැඟවෙන කොටස, මීට මාසයකටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් හුවමාරු වී තිබු බවයි. මාර්තු මස 7 වැනිදා TikTok ගිණුමක පළකර තිබු එම වීඩියෝවේ සඳහන් කර තිබෙන්නේ මෙය දළදා වහන්සේගේ අනුරුවක් බවයි. Archived
අදාළ ටික්ටෝක් ගිණුම් හිමියා විසින් සිය වීඩියෝව මේ දිනවල නොමඟ යවන සුළු අර්ථකතනයෙන් හුවමාරු වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදුකරමින් සිය ගිණුමේ පළකර තිබෙනු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.
එසේම ඉහත වීඩියෝවේ මුල් කොටසේ දැක්වෙන විදේශිකයෙකු ද දක්වමින් පෙන්වන දර්ශන පෙළ දළඳා මාළිගාවේ දර්ශනවලට සමානතාවයක් දැක්වෙන ලෙස එහි සත්‍ය පසුබිමක් යොදාගනිමින් නිර්මාණය කිරීම හේතුවෙන් මෙය සත්‍යක් බවට බොහෝ දෙනෙක් නොමඟ ගොස් තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media): Claim 02:
“උතුම් වූ දන්ත ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා” යනුවෙන් සඳහන් කරමින් ද සමාජා මාධ්‍ය ඔස්සේ මහනුවර දළඳා වහන්සේගේ වීඩියෝ දර්ශණයක් බවට ඇඟවෙන අයුරින් වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී මෙහි “Replica Tooth Relics of Shakyamuni Buddha” යනුවෙන් සඳහන් කර ඇති ආකාරය දැකගත හැකි ය. එනම් මෙය සත්‍ය දළදා වහන්සේ නොවන අතර ශාක්‍යමුණි බුදුන්ගේ දන්ත ධාතුවේ අනුරුවකි.
කෙසේ වෙතත් අප Google Reverse Search Image ඔස්සේ මෙම වීඩියෝව පරීක්ෂා කළ අතර එය මැලේසියාවේ “Waki Relic Museum” නම් බෞද්ධ මධ්‍යස්ථානයක ‘බුදු දන්ත අනුරූ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම’ (The Veneration of Buddha Tooth Replica Relics) යන අවස්ථාවක එකක් බව එහි දක්වා ඇති වීඩියෝව ඔස්සේ තහවුරු විය. (Fb)
එම වීඩියෝව සහ එම වැඩසටහනට අදාළ ඡායාරූප 2024 මැයි 18 වන දින පළ කර තිබුණා.
ඒ අනුව මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ද, මහනුවර දළඳා මාළිගාවේ තැන්පත් කර ඇති දළඳා වහන්සේ නොවන බව තහවුරුවනවා.
එසේම මේ දිනවල සිදුවන දළදා වහන්සේගේ ප්‍රදර්ශනයට සහභාගී වූ අයෙකුගෙන් ද අප එහි දැක්වෙන පසුබිම ඇතුළු දේ ගැන විමසා සිටි අතර එහිදී ද පවසා සිටියේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ආකාරය ඉහත අවස්ථාවලට වඩා වෙනස් බවයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media): Claim 03:
මෙවර දළඳා වන්දනයේදී දළඳා වහන්සේ දැකබලා වන්දනාමාන කරගැනීමට පැමිණි පුද්ගලයෙක් 2025.04.18 දින ලබාගත් බවට සඳහන් කරමින් ඡායාරූපයක් ද පළ කර තිබුණේ මෙලෙසින්.
එම ඡායාරූපය පළ කිරීමේදී දක්වා තිබූ සටහන මෙසේ ය.
“සුවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ වූ උත්තරීතර වාම දළදාව උතුම් වූ සුගන්ධ කුටියෙන් පිටත අත්‍යාලංකෘත ප්‍රදර්ශන කුටියෙහි වැඩ හිදින අපූර්ව දසුන පිං කල දෙනෙත් දැකබලා ගනිත්වා . සත්‍ය ජායාරූපය) (මුල් අයිතිය) 2025/04/18
සියලු ගෞරවය සහ පින මුල් අයිතිකරුට”
කරුණු විමර්ශනය කිරීම :
ඒ අනුව පසුගිය 18 වන දින දළඳා ප්‍රදර්ශණය නැරඹීමට ගිය අයෙක් විසින් ලබාගත් ඡායාරූපයක් බවට දැක්වෙන ඡායාරූපය සත්‍ය එකක් ද යන්න පිළිබඳව අප පරීක්ෂා කරනු ලැබුවා.
මේ හා සම්බන්ධව කරුණු පරික්ෂාවේ දී ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපයක් සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් ඊයේ (20) නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.
එසේ තිබියදී සංසරණය වන ඉහත ඡායාරූපය මෙවර දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්. අදාළ නිවේදනය පහතින්.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබුණේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ ඇති පසුබිම සහ දළඳා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රදර්ශණයට අදාළව පළකර ඇති ඡායාරූප අප පරීක්ෂා කරනු ලැබුවා..
දළඳා මාළිගාව මඟින් දළඳා වහන්සේ තැන්පත් කිරීමට සකස් කළ පද්මාසනයේ දක්වා තිබූ ඡායාරූපය (Fb |Archive) | සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ඇති පසුබිම |
ඒ අනුව මෙහි පසුබිම් සැරසිලි දෙස අවදානය යොමු කිරීමේදී ඡායාරූප ද්විතවයේ ම ඇති පසුබිම් අවස්ථාවල යම් සමානාත්මතාවයක් දැකගත හැකි වනවා.
එනමුත් මේ සම්බන්ධයෙන් නිසි තහවුරු කරගැනීම සඳහා දළඳා මාළිගාවෙන් විමසීමක් සිදුකළ අතර එහි පිළිතුර ලද සැනින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවනවා.
දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ආකාරය
ශ්‍රී දළදා මාලිගාවේ 18 වන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ නෙරංජන් විජයරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් දළදාව ප්‍රදර්ශනය කෙරෙන ආකාරය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු දැක්වූ අදහස් මෙසේ ය.
“දළදා වහන්සේ අපි එළියට වැඩම කරවනවා වීදුරු කරඬුවක තැන්පත් කරලා, වීදුරු කරඬුවේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.”
“කරඬු 7ක් ඇතුළේ තමයි දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මාලිගාවේ. ඉතින් ඒ කරඬු 7 රජවරු පූජා කරලා තියෙන කුණ්ඩලාභරණ, මාල, මහජනයා පූජා කළ මාලා තැන්පත් කරලා තියෙනවා. ඒවා සියල්ල ම ලේඛනගත සහිතව ඉවත් කරලා, කරඬු 7 විවෘත කරලා, යතුරු 3ක් තියෙනවා. දියවඩන නිලමේ ගාව, මල්වතු-අස්ගිරි මහා නායක හාමුදුරුවන්ගේ යතුරු. ඒ යතුරු තුනෙන් ම තමයි කරඬු 7 විවෘත කරන්න පුළුවන් වෙන්නේ. තනියෙන් කාටවත් විවෘත කරන්න බැහැ. තුන් දෙනා ම එකතු වෙන්නත් ඕනේ, තුන් දෙනාගේ ම අනුමැතියට යටත්ව තමයි ඒ චාරිත්‍රය සිදු කරන්නේ,”
සිරි දළඳා වන්දනාවට පැමිණ ඡායාරූප හෝ වීඩියෝ පටිගත කළ හැකි ද?
සිරි දළඳා වන්දනාවට පැමිණ ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීම් සම්බන්ධයෙන් දළඳා මාළිගාවේ මාධ්‍ය කාර්යංශය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදුකර තිබුණේ මෙලෙසින්. එය දළඳා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිතර මහජනතාව දළඳා දැක්ම සම්බන්ධයෙන් අසන පැන වලට පිළිතුරු වශයෙන් පළ කර තිබුණා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත ඡායාරූප හෝ වීඩියෝ ලබාගත හැකි නමුත්, ශ්‍රී දළදා මාලිගා අභ්‍යන්තරය තූල එයට අවසර නොමැති බව දළඳා මාළිගාව විසින් දක්වා තිබෙනවා. සියළු ජංගම දුරකථන ප්‍රධාන පිවිසුමෙන් ඇතුල්වීමේදී ක්රියාවිරහින කළ යුතු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
දළදා දැක්ම
‘දළදා දැක්ම’ අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වෙනවා.
ඒ අනුව, අප්‍රේල් 18 වන දා සවස 3:00සිට සවස 5:30 දක්වාත් 19 වන දා සිට 27 වන දා දක්වා දහවල් 12:00 සිට සවස 5:30 දක්වාත් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
එනමුත් දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කාලවේලාව පැයකින් දීර්ඝ කර තිබේ.
සංශෝධිත නව කාල වේලාව – පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත සිදු කෙරෙන මෙම දළදා ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයින්ට අත්දැකීමට ලැබෙන්නේ වසර 16කට පසු ය.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව අප කරුණු පරීක්ෂාවට ලක් කර ඇති වීඩියෝ ද්විත්වයේම දැක්වෙන්නේ, මහනුවර දළඳා මාළිගාවේ වැඩසිටින දන්ත ධාතුන් වහන්සේගේ වීඩියෝ දර්ශණ නොවන බව තහවුරු වනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ දළඳා ප්‍රදර්ශණය අතරතුර ලබාගත් බව දක්වා ඇති ඡායාරූපය සත්‍ය එකක් ද යන්න සම්බන්ධයෙන් දළඳා මාළිගාව ඔස්සේ තහවුරු කරගැනීම අවශ්‍ය වන අතර දළඳා මළිගාවේ මාධ්‍ය අංශයෙන් ඒ සම්බන්ධ තොරතුරක් ලද සැණින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවනවා. පොලිසිය ද මෙම ඡායාරූපය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරමින් පවතී.

Title:වීඩියෝවල දැක්වෙන්නේ, මහනුවර දළඳා මාළිගාවේ තැන්පත් කර ඇති සැබෑ දන්ත ධාතුන් වහන්සේ ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
