කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබෙන් එකඟතාවය ලැබුණු බවට එජාපයෙන් ලිපියක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයත වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් නොයෙකුත් කතා පැතිරෙද්දී වැඩි වශයෙන් අවධානය හිමි ව ඇති කොළඹ මහ නගර සභාවට වන අතර ඒ අතරින් කොළඹ මහ නගර සභාවේ පුරපති පදවියට කවුරුන් කුමන පක්ෂයකින් තේරේවිද, යන්න තවමත් නිශ්චිත තාවයක් නොමැත. මේ අතර මෙම පදවිය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාව තෝරා ගත් බවට පළ වන ලිපියක සත්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක මහතා පත්කිරිම එකඟතාවය පළ කරන ලද බවට දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් ලිපියක් යොමු
කර ඇති බවට දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක ඡායාරූපයක් සංසරණය වුණා.

එම ලිපිය මෙසේය.

“කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්දව

සාකච්ඡා වට කීපයකින් පසුව සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවේදී ආණ්ඩුව බහුතර බලය දිනා නොගත් ප්‍රාදේශීය සභාවල සෙසු සියවූ පක්ෂ හා එක්ව එක්සත් ජාතික පක්ෂය හා සම්භ ජන බලවේගය මුලිකත්වයෙන් බලය පිහිටුවීමට තීරණය කරන ලදී.

එහිදී මූලික වශයෙන් කොළඹ නගරාධිපති වශයෙන් සාගළ රත්නායක මහතා පත්කිරිම සජිත් ප්‍රේමදාස මහතා එකඟ විය. පසුව සෙසු අයගේ ද දැඩි පෙළඹවීම නිසා සාගල රත්නායක මහතා කොළඹ පුරපති වශයෙන් පත්වීමට එකඟතාවය පළ කරන ලදී.”

Facebook | Archived Link

මෙම සටහන බහුලව ෆේස්බුක් පරිශීලකයින් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා

කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය එකඟතාවයකට පැමිණ ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් එම පක්ෂ වලින් කොළඹ පුරපති ලෙස යෝජනා කර ඇත්තේ කවුරුන්ද යන්න කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා කර නොතිබුණු අතර මෙවැනි ලිපයක් පිළිබඳ හෝ කිසිදු පුවත් ලිපියක් දැක ගන්නට නොලැබුණි.

ලිපිය ව්‍යාජයි – එපාජ සජබ මාධ්‍ය අංශ

මෙම ලිපියේ සත්‍යතාව පිළිබඳ විමසා බැලීම සඳහා අප වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙම ලිපිය ව්‍යාජ ලෙස සකසා ඇති ලිපියක් බව ත්, එක්සත් ජාතික පක්ෂය විසින් හෝ වජිර අබේවර්ධන මහතා විසින් හෝ මෙවැනි ලිපිය නිකුත් කර නොමැති බව ත් ය.

සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, මෙම ලිපිය අසත්‍ය බව ත්, මෙහි දැක්වෙන ලෙස කොළඹ පුරපති වශයෙන් සාගල රත්නායක මහතා පත් කිරීමේ එකඟතාවයකට එළැඹුන බව ට පළවන තොරතුරු ද, අසත්‍ය යන්නයි.

මේ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කරමින් සඳහන් කර තිබුණේ, මෙම ලිපිය ව්‍යාජ බවයි.

පාලන ආයතනවල බලය පිහිටුවීමට එජප සහ සජබ නායකයින් අතර විශේෂ සාකච්ඡා

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබූ අතර මෙහිදී 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අවධානය යොමු කර තිබේ.

එමෙන් ම මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහි දී විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවකට සාර්ථකව එළැඹුණ බව ද, සමගි ජන බලවේගය පවසනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඡායාරූප ද, එක් කරමින් එම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා, මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය, සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණා.

මේ සම්බන්ධයෙන් පක්ෂ දෙක නිකුත් කර තිබූ ඒකාබද්ධ නිල නිවේදනය පහතින්.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා වන සාකච්ඡා සාර්ථක බව මෙම රැස්වීමෙන් අනතුරුව පක්ෂ දෙකේ සාමාජිකයන් මාධ්‍යට අදහස් දක්වමින් පැවසූවත්, මෙහිදී හෝ කොළඹ පුරපති ලෙස සාගල රත්නායක මහතා තෝරා ගත් බවට හෝ ප්‍රකාශයක් සිදු නොකරයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව හේතුවෙන් මෙලෙසින් ‍නොමග යන අන්දමින් ව්‍යාජ ලිපියක් පළ වී ඇති බවට අනුමාන කළ හැක.

කොළඹ මහ නගර සභාව

කොළඹ මහ නගර සභාවේ සමස්ත මන්ත්‍රී ධූර 117ක් පැවති අතර සභාවේ බලය ලබා ගැනීම සඳහා ඉන්ආ සන 60ක් ජයග්‍රහණය කළ යුතුයි.

මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලවේගය – 81814 (48)

සමගි ජන බලවේගය – 58375 (29)

එක්සත් ජාතික පක්ෂය 26297 (13)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 9341(05)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8630 (4)

ස්වාධීන කණ්ඩායම් 3 – 5934 (03)

සර්වජන බලය – 3911 (02)

ජාතික ජන බලවේගය බහුතර බලය ලබා ගත්තද, ඉන් 50% හෝ ඊට වැඩි සභික සංඛ්‍යාවක් හිමි කර ගැනීමට නොහැකි වුණි. මේ අනුව, ජාතික ජන බලවේගය සතු ආසන සංඛ්‍යාව සමග සැසඳීමේදී විපක්ෂයේ ආසන එකතුව වැඩි අගයක් ගන්නා බව දැක ගන්නට ලැබේ.

මේ හේතුවෙන් තවමත් කොළඹ නගරාධිපති ලෙස තෝරා පත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න තවමත් අවිනිශ්චිත වේ.

සාගල රත්නායක මහතා සහ කොළඹ නගරාධිපතිකම

පසුගිය මැයි 09 වන දා සාගල රත්නායක මහතා විසින් කොළඹ නගරාධිපතිකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය දරමින් සිදු කළ ඒ කාර්යක්ෂම විශිෂ්ට සේවය දිගටම පවත්වා ගෙන යෑම සඳහා කටයුතු කරන බවයි. නගරාධිපති
ධුරය සඳහා පක්ෂයෙන් ඉල්ලීමක් කර නොමැති අතර මැතිවරණයට පෙර එකතු වී තරග කරන්න උත්සහ කළද, එහිදී සමගි ජන බලවේගය පැවසුවේ එරාන් වික්‍රමරත්න මහතා කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කර එයට සහයෝගය ලබා දෙන ලෙස බව ත්, එය සාර්ථක කරගන්න බැරි වූ බව ත්,නගරාධිපතිවරයා ලෙස නම් කරන තැනැත්තා හැමෝටම පිළිගත හැකි අයෙක් විය යුතු බව ත්, විපක්ෂයේ වැඩිපුර ඡන්ද ගත් පක්ෂය හැමටම පිළිගත හැකි අයකුගේ නමක් යෝජනා කළොත් ඒ සඳහා විපක්ෂයේ අනෙක් කණ්ඩායම් සහයෝගය ලබා දෙනු ඇති බව ත්,  සාගල රත්නායක මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ එස්.එම් මරික්කාර් මහතා පවසා තිබුණේ, සාගල රත්නායක මහතා කොළඹ නගරාධිපති කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අරමුණු බවයි. නමුත් තමන්ට එම තනතුරේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බව සාගල රත්නායක මහතා සඳහන් කර තිබුණා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook| Twitter| Instagram| GoogleNews | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක මහතා පත් කිරීමට එකඟතාවය පළ කරන ලද බවට දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුත් ලිපියක් යොමු කර ඇති බවට දක්වමින්, සමාජ මාධ්‍ය පළවන ලිපිය ව්‍යාජ ලිපියක් බවයි. ඒ බවට එක්සත් ජාතික පක්ෂය මෙන් ම සමගි ජන බලවේගය තහවුරු කරයි.

Avatar

Title:කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබෙන් එකඟතාවය ලැබුණු බවට එජාපයෙන් ලිපියක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply