
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය 24 වන දින හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය මෙලොවින් සමුගත් අතර 25 වන ඉරිදා දින සිට ඇයගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය වෙනුවෙන් විවෘතව තැබුණා. ඇයගේ අවසන් කටයුතු පසුගිය 26 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනු ලැබුණා.
ඇයගේ නිසල දේහයට ගෞරව කිරීම සඳහා මහජනතාව මෙන් ම කලාකරුවන් රැසක් සහභාගී වී තිබුණා. එලෙස සහභාගී වූ කලාකරුවන් අතරින් ඇතැමුන් හැසිරී තිබු අයුරු දැක්වෙන ඡායාරුප සහ වීඩියෝ විවේචනය කරමින් සටහන් රැසක් මේ දිනවල හුවමාරු වෙනවා.
ඒ අතර, රංගන ශිල්පිනී නිර්ධා උයන්හේවා මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අසල ගෞරව දැක්වීමේ වීඩියෝවක් රූගත කරගන්නා ආකාරය මේ දිනවල විවේචනාත්මක අන්දමින් සමාජ මාධ්‍යයේ සංසරණවෙමින් තිබෙනවා.
මෙම වීඩියෝව සංසරණය වීමෙන් අනතුරුව එම වීඩියෝව සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් ගිණුමකින් ඇය දැක්වූ අදහස් ලෙස ඇඟවෙන අයුරින් අදහස් දැක්වීම් කිහිපයක් ද සමාජ මාධ්‍යය ඔස්සේ විවේචනයට ලක්වෙමින් තිබෙන ආකාරය අපට දැකගත හැකිවිය.
එබැවින් ආන්දෝලනාත්මක අන්දමින් බොහෝදෙනාගේ විවේචනයට ලක්වන්නේ, සත්‍ය ලෙස ම නිර්දා උයන්හේවා සිදුකළ ප්‍රකාශයන් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පෙර අදාළ සටහන් සවිස්තරාත්මකව බලා සිටිමු.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
නිර්දා උයන්හේවා රංගනශිපිනිය, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අසල සිට ගෞරව දැක්වීමේ වීඩියෝවක් රූගත කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සංසරණය වීමෙන් අනතුරුව, නිර්දා උයන්හේවා නමින් සමාජ මාධ්‍ය ගිණුමකින්, එම වීඩියෝව සම්බන්ධයෙන් ඇය දැක්වු ප්‍රතිචාරයක් ලෙස වීඩියෝවක් සහ සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා.
එම සටහනින් පෙන්වා දීමට උත්සාහ කර තිබුනේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන, වයසක කාන්තාවක් පසුපසට කර නිර්දා තමාව කැමරාවට හොඳින් පෙනෙන ආකරයට සැකසෙන වීඩියෝව අසත්‍ය සංස්කරණයක් බවයි. එසේම, සත්‍ය වීඩියෝව මෙය බවටත් සඳහන් කරමින් වීඩියෝවක් උපුටා දක්වමින් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.
එම සටහන මෙසේ ය.
“මෙන්න ඇත්ත. අපගේ සිංහල සිනමාවේ නිළි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න මම ගිය වෙලාවේ, මගේ පිටුපසින් ආච්චිඅම්මා කෙනෙක් පැමිණ මාලනී ෆොන්සේකා මහත්මිය දැකගන්න ඉදිරියට පැමිණන්න උත්සහා කළා. මම එවිට පිටුපසට වී ඒ ආච්චිඅම්මාට මම සිටි ස්ථානය ලබාදුන්නා. මේ තියෙන්නේ එම සත්‍ය වීඩියෝ එක. මම ඒ කළ කාර්යය වීඩියෝ කර එය ආපස්සට (රිවස්) විකෘති කර, ව්‍යාජ වීඩියෝ එකක් සාදා කවුරුන් හෝ කණ්ඩායමක් ෆේස්බුක් දමා මට මඩ ප්‍රචාරයක් පවත්වාගෙන යනවා.
නිළියක්ට මේ ආකාරයෙන් බොරු වීඩියෝ සාදා අපහසුතාවයට පත්කරන රටකද අපි මේ ජීවත්වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ අගමැතිත් කාන්තාවක්. ඇයත් ඇස් කන් වහගෙන ඉන්නේ, මේක ජනතාවගේ ආණ්ඩුවක්ද? නැත්නම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද?”
මෙය මිලියන 4කටත් අධික පිරිසක් නරඹා තිබූ අතර බොහෝ දෙනෙක් විවේචනාත්මකව ද අදහස් දක්වා තිබුණා.
බොහෝ දෙනෙක් විශ්වාස කර තිබුනේ මෙය සත්‍ය ලෙස ම නිර්දා උයන්හේවා සිදුකළ ප්‍රකාශයක් බවයි.
එම ෆේස්බුක් ගිණුම ඔස්සේ තව දුරටත් ඇය සිදුකළ ප්‍රකාශ බවට දක්වමින් සටහන් රැසක් පළ කර තිබෙනවා.
මේ හේතුවෙන් මෙරට ඇතැම් ප්‍රධාන මාධ්‍ය මෙන් ම වෙබ් අඩවි ද මෙම ගිණුම සත්‍ය එකක් බවට සිතමින් ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා කිරීම් කර තිබුණා.
එබැවින්, ඉහත දක්වා තිබුනේ නිර්ධා උයන්හේවගේගේ සත්‍ය ෆේස්බුක් ගිණුම ද යන්න සම්බන්ධයෙන් සහ සත්‍ය ලෙස ම මෙම ප්‍රකාශ ඇය සිදුකළ ඒවා ද යන්න සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කරනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම සිදුවීමට පාදක වී තිබුණේ, නිර්දා උයන්හේවා රංගනශිපිනිය, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අසල සිට ගෞරව දැක්වීමේ වීඩියෝවක් රූගත කරගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමයි. එම වීඩියෝව පහතින්.
අප පළමුව ඉහත පලකිරීම් සිදුකර තිබු ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර එහිදී අපට පෙනීගියේ මෙම ෆේස්බුක් ගිණුම පසුගිය මැයි 26 වන දින නිර්මාණය කරන ලද එකක් බවයි.
එනම් නිර්දා උයන්හේවගේ ගේ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වූ දිනයේ මෙම සමාජ මාධ්‍ය ගිණුම නිර්මාණය කර තිබෙනවා.
එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරුවන නිර්දාගේ වීඩියෝව අසත්‍ය එකක් බවත්, සත්‍ය වීඩියෝව මෙය බවටත් නිර්ධා විසින් කළ පැහැදිලි කිරීමක් ලෙස දක්වමින් අදාළ ව්‍යාජ ගිණුමේ පළකර තිබූ වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී එහි නිර්ධාගේ ඇතැම් චලන අස්වාභාවික බවත්, නිර්දාට පිටුපසින් ගමන් ගන්නා පුද්ගලයින් සාමාන්‍ය ලෙස ඉදිරියට නොව, ආපස්සට ගමන් ගන්නා ආකාරයත් දැකගත හැකි ය.
ඒ අනුව සත්‍ය වීඩියෝව ලෙස මෙම ව්‍යාජ ගිණුමේ උපුටා දක්වා ඇත්තේ සංස්කරණය කරන ලද එනම් Reverse ලෙස ආපස්සට සෑදු වීඩියෝවක් බව පෙනී යනවා.
එමෙන් ම මෙය නිර්දා උයන්හේවා රංගන ශිල්පිනිය උපහාසයට ලක් කිරීම සඳහාත්, විවේචනයට ලක් කිරීමේ අරමුණෙනුත් සකස් කළ එකක් බව පැහැදිලි වනවා.
එසේම ඉහත සංස්කරණ කළ වීඩියෝව පළකර තිබු, සමාජ මාධ්‍ය ගිණුම , අද (28) දිනය වන තෙක් ද යාවත්කාලීන වී ඇති අතර වරින් වර එම ගිණුම ඔස්සේ නිර්ධා උයන්හේව ගේ සිදුකළ ප්‍රකාශ ලෙස සටහන් පළකර තිබෙනවා.
එම නිසා එම ගිණුමේ එවැනි සටහන් උපුටා දක්වමින් බොහෝදෙනා නිර්දා උයන්හේවා රංගන ශිල්පිනියව ව්රිවේචනය කර ඇති ආකාරය ද දැකගත හැකි විය.
බොහෝ ප්‍රධාන මාධ්‍ය මෙන් ම වෙබ් අඩවි ද මෙම ගිණුම සත්‍ය එකක් ලෙස සලකා නිර්දා උයන්හේවගේ, මාලනියගේ දේහය අසල ගෞරව දැක්වීමේ අවස්ථාව රූපගත කරන වීඩියෝව සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වා ඇති බවට ලිපි ද පළකර තිබු අතර පසුව එය ව්‍යාජ බව හැඟී යාමෙන් ඉවත් කරගෙන ද තිබුණා. (Archive)
තවත් වෙබ් අඩවි ද එලෙස ලිපි පළකර තිබුණේ මෙලෙසින්.
නිර්දා උයන්හේවගේ
අප මේ පිළිබඳව විමසීමට නිර්දා උයන්හේවගේ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, තමන් පැවසූ බවට ප්‍රකාශයන් දක්වමින් තමන් ලෙස පෙනී සිටින ව්‍යාජ පිටු ඔස්සේ ව්‍යාජ ප්‍රකාශය හුවමාරු වන බවයි.
ඇය ඇයගේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සහ ටික්ටොක් ගිණුමේ මෙම ෆේස්බුක් ගිණූම තමාගේ ගිණුමක් නොවන බවට එහී ඡායාරූපයක් සමඟ අදහස් පළකර තිබුණා.
එමෙන් ම ඇයගේ නමින් තවත් ෆේස්බුක් ගිණුම් මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් නිර්මානය වී ඇති අතර ඒවා ඔස්සේ ද ඇය සිදුකළ ප්‍රකාශ ලෙස නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වන ආකාරයත් දැකගත හැකි ය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවට සහභාගී වූ බොහෝ රංගනවේදීන් ද, දේහය ඉදිරිපිට ඡායාරූප මෙන් ම වීඩියෝ ද, සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබෙනු මෙලෙසින්,මෙලෙසින්,මෙලෙසින් සහ මෙලෙසින් දැක ගන්නට ලැබේ.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
නිර්ධා උයන්හේව විසින් මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීමේදී ඇය කැමරාවට පෙනෙන ලෙස සිදුකරගන්නා රූගත කිරීමක් දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් නිර්ධා සිය ෆේස්බුක් ගිණුමකින් දැක්වූ ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ, ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පළකළ සටහන් පෙළකි.
මීට දින දෙකකට පෙර, මැයි 26 වැනිදා නිර්මාණය කර තිබු මෙම ව්‍යාජ ගිණුම, නිර්ධා උයන්හේවගේගේ නිල ෆේස්බුක් ගිණුමක් නොවේ. ඇය ඒ බව තහවුරු කළ අතර, ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටිටොක් මාධ්‍ය ඔස්සේ ද සඳහන් කර ඇත.

Title:නිර්ධා උයන්හේවාගේ නිල ගිණුමකින් පළවූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද ?
Fact Check By: Piumika LakshaniResult: False
