චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව රජය යටතේ නැවතත් වාහන ආනයනය කිරීම ආරම්භ වුව ද වාහන ආනයනයේදී පවතින අධික තීරු බදු හේතුවෙන් මෙරට වාහන මිල වර්තමානයේ ද පවතින්නේ ඉහළ මට්ටමකයි. එබැවින් ඇතමුන්ගේ තමන්ගේම කියා වාහනයක් ලබාගැනීමේ සිහිනය, තවත් සිහිනයක් ම වී තිබෙනවා.

මෙවැනි පසුබිමක චීනයේ BYD සමාගම විසින් සිය විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 30% දක්වා අඩු කිරීමක් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ එම වාහනවල ලංකාවේ මිලත් පහළ යනු ඇති බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. 

ඇතැම් ප්‍රධාන මාධ්‍ය පවා වාර්තා කර තිබුණේ, චීනයේ BYD වාහන මිල අඩු වීමට සාපේක්ෂව ලංකාවේ ද එම වාහන මිල අඩුවෙනු ඇති බවටයි.

එබැවින් ලංකාවේත් BYD වාහන මිල අඩුවීමක් සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් Fact Crescendo අපි කරුණු විමසා බැලීමක් කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

BYD වාහන මිල 30%කින් පහළට – ලංකාවේ මිල ලක්ෂ 20? යනුවෙන් සඳහන් කරමින් ලංකාවේත් BYD වාහන මිල පහළ ගොස් ඇති බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මේ අයුරින්

Facebook|Archive

තවත් මෙවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fb|Fb|Fb|Fb

මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් මෙරට BYD විදුලි වාහන මිල ලක්ෂ 20ක වැනි මිල අඩුවීමක් සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

චීන විදුලි වාහන (EV) දැවැන්තයා වන BYD විසින් පසුගිය දා BYD විදුලි සහ plug in hybrid මාදිලි 22 ක විශාල මිල අඩු කිරීමක් සිදුකරනු ලැබුවා.  BYD සමාගමට අනුව මෙම විශේෂ මිල අඩු කිරීම ජූනි මස අවසන් වන තෙක් පවතිනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. (විදෙස් මාධ්‍ය වාර්තා කිරීම් මෙතනින්)

නමුත් මෙම මිල අඩුවීම් ජාත්‍යන්තර වෙළඳපොළ වාහන සඳහා ද බලපැවැත්වෙන බවට එම පුවත්වල සඳහන් නොවේ.

අනතුරුව අප මේ සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය වාර්තා කිරීම් දෙස අවධානය යොමු කරනු ලැබී ය.

චීනයේ BYD වාහන මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන මෙම පුවත ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ, විදෙස් මාධ්‍ය තොරතුරු අනුව ම වන නමුත්, පුවත් සඳහා ඇතැම් මාධ්‍ය භාවිතා කර තිබූ ශීර්ෂ පාඨ ඔස්සේ ලංකාවේත් BYD වාහන මිල අඩු වීමක් සිදුවන බවට ඇඟවෙන ලෙස වාර්තා කිරීම, BYD වාහන මිල ලංකාවේත් අඩුවනු ඇති බවට කතාබහ ඇති වීමට හේතු වූවා යැයි සිතිය හැකි ය.

නමුත් මෙම පුවත් අන්තර්ගතයන් දෙස අවධානය යොමු කිරීමේදී බොහෝ මාධ්‍ය නිශ්චිතව ම මෙරට BYD වාහන මිල චීනයේ මිල අඩුකිරීමට සාපේක්ෂව පහළ යනු ඇති බවට දක්වා නොතිබුණි.  එමෙන් ම  මෙරටට මෙම මිල ගණන් අදාළ නොවන බවත්, මෙරට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය අනුව මෙම වාහනවල මිල මෙපමණ පහළ අගයක් ගනු ඇති බව සැක සහිත බවටයි වාර්තා කර තිබුණේ. එම වාර්තා කිරීම් මෙතනින් සහ මෙතනින්.

මෙරට තවත් බොහෝ පුවත් වෙබ් අඩවි, ‘චීනයේ BYD සමාගමෙන් අඩු කළ කාර් මිල ගණන්’ යනුවෙන් සඳහන් කරමින් එම සමාගමේ මිල අඩු කිරීම් සිදුවන ආකරය වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින්.

මෙම වාර්තා කිරීම්වල මිල අඩුවීම් දක්වා තිබුණේ ද ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරමින් ය. එබැවින් ඇතැම් පිරිස් ලංකාවේ BYD වාහන මිල ගණන් ද මෙලෙස අඩුවීමක් සිදුව ඇතැයි සිතීමට මෙවැනි වාර්තා කිරීම් හේතුවන්නට ඇත.

BYD ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී ලියු ෂුලියැං

BYD හි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto විසින් පසුගියදා පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් BYD ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ (Asia-Pacific Auto Sales Division)  සාමාන්‍යාධිකාරී ලියු ෂුලියැං  (Liu Xueliang) කියා සිටියේ චීනයේ BYD වාහන මිල ගණන් පහළ දැමීම, චීන වෙළෙඳපොළ තුළ පමණක් ක්‍රියාත්මක් වන්නක් බවයි. එමඟින් ශ්‍රී ලංකාවේ BYD වාහන මිල ගණන්වලට බලපෑමක් සිදුනොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහුගේ එම ප්‍රකාශය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්,

“ඇත්තවශයෙන්ම චීනය තුළ මෙම මිල පහළ දැමීම, ශ්‍රී ලංකා වෙළෙඳපොළට බලපෑමක් ඇති කරන්නේ නැහැ. එය චීන දේශීය වෙළෙඳපොළ තුළ පමණක් ක්‍රියාත්මක් වන්නක්. චීනයේ මේ දිනවල තිබෙන්නේ සාප්පු සවාරි සමයක් (Shopping Season). මෙම කාලයේ දී ජනතාව වැඩි වශයෙන් සාප්පු සවාරිවල යෙදවීමට රජය විසින් දිරිගැන්වීමක් සිදුකරනවා. එම නිසා මෙම කාලයේ දී මෝටර් රථ පමණක් නොවෙයි, අනෙකුත් භාණ්ඩවලත් මිල ගණන් පහළ දැමීමක් දක්නට පුළුවන්. ඔවුන් විශේෂ වට්ටම් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරනවා. ජංගම දුරකතන සමාගම් පවා මේ දිනවල ඔවුන්ගේ නිෂ්පාදිතවල මිල ගණන් පහළ දමා තිබෙනවා.”

John Keells CG Auto ආයතනයේ අලෙවි ප්‍රධානි මිනෝෂලා නිස්සංකා

අප මේ සම්බන්ධයෙන් John Keells CG Auto ආයතනයේ අලෙවි ප්‍රධානි මිනෝෂලා නිස්සංකා මහත්මියගෙන් ද විමසීමක් කළ අතර එම මහත්මිය ද සඳහන් කළේ, චීනයේ චීනයේ BYD වාහන මිල ගණන් පහළ දැමීම, චීන වෙළෙඳපොළ තුළ පමණක් ක්‍රියාත්මක් වන්නක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ BYD වාහන මිල ගණන්වල වෙනසක් සිදුනොවන බවත් ය.

චීන වෙළඳපොළේ BYD වාහන මිල ගණන් පහළ දැමීම

චීනයේ විදුලි වාහන (EV) දැවැන්තයා වන BYD සමාගම, විදුලි සහ ප්ලග්-ඉන් දෙමුහුන් මාදිලි 22 ක මිල ගණන් 34% දක්වා අඩු කිරීමෙන් ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොලේ නව තරඟකාරී රැල්ලක් ඇති කර තිබෙනවා. 

2025 මැයි 23 වන දින නිවේදනය කරන ලද මෙම විශාල වට්ටම් , ජුනි 30 දක්වා බලපැවැත්වෙන අතර, මෙම තාවකාලික මිල අඩු කිරීමට ප්‍රධාන හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, BYD අලෙවිකරුවන් සතුව මේ වන විට පවතින මාස 3-4ක පමණ වන වාහන ඉන්වෙන්ටරිය බවයි.

අලෙවිකරුවන්ගේ ඉන්වෙන්ටරි වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ BYD හි අතිශය තරගකාරී විකුණුම් ඉලක්ක වන අතර, සමාගම 2025 දී වාහන මිලියන 5.5 ක් අලෙවි කිරීමට ඉලක්ක කර ඇත. එය ගිය වසරට සාපේක්ෂව 30%ක වැඩි වීමකි.

මෙම මිල අඩු කිරීමත් සමගම BYD සමාගමේ කොටස් මිල ද පසුගිය දා 8.6%කින් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2025 ජුනි 30 දක්වා චීනයේ BYD වාහන සඳහා ලබාදී ඇති මිල වට්ටම් මෙසේ ය.

(Source)

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

චීනයේ විදුලි වාහන (EV) දැවැන්තයා වන BYD සමාගම, විදුලි සහ ප්ලග්-ඉන් දෙමුහුන් මාදිලි 22 ක මිල ගණන් 34% දක්වා අඩු කර ඇති නමුත්, එය චීන වෙළෙඳපොළ තුළ පමණක්, ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධනයක් වන අතර එමඟින්, එරටින් පිට කිසිදුන් රටක හෝ ලංකාවේ හෝ BYD වාහන මිල ගණන්වලට බලපෑමක් සිදුනොවනු ඇත. 

Avatar

Title:චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply