දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉකුත් අප්‍රේල් 02 වැනිදා අමෙරිකාව පැනවූ තීරු බදුවලට අදාළව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයකට තුඩු දී තිබුණා. පසුව රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වී නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගේ ප්‍රකාශයේ දෝශ සහිත බව පිළිගත් අතර තීරුබදුවලට ම අදාළව එහිදී සිදුකළ තවත් ප්‍රකාශයක් යළිත් සමාජයේ අලුත් කතාබහක් නිර්මාණය කළේ ය. තීරු බදු අඩු කරගැනීම සඳහා ලොව අනෙකුත් රටවල් ගත් පියවර සහ ප්‍රතිශතාත්මකව වැඩිම ප්‍රගතිය අත්කරගත් රටවල් ඇතුළු සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගිය ජුනි 30 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ආසියානු කලාපයෙන් පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ බදු අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවයි. ලැබී ඇති තොරතුරු අනුව බදු සහනය ලබා ගැනීමේ කටයුත්ත ඉතා වාසිදායක අයුරින් සිදුකර ගත හැකි යැයි විශ්වාස කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යරයා පැවසූ පරිදි අමෙරිකාව පැනවූ තීරු බදු අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වූ ආසියාවේ එකම රට ලංකාව ද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීම පහතින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් 02 වැනිදා රටවල් 60 කට අධික සංඛ්‍යාවකට බලපැවැත්වෙන පරිදි අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමේ ඓතිහාසික නියෝගයට අත්සන් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ බද්ද 44%කි. ඉහළ ප්‍රතිශතයකින් අන්‍යෝන්‍ය තීරු බදු පැනවූ රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටින අතර මෙම තීරු බදු පැනවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය බදු සහන ලබා ගැනීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර සඳහා අවශ්‍ය පියවර ගත්තේ ය. ඒ අනුව මේ වනවිට 44% තීරු බද්ද 30%ක් දක්වා අඩු කරගෙන සිටින අතර තවදුරටත් සහන ලබාගැනීම සඳහා වන ඉදිරි පියවර තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ජනපති ට්‍රම්ප් පැනවූ බදු අඩු කර ගැනීමේ සාකච්ඡා පැවැත්වූ ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව ද?
මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළුව ආසියානු කලාපයේ රටවල් රැසක් අප්‍රේල් 02 වනදා පැනවූ තීරුබදු අනුපාත අඩු කරගෙන තිබේ. ඒ අනුව ජනපති ට්‍රම්ප් පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන එකම ආසියානු රට ශ්‍රී ලංකාව බවට පසුගිය ජුනි 30 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඇත්තේ, ප්‍රශ්නකාරීය.
මූලිකවම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වනදා එක් එක් රටවලට අදාළව තීරුබදු ප්‍රකාශ කිරීමෙන් පසු තීරුබදු ක්‍රියාත්මක නොකර දින 90ක විරාමයක් නිවේදනය කර කළේ ය. එක් එක් රටවලට අදාළව වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි.
මේ අනුව ආසියානු කලාපයේ ඇතුළුව ජනපති ට්‍රම්ප් පැනවූ බදු නිසා පීඩාවට පත් වූ බොහෝ රටවල් දින 90 ක කාලය ඉක්ම යාමට ප්‍රථම වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම් හා සාකච්ඡා පැවැත්වීම් හරහා අදාළ බදු ප්‍රතිශත අඩු කර ගැනීම සඳහා පියවරගත් අතර ඒ අනුව මේ වනවිට ජනපති ට්‍රම්ප් තම රටවලට අප්‍රේල් 2 වනදා ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිශත යම් පමණකට අඩු කර ගැනීමට ආසියානු රටවල් ඇතුළු රටවල් රැසක් සමත්ව සිටී.
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කරගෙන බදු සහන ලබාගත් රටවල්
ඒ අනුව සාකච්ඡා පැවැත්වීම් , ගිවිසුම්වලට එළැඹීම හා ඒ සඳහා වන උත්සාහයන් හරහා මේ වනවිට ලොව රටවල් රැසක් බදු සහන ලබා ගෙන තිබේ.
අමෙරිකා – වියට්නාම සාකච්ඡා
අප්‍රේල් 02 වැනිදා බදු නියෝගයට අනුව අමෙරිකාවට වියට්නාමයට 46%ක තීරු බදු ප්‍රකාශයට පත් කළේ ය. මේ වනවිට වියට්නාම ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරවන එම ඉහළ බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව සිටින්නේ, ජනපති ට්‍රම්ප් ජූලි 2 වනදා දෙරට අතර වෙළඳ ගනුදෙනු පිළිබඳ නිවේදනය කිරීමත් සමගයි.
බදු ප්‍රකාශයට පත් කර අමෙරිකාව දින 90ක විරාම කාලයක් ප්‍රකාශයට පත් කළ අතර වියට්නාමය බදු අඩු කර ගැනීම සඳහා අමෙරිකාව සමග සාකච්ඡා ආරම්භ කර තිබුණේ, වෙළඳ ගිවිසුමකට එළැඹීම අපේක්ෂාව සහිතවයි. ඔවුන් බදු ප්‍රතිශත අඩු කර ගැනීම සඳහා මුල සිටම පියවර තැබූ අකාරය එරට රජයේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ, අප්‍රේල් 04 වැනිදා එනම් බදු ප්‍රකාශයට පත් කර දින දෙකකට පසු වියට්නාම කොමියුනිට්ස් පක්ෂ මහලේකම් To Lam අමෙරිකානු ජනාධිපතිවාරයා සමග දුරකතන සාකච්ඡාවක නිරතව ඇති බවයි. පසුව මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයා ලෙස නියෝජ්‍ය අගමැති Ho Duc Phuoc අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබූ අතර ඉකුත් අප්‍රේල් 9 වැනිදා ඔහු අමෙරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer මහතා හමුවී තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරතව තිබිණ. ඒ අනුව මුලින් 46%ක් පැවති තීරු බදු 20%ක් දක්වා අඩු කර ගැනීමට වියට්නාමය සමත්ව ඇත්තේ, ඔවුන් මුල් අවස්ථාවේ සිටම සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි. සම්පූර්ණ විස්තරය මෙතැනින්
අමෙරිකා – ජපාන සාකච්ඡා
ඉකුත් අප්‍රේල් 02 වැනිදා ට්‍රම්ප් තීරු බදු ප්‍රකාශයට පත් කරමින් සිදු කළ නිවේදනයේදී ජපානයට ද 24%ක් තීරු බද්දක් පනවන බව පැවසී ය. පසුව අප්‍රේල් 9 වැනිදා දින 90 විරාම කාලය ප්‍රකාශයට පත් කිරීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ජපාන අග්‍රාමාත්‍ය Shigeru Ishiba මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කළ අතර සාකච්ඡා මෙහෙයවීම සඳහා අමාත්‍ය Ryosei Akazawa පත් කළේ ය. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, අප්‍රේල් සහ ජූලි අතරදී අකසාවා සාකච්ඡා සඳහා 8 වතාවක් අමෙරිකාවට ගොස් ඇති බවයි. ඒ අනුව ජූලි 8 වනදා එනම් අකසාවාගේ සංචාර 7කින් පසු ට්‍රම්ප් ජපානයට 25%ක බදු නියම කරන බව දන්වමින් ලිපි යවා තිබිණ. කෙසේ වෙතත් තවදුරටත් සිදු වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එනම් ජූලි 22 වනදා ට්‍රම්ප් නිවේදනය කර තිබුණේ, අමෙරිකාව ජපානය සමග දැවැන්ත ගිවිසුමකට එළැඹි බවයි. ඒ අනුව තීරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර ගැනීමට ජපානය සමත්විය. තවත් පුවත් මෙතැනින්
අමෙරිකාව සමග සාකච්ඡා පැවත් වූ තවත් රටවල්
අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දිනක පවසා තිබුණේ, ඉන්දියාව සහ අමෙරිකාව අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතර වෙළඳ ගිවිසුම අවසන් කිරීමට ඉතා ආසන්න බවයි. අප්‍රේල් 2 වනදා බදු පැනවීමට අදාළව අමෙරිකාව ඉන්දීය භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බද්ද 27% කි. දෙරට අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ අනුව දෙරට අතර වෙළඳ ගිවිසුමෙන් පසු ඉන්දියාවට පනවා තිබූ තීරු බද්ද අඩු කරන ප්‍රතිශතය දැනුම් දෙනු ඇති.
පසුගිය අප්‍රේල් 02 වන දා පැනවූ 32% තීරු බද්ද 19%ක් දක්වා අඩු කර ගැනීමට ඉන්දුනීසියාව සමත්ව සිටී. ඒ අමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු දෙරට අතර වෙළඳ ගිවිසුමකට එළැඹීම සඳහා කාලරාමුවක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. ධවල මන්දිරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඉන්දුනීසියාව අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු සියල්ලම පාහේ ඉවත් කරනු ඇති බවයි. ඒ අනුව අමෙරිකාවට ආනයන කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බද්ද 19%ක් දක්වා පහත දමා තිබේ.
මීට අමතරව සාකච්ඡා පැවත්වීම් හරහා තීරු බදු ප්‍රතිශත අඩු කර ගැනීමට ද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් සමත්ව සිටී. කෙසේ වෙතත් රටවල් කිහිපයක පැවති බදු නොවෙනස්ව පවතින ආකාරයක් මෙන්ම රටවල් කිහිපයක බදු ප්‍රතිශත වැඩි කර ඇති බවක් ද පෙන්නුම් කරයි. ඒ අනුව පහතින් දැක්වෙන්නේ, ලබන අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපි යොමු කර ඇති සහ ගිවිසුම් ගත වී ඇති රටවල් ලැයිස්තුවයි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්.
මේ අනුව පැහැදිලි වන්නේ, ඉහත ලැයිස්තුවේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කාලපයේ රටවල් රැසක් ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බදු ප්‍රතිශත අඩු කර ගැනීම සඳහා වන සාකච්ඡා පවත්වා මේ වනවිටත් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන සිටින බවයි. වියට්නාමය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව යන රටවල් තීරු බදු අඩු කර ගැනීම සඳහා වන අමෙරිකාව සමග පැවැත්වූ සාකාච්ඡා හුදු සාකච්ඡා කිරීම්වලින් ඔබ්බට ගොස් වෙළඳ ගනුදෙනු ප්‍රකාශයට පත් කිරීම් දක්වා සාර්ථක අවසානයකට ගොස් ඇත. ඒ අනුව එකී රටවලට පනවා තිබූ තීරු බදු සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව පැහැදිලි ය. ඊට අමතරව තවත් රටවල් 20කට වැඩි සංඛ්‍යාවකට අගෝස්තු 01 වැනිදා සිට තීරු බදු ක්‍රියාත්මකවන බව දන්වමින් ලිපි යොමු කර තිබේ. ඒ එම රටවල් ගිවිසුම් සඳහා එළැඹීට පොළඹවමිනි. මෙලෙස ලිපි යොමු කර ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක් ද අමෙරිකාව සමග සාකච්ඡා පවත්වා අප්‍රේල් 2 වනදා පැනවූ බදු ප්‍රතිශත තවදුරටත් අඩු කරගෙන තිබේ. රටවල් කිහිපයක් සඳහා අප්‍රේල් 2 පැනවූ බදු එලෙසම ක්‍රියාත්මක වන අතර තවත් රටවල් කිහිපයක බදු ප්‍රතිශත ඉහළ දමා ඇත. මීට අමතරව අසල්වැසි ඉන්දියාව වෙළඳ ගිවිසුමක් සඳහා වන ඉහළ මට්ටමේ සාකච්ඡාවල අවසන් අදියරට පැමිණ සිටී.
මේ අනුව පැහැදිලි වන්නේ, බදු අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවට පසුගිය ජුනි 30 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි. තව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 17 වැනිදා ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් තමා විසින් සිදු කළ එම ප්‍රකාශයේ වරදක් ඇති බව ද පිළිගත්තේ ය. එහෙත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා තීරු බදු අඩුකර ගැනීමට අදාළව නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් යළිත් සංවාදයට තුඩු දී තිබේ.
දෙරණ නාලිකාවේ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය
පසුගිය ජූලි 17 වැනිදා දෙරණ නාලිකාව ඔස්සෙ විකාශය වූ සාකච්ඡාවකදී බදු ප්‍රතිශත අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන එකම රට ශ්‍රී ලංකාව බවට නි. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා නි. අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම අදහසේ පුංචි අඩුපාඩුවක් තිබෙන බවත් අදහස් ප්‍රකාශ කිරීමේදී එවැනි දේ සිදුවිය හැකි බවත් ය. එහෙත් ඉන් තමා අදහස් කළේ, රාජ්‍ය තාන්ත්‍රිකව අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් ප්‍රගතිය අතින් ඉදිරියෙන්ම සිටි එකම රට ශ්‍රී ලංකාව බවයි. එහිදී මාධ්‍යවේදියා යළිත් නි. අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව ද ප්‍රශ්න කර සිටියේ ය.
ප්‍රශ්නය: එහෙම කියන්නත් බෑ නේ, මොකද වියට්නාමය හොඳටම ප්‍රගතිය අත්පත් කර ගත්ත නිසා තමයි අවසන් එකඟතාවකටත් ආවේ?
පිළිතුර: නමුත් ප්‍රකාශ, ලියුම් අපි දැනට හුවමාරු කරලා තියෙන, ඒ ප්‍රතිශත ගත්තත් අර අඩුවීම, කලින් දුන්න අනුපාතයයි දැන් එකඟවෙලා තියෙන එකයි අතර පරතරය වැඩිම පරතරය අපි තමයි අරන් තියෙන්නෙ
තව ද වියට්නාමයට අප්‍රේල් 02 වැනිදා පැනවූ 46% තීරුබදු ප්‍රතිශතය අවසන් එකඟතාවට අනුව 20%ක් දක්වා අඩු කරගෙන ඇති බැවින් වැඩිම ප්‍රතිලාභය හිමි කර ගත් රට ශ්‍රී ලංකාව නොවන බව මාධ්‍යෙව්දියා කියා සිටියේ ය.
ඊට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
“එහෙම වෙන්න පුළුවන් මං ඒකයි කිව්වේ ප්‍රකාශයක් කරුණක් විදිහට වැරදෙන්න පුළුවන්. මං කියන්නෙ ඒ වචනය වැරදීම හෝ කරුණ මේ සමස්ත ආර්ථිකය මෙහෙයවීමේදී, මේ අත්පත්කරගෙන තියෙන ප්‍රගතියේදී අපි ගත්ත ක්‍රියාමාර්ගවල, අපි යොදපු වෙහෙස මහන්සිය එක්ක ගත්තහම ඉතාම සුළු දෙයක්”
කෙසේ වෙතත් අගෝස් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු පැනවෙන රටවල් වෙත ඉකුත් දා අමෙරිකානු ජනාධිපතිවරයා ලිපි යොමු කර තිබූ අතර ලිපි යොමු කර තිබූ රටවල් ලැයිස්තුව අනුව වැඩිම ප්‍රතිලාභ හිමි කර ගෙන ඇති රට ශ්‍රී ලංකාව බවට වන ප්‍රකාශයේ අසත්‍යතාවක් නොමැත. ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාව මෙතනින්.
බදු අඩු කර ගැනීමේ ප්‍රගතිය ගැන නි. ඇමති පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය
පසුගිය ජූලි 11 වැනිදා නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අවස්ථා දෙකකදී මෙරට නියෝජිත කණ්ඩායම අමෙරිකා එක්සත් ජනපදය පැනවූ බදු අඩුකර කරගැනීම සඳහා වන සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. ඒ අනුව අගෝස්තු 1 වැනිදා සිට බදු අයකිරීම ක්‍රියාත්මක වන බවට ලිපි යොමු කර ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බවයි. 30%ක් ලැබිලා තියෙන්නේ මේ වන තෙක් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මීට පෙර පැනවූ 44% බද්ද 30%ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත්ව සිටින බවයි. තවද එලෙස ලිපි නිකුත් කර ඇති සහන ලැබී ඇති රටවල් 25 අතරින් වැඩිම බදු සහනය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි.
“දැනට කර්ටසි ලෙටර්ස් යවපු රටවල් 25 අතරින් වැඩිම බදු සහනය ලැබිලා තියෙන්නෙ අපේ රටට අනෙක් කිසිදු රටකට නෑ. සමහර වෙලාවට වැඩි වෙලා තියෙනවා. බ්‍රසීලයේ 10% සිට 50% දක්වා වැඩි කර තියෙනවා. සාකච්ඡා ඉදිරියට ගෙනියනවා අරමුණ සාකච්ඡා තවදුරටත් ගෙනියලා අනුපාතය අඩු කර ගැනීම“
නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, දෙරණ නාලිකාවේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා නව බදු ප්‍රතිශත ප්‍රකාශයට පත් කරමින් ලිපි යොමු කරන ලද රටවල් අතරින් වැඩිම ප්‍රගතියක් අත්කරගත් රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශ කිරීමට උත්සාහ දරා ඇති බවයි. වැඩි විස්තර මෙතැනින්
අඩුවූ බදු ප්‍රතිශතවල ප්‍රගතිය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ පළමු ස්ථානයේ ද?
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිශත දැනුම් දෙමින් මේ වනවිට රටවල් රැසකට ලිපි යොමු කර ඇති අතර තවත් රටවල් කිහිපයක් සමග වෙළඳ ගිවිසුම්වලට එළැඹීම් හමුවේ ඔවුන් ද සිය රටවල් සඳහා පනවා තිබූ බදු ප්‍රතිශත අඩු කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව ප්‍රතිශතයක් ලෙස ගත් විට දින 90 විරාම කාලය තුළ බදු ප්‍රතිශත අඩු කරගැනීම් අතින් වැඩිම ප්‍රගතියක් අත්කරගත් රටවල් පිළිවෙළ පහත පරිදි වේ. ඒ අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ, සිව් වැනි ස්ථානයේයි.
- වියට්නාමය: 46% සිට 20% දක්වා – (අඩු වූ ප්‍රතිශය 57%)
- ඉන්දුනීසියාව: 32% සිට 19% දක්වා – (දක්වා (අඩු වූ ප්‍රතිශය 41%)
- ජපානය: 25% සිට 15% දක්වා – (අඩු වූ ප්‍රතිශය 40%)
- ශ්‍රී ලංකාව: (44% සිට 30% දක්වා – (අඩු වූ ප්‍රතිශතය 32%)
- පිලිපීනය: (20% → 19%) දක්වා – (අඩු වූ ප්‍රතිශතය 5%)
මෙ අනුව බදු ප්‍රතිශත අඩුකරගැනීම අතින් පොදුවේ ගත් කළ ආසියානු කලාපයේ වැඩිම ප්‍රගතියක් අත්කර ගෙන ඇති රට ලෙස සැලකිය හැක්කේ, වියට්නාමයයි.
30% තීරු බද්ද අඩු කරගැනීමේ සාකච්ඡා අවසන් ද?
පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ලොව රටවල් රැසකට බලපැවැත්වෙන පරිදි සැලකිය යුතු ප්‍රතිශතයන්වලින් අන්‍යෝන්‍ය තීරු බදු පැනවී ය. එදින ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පනවන බව ජනපති ට්‍රම්ප් නිවේදනය කළේ ය.
කෙසේ වෙතත් බදු ක්‍රියාත්මක කිරීම සඳහා ජනපති ට්‍රම්ප් සහන කාලයක් ප්‍රකාශයට පත්කළ අතර එම සහන කාලය පසුගිය ජුලි 09 වැනිදායින් අවසන් විය. ඒ අනුව අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 30%ක් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියකින් දන්වා තිබේ. විස්තර මෙතැනින්
මේ අතර අමෙරිකාව පැනවූ 30%ක නව තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අඛණ්ඩ උක්සාහයන්හි නිරත වෙමින් සිටී. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ නියෝජිතයින් අතර පසුගිය 25 වනදා ද මාර්ගගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ, මෙරටට පනවා ඇති තීරු බදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූ බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| YouTube

Title:ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද?
Fact Check By: SagarikaResult: Misleading
