දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කරන ප්‍රකාශයන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවත් ඇතිවී තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිදු කළ එවැනි ප්‍රකාශයන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අද වන විට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බවත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5කට ආසන්නව විදේශ වත්කම් වලින් පොහොසත් බවත්, රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් වඩා අඩු මට්ටමක තිබූ බවත්, මේ වන විට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ගෙන ඇති බවත්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සිදු කළ ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ ද, වාර්තා කර තිබුණා.
සත්‍ය වශයෙන් ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය සත්‍යයක් ද, යන්න අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
විදේශ සංචිත ප්‍රමාණය
අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසන පරිදි ජාතික ජන බලවේගය රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් වඩා අඩු මට්ටමක පැවතුණේ ද, යන්න පිළිබද අප මහ බැංකු වාර්තා හරහා පරීක්ෂා කරනු ලැබුවා.
එහිදී දැක ගන්නට ලැබුණේ, අමෙරිකානු ඩොලර් බිලියන 6.1 විදේශ සංචිත ප්‍රමාණයක් 2024 වසරේ අග භාගයේදී පැවති බවයි.
2024 නොවැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ විදෙස් දළ නිල සංචිත, 2024 දෙසැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක් දක්වා පහත වැටී ඇති බව ත්, එයට ප්‍රධාන වශයෙන් බාහිර වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව රජය විසින් කරන ලද ගෙවීම් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ත්, එය 2024 දෙසැම්බර් මාසයේදී වසර 3 කට අලුත් කර තිබේ.
ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස වන විට එනම් නව රජය පත්වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ විදෙස් දළ නිල සංචිත පැවති බැවින් ටී.බී. සරත් මහතා පෙන්වා දෙන පරිදි ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් වඩා අඩු මට්ටමක පැවතී බවට සිදු කළ ප්‍රකාශය අසත්‍ය වේ.
2025 ජුනි අවසානය වන විට රටේ දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,081.4 එනම් ඇමරිකානු ඩොලර් බිලියන 6.081ක් දක්වා ළඟා වීමට හැකි වූ බව 2025 ජූනි මසදී වෙළඳපල මෙහෙයුම් වාර්තාවේ සඳහන් වේ.
Also Read: 2024 මෙරට නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගිය හේතුව බවට නොමග යන සටහනක්!
විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම
ආර්ථික වර්ධන වේගය
ආර්ථික වර්ධන වේගය යනු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හා සේවාවල වටිනාකමෙහි ප්‍රතිශත වැඩිවීමයි, එය සාමාන්‍යයෙන් වාර්ෂිකව හෝ කාර්තුමය වශයෙන් මනිනු ලැබේ. එය ගණනය කරනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) භාවිතා කරමිනි. එනම්, සරලවම එය පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයකට (කාර්තුවකට) සාපේක්ෂව රටක ආර්ථිකය කෙතරම් වර්ධනය වී ඇත් ද යන්න ගණනය කෙරේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනට ප්‍රකාශ කොට ඇත්තේ 2025 වසරේ පළමු කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු පමණි. මෙම තොරතුරු ජුනි මස 16 නිකුත් කර තිබු අතර 2025 වසරේ දෙවැනි කාර්තුවට අදාළ ආර්ථික වර්ධන වේගය ඇතුළු නිර්ණායක මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ බලාපොරොත්තු විය හැකියි.
ඒ අනුව, දැනට ප්‍රකාශිත තොරතුරු මත, 2025 වසරේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය, (වසරේ (2024) පළමුවන කාර්තුවේ වාර්තා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ අගයට සාපේක්ෂව) 4.8% ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව දැක්වෙනවා.
එසේම 2024 වසරේ අවසන් කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 5.4% ක පැවති බව ද මෙහිදී දැක ගන්නට ලැබෙනවා. statistics.gov.lk
මහ බැංකුව ද, මේ පිළිබද වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි මේ වන විට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ගෙන ඇති බව ට සඳහන් කිරීම අසත්‍ය හා නොමග යන සුළු වේ.
2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වී තිබු අතර එය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2018 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා අතර කාලයේ දී පළමුවන කාර්තුවේ මුත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වී ඇති ආකාරය පහතින්.
තව ද, පවත්නා මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 7,920,616 ක් ලෙස වාර්තා වු අතර එය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 8,274,915 ක් දක්වා සියයට 4.5 කින් වැඩි වී ඇත. පෙර වසරේ පළමු කාර්තුවේදී මෙම වර්ධනය සටහන් වුයේ සියයට 5.1 ක ධන වර්ධනයක් වශයෙනි.
ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්‌මාන්තය, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 7.6 ක්, සියයට 26.7 ක්, සියයට 57.4 ක් වශයෙන් වේ. තවද භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩු කළ) 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය සියයට 8.3 ක් ලෙස වාර්තා වේ.
2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 0.7 ක ඍණ වර්ධන වේගයක් ද කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට සියයට 9.7ක් සහ සියයට 2.8 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙලෙසින්.
2023 තුන්වන කාර්තුවේ සිට අඛණ්ඩව හත්වන වරටත් ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධන වේගයක් අත්කර ගනිම්න් 2025 පළමු කාර්තුව සඳහා ද සියයට 4.8 ක වර්ධන වේගයක් වාර්තා වූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයක්, විශේෂයෙන් මූල්‍ය හා රක්ෂණ සේවා, නිමවුම් කර්මාන්ත කටයුතු, ඉදිකිරීම්, පතල් හා කැණීම් සහ නවාතැන් හා ආහාර පාන සැපයීම යන ආර්ථික ක්‍රියාකාරකම් මෙන් ම ආර්ථිකයේ යම් කාලයක් තිස්සේ පැවති ස්ථාවර විනිමය අනුපාතය සහ අඩු පොලී අනුපාතය තුළින් දේශීයව ණය අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ඉහළයාම, ආයෝජන සහ අතරමැදි භාණ්ඩ ආනයනය වැඩි කිරීමට මංපෙත් විවරවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙලෙසින් සහ වැඩිදුර තොරතුරු මෙතනින්.
ලෝක බැංකුව
2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ප්‍රකෘතියක් අත්කර ගෙන ඇති අතර, එය ප්‍රක්ෂේපිත සියයට 4.4 ට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් ක්‍රියාකාරිත්වය හේතු වී ඇත. ගෝලීය ප්‍රචණ්ඩත්වයන් සහ පෙර නොවූ විරූ වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ, අර්බුදයේ කැළැල් බලපෑම් සහ වර්ධනයට ව්‍යුහාත්මක බාධාවන් පිළිබිඹු කරමින් 2025 දී වර්ධනය සියයට 3.5 දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරන බව ත්, දේශීය ඉල්ලුම නැවත පණ ගැන්වීම හේතුවෙන් 2025 මැද භාගය වන විට උද්ධමනය ධනාත්මක වනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් මහ බැංකුවේ මධ්‍ය කාලීන ඉලක්කය වන සියයට 5 ට වඩා අඩු මට්ටමක පවතින බව පසුගිය අප්‍රේල් 23 වනදා ලෝක බැංකුව වාර්තා කළේ. එමෙන් ම 2026 වසරේ දී 3.1% ක් පමණ වර්ධනයක් පුරෝකථනය කර තිබුණා. Archived Link
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දෙන්නේ, 2025 පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.8 කින් වාර්ෂිකව වර්ධනය වූ අතර එය අපේක්ෂාවන් ඉක්මවා ගිය බවයි. 2025 දෙවන කාර්තුවේදී උද්ධමනය සියයට 1.1 ක් වූ අතර ක්‍රමයෙන් ඉලක්කයට නැවත පැමිණෙමින් ඇති බවයි. එහෙන් ම 2025 ජුනි මස අග වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක් බව ද, පෙන්වා දෙන්නේ මෙලෙසින්.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තියේ නිවැරදි ශේෂය පවතින අතර, අගෝස්තු මාසයේදී දේශීය උද්ධමනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ත්, ජුනි මාසයේදී වාර්ෂිකව සෘණ 0.6% ක් වූ ශ්‍රී ලංකාවේ උද්ධමනය, ඉදිරි කාර්තු හතරේ සිට හය දක්වා කාලය තුළ මහ බැංකුවේ ඉලක්කය වන 5% ට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව සිංගප්පූරුවේ පැවති රොයිටර් නෙක්ස්ට් ආසියානු සමුළුවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පී. වීරසිංහ මහතා පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ රොයිටර් මාධ්‍ය වාර්තාව මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් වඩා අඩු මට්ටමක තිබූ බවත්,මේ වන විට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ගෙන ඇති බව ත් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ අසත්‍ය වේ. මහ බැංකු වාර්තා වලට අනුව 2024 නොවැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ විදෙස් දළ නිල සංචිත තිබී ඇති අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනට ඉදිරිපත් අකර ඇති වාර්තාවලට අනුව 2025 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව සඳහන් කර තිබේ.

Title:රටේ ආර්ථික වර්ධන වේගය සහ රට භාර ගනිද්දි තිබ්බ විදෙස් සංචිත ගැන ඇමති ටී.බී. සරත්ගේ ප්‍රකාශ ඇත්තද?
Fact Check By: Pavithra SandamaliResult: False
