හික්කඩුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරලද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අද සමාජ මාධ්‍ය භාවිතයේදී, කෘතීම බුද්ධිය (AI) භාවිතයෙන් මෙන්ම නොයෙකුත් පරිගනක මෘදුකාංග භාවිත කරමින් ඡායාරූප සංස්කරණය කිරීම බහුලව දක්නට ලැබෙයි. එමඟින් සත්‍ය සහ සංස්කරණය කළ අන්තර්ගත අතර වෙනස වෙන් කිරීම අපහසු වී තිබේ. හික්කඩුව දුම්රිය ස්ථානය අලුත්වැඩියා කළ බව පෙනෙන ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව අප විමර්ශනයක් සිදු කරන ලදී.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හික්කඩුව දුම්රිය ස්ථානය අලුත්වැඩියා කළ බවට හැඟවෙන අයුරින් එහි නවතම තත්ත්වය ලෙසට දක්වමින් ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්‍.

Facebook | Archived Link

හික්කඩුව දුම්රිය ස්ථානය අලුත් වැඩියා කර  ඇති බව දැක්වෙන ජායාරූපයේ තොරතුර සත්‍යය ද යන්න පිළිබද අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසිනි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) 

හික්කඩුව දුම්රිය ස්ථානය මෑතකදී අලුත්වැඩියා කර තිබේද යන්න පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව ද පරීක්ෂා කර බැලුවද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට කිසිදු පුවතක් එහි වාර්තා වී තිබුණේ නැත.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ, දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් පෞද්ගලික අංශයේ මූල්‍ය දායකත්වය යටතේ නවීකරණය කිරීමේ Dream Destination වැඩසටහන අද ආරම්භ විය. එහි පළමු දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු Star Garments මූල්‍ය දායකත්වයෙන් අද(02) ගාල්ල තල්පේ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වුනු අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කළ බව සඳහන් වුවත්  හික්කඩුව දුම්රිය ස්ථානයේ අලුත්වැඩියා කිරීමක් මෑතකදී සිදු වූ බවට වාර්තා වී නැත. එම අවස්ථාවේ ඡායාරූප මෙතනින්.

අප මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා හික්කඩුව දුම්රිය ස්ථානයට දුරකතන ඇමතුම් කිහිප වරක් ලබා ගත්තද, මෙතෙක් ඔවුන් කිසිවක් දුරකතන ඇමතුම හා සම්බන්ධ නොවූ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

කෙසේ වෙතත් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් දෙදෙනෙක් වන A.V.D. අමරසේන සහ රන්මුතු ඥානදාස යන මහත්වරුන් දුරකථනය මගින් සම්බන්ධ කරගත් අතර එහිදී ඔවුන් සමග කළ කරුණු විමසීමේදී දැන ගැනීමට ලැබුනේ මෑතකදී හික්කඩුව දුම්රිය ස්ථානයේ අලුත්වැඩියා කටයුත්තු සිදු නොකළ බව ත්, එය ඇත්තේ පැරණි තත්ත්වයෙන් බවයි.

මෙම ඡායාරූපය ඉතා හොඳින්  නිරීක්ෂණය කළ විට මෙම ජායාරූපය  ව්‍යාජ එකක් බව පෙනී යයි. ජායාරූපයේ හැක්වෙන නාම පුවරුවේ සදහන් ‘Hikkaduwa’ යන ඉංග්‍රීසි  සහ සිංහල අකුරු පරිගණකයකින් නිර්මාණය කරපු අකුරු හා සමානය. ලංකාවේ ඕනෑ ම දුම්රිය ස්ථානයක නාම පුවරුවක අනිවාර්යයෙන් ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ස්ථානයේ නම සඳහන් වෙනවා. නමුත් මේ පින්තූරයේ දෙමළ නාමය නිවැරදි අර්ථය නොවන අතර එය අසභ්‍ය වචනයක් හැඟවෙන අයුරින් සංස්කරණය කර තිබුණා..  හික්කඩුව යන්න නිවැරදි ලෙස දමිළ භාෂාවෙන් ලිවිය යුත්තේ ஹிக்கடுவை යනුවෙනි. 

මේ පිළිබද සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් දැක්වූ අදහස් මෙසේ ය.

හික්කඩුව දුම්රිය ස්ථානයේ නම දමිළ බසින් නිසි පරිදි සඳහන් කර ඇති සත්‍ය ඡායාරූපය මෙසේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාගේ මාධ්‍ය ලේකම් අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙතෙක් හික්කඩුව දුම්රිය ස්ථානය පිළිසකර කිරීම ආරම්භ කර නොමැති බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. කෙසේ වෙතත් Clean SriLanka ව්‍යාපෘතිය යටතේ, දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ වැඩසටහනට හික්කඩුව දුම්රියපළ නවීකරණය කිරීමද, Dream Destination වැඩසටහන යටතේ අයත් වන බවයි.

එමෙන් ම මෙම වැඩසටහන යටතේ හික්කඩුව දුම්රිය ස්ථානයේ සිදුවන ප්‍රතිසංස්කරණයන් මොනවාද යන්න පිළිබඳව ද, අප කළ විමසීමේදී ඔහු අප දැනුවත් කළ අතර ඒවා පහතින්,

එමෙන් ම හික්කඩුව දුම්රිය ස්ථානයේ ඡායාරූප මෑතකදී සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් සටහන් පළ කර තිබූ අතර ඒවා අතරද, මේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ආකාරයේ නවීකරණය කරන ලද හික්කඩුව දුම්රිය ස්ථානයක් දැක ගන්නට නොලැබුණි.

Facebook | Archived Link

පසුගිය පෙබරවාරි මස ලබා ගෙන තිබූ හික්කඩුව දුම්රිය ස්ථානයේ වීඩියෝවක් පහතින්.

වත්මන් හිකක්ඩුව දුම්රිය ස්ථානයේ ඡායාරූප අප වෙත ලැබුණු සැනින් මෙම ලිපිය එම ඡායාරූප සමගින් ද, යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හික්කඩුව දුම්රිය ස්ථානය අලුතින් ඉදි කර ඇති බව දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එය සංස්කරණය කරන ලද ජායාරූපයක්  මත පදනම් වූවක් බවයි. මේ පිළිබද පරීක්ෂා කර බැලීමේදී ලැබුණු තොරතුරු අනුව හික්කඩුව දුම්රිය ස්ථානයේ නව ඉදිකිරීම් කිසිවක් සිදු කර නැති බව තහවුරු වේ.  ඒ අනුව තහවුරු වන්නේ හික්කඩුව දුම්රිය ස්ථානයේ මෑතකදී අලුත්වැඩියාවක් නොකර ඇති බවත් මෙම ජායාරූපය කෘතිම ව්‍යාජ සංස්කරණයක් බවත් ය.  මෙවැනි ව්‍යාජ ජායාරූප බෙදා ගැනීමෙන් වළකින්න.

Avatar

Title:හික්කඩුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරලද?

Fact Check By: Fact Crescendo Team  

Result: False


Leave a Reply