මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද? 

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විශේෂ ජනතා අවධානයකට ලක් වූ ඇතැම් අවස්ථාවල නඩු කටයුතු දක්වා දුරදිග ගිය ආන්දෝලනාත්මක සිදුවීම් මෑතකදී සිදුවූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමා මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි මල්වානේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඩොබිලා මේවා කොහොම දරාගන්න ද යනුවෙන් උපාහාසාත්මක පළ කිරීමක් ලෙස මෙම සටහන පළ කර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති අදාළ සටහනේ දැක්වෙන්නේ, මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් කර ඇති බවයි. මෑකදී දෙන ලද නඩු තීන්දුවක් බවට හැඟී යන ආකාරයෙන් පළ කර ඇති මෙම සටහන බැලූ බැල්මට නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දක් බව දැකගත හැකියි.  

Facebook | Archived Link

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් කර ඇති බවට නිව්ස්ෆස්ට් ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහන පසුගිය නොවැම්බර් 3 වනදා තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් දෙදෙනෙක් සිය ගිණුම් ඔස්සේ මෙලෙස පළ කර තිබුණා. තව ද නිව්ස් ෆස්ට් ලෝගෝ ද සහිත මෙම සටහන පළ කර ඇත්තේ, 2022 වසරේ ජුනි 03 වැනිදා බව එහි පැහැදිලිව සඳහන්ව තිබේ. 

Facebook | Archived Link  Facebook | Archived Link

කෙසේ වෙතත් වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මෑතකදී මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් කර ඇති බව හැඟීයන පරිදි පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහන බොහෝ පිරිසක් සිය ගිණුම් වෙතට හුවමාරු කර ගෙන තිබුණේ, එය මෑතකදී ලබාදී ඇති නඩු තීන්දුවක් බව විශ්වාස කරමිනි. තවද ඇතැමුන් මෙය මෑතකදී ලබා දී ඇති නඩු තීන්දුවක් බවට පිළිගනිමින් මෙලෙස අදහස් පළ කර තිබුණා. 

ඇතැමුන් මෙය මෑතකදී ලබා දෙන ලද නඩු තීන්දුවක් බව සිතමින් අදහස් පළ කර ඇති නිසා සත්‍ය ලෙසම අදාළ තීන්දුව ලබා දි ඇත්තේ, කවදා දයන්න පිළිබඳව අප මෙලෙස කරුණු විමර්ශනයක් සිදු කළේ ය.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අදාළ සමාජ මාධ්‍ය සටහන බැලූ බැල්මට නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක පිටුවේ පළ කරන ලද්දක් බවට පෙනී යන බැවින් අදාළ දිනයේදී එවැනි සටහනක් නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ  පළ කර තිබේදැයි, මූලිකව විමසා බැලූ අතර ඒ  අනුව 2022 ජුනි 03 වැනිදා නිව්ස්ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් යන තේමාවෙන් BREAKING NEWS ලෙස මෙම සටහන පළ කර තිබුණේ ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පුවත් සබැඳියක් ද සහිතවයි.

Facebook | Archived Link

ඒ අනුව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අදාළ සබැඳිය පරීක්ෂා කළ අතර එහි මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් යන තේමාවෙන් 2022-06-03 වැනිදා මීට අදාළ පුවත යූටියුබ් වීඩියෝ දර්ශනයක් ද සහිතවම පහත පරිදි පළ කර තිබෙනු නිරීක්ෂණය විය.   

News 1st|Archived Link

2022-ජුනි 03 වැනිදා News 1st වෙබ් අඩවියේ පළ කරන ලද අදාළ පුවතේ දැක්වෙන්නේ, මල්වානේ සුඛෝපභෝගී මන්දිරය පිළිබඳ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන් ගම්පහ මහාධිකරණය විසින් අද (03) නිදොස් කොට නිදහස් කරනු ලැබිණ යනුවෙනි. මෙම පුවත එදින නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති ඔස්සේ ද BREAKING NEWS ලෙස විකාශය වී තිබූ අතර වීඩියෝ දර්ශනය අදාළ පුවතට එක් කර  තිබුණා.  

නිව්ස්ෆස්ට් ඩිජිටල් අංශය 

මේ අතර නිව්ස් ෆස්ට් ඩිජිටල් අංශයේ සහකාර කළමනාකාරුගෙන් අප මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන 2022 ජුනි 03 News1st නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් බව සහකාර ළමනකාවරයා ද තහවුරු කළේ ය. 

මේ අනුව මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ සහ නඩේෂන් නිදොස් කොට නිදහස් කළ බවට වන නඩු තීන්දුව මෑතකාලීනව ලබා දුන් නඩු තීන්දුවක් නොව එය 2022 වසරේ ජුනි 06 වැනිදා ලබා දී ඇති නඩු තීන්දුවක් බව පැහැදිලි වේ. 

අධිකරණ වාර්තාකරුවන්

තව ද මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කර ගනීම සඳහා අප බැසිල් රාජපක්ෂ හෝ තිරුකුමාර් නඩේසන්ට එරෙහිව මාල්වානේ නිවසට අදාළව මෑතකාලීනව අධිකරණමය කටයුත්තක් සිදුවූවේ දැයි අප ගම්පහ අධිකරණ වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ, ඊට අදාළ කිසිදු අධිකරණ කටයුත්තක් මෑත කාලීනව සිදු නොවූ බවයි. තවද 2022 වසරේදී  මල්වානේ නිවස පිළිබඳ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් ගම්පහ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ බව ද ඔවුන් ප්‍රකාශ කළා. 

බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර්ට එරෙහි මල්වාන නිවසේ නඩු තීන්දුව 

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුඛෝපභෝගී මන්දිරයක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණේ,  2017 මැයි මස 03 වැනිදාය.  

මෙම නඩුවේ තීන්දුව 2022 වසරේ මැයි මස 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එය ජුනි 03 වැනිදා දක්වා කල් දමා තිබූ අතර  මාර්තු  25 වැනි දා මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන එම මන්දිරය ඉදි කළ කොන්ත්‍රාත්කරු වූ උපුල් කුමාර රාමවික්‍රම මහතා කියා සිටියේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තමා පැමිණිල්ලක් සිදු කර නොමැති බවයි.

තමන් කළ බව කියන ප්‍රකාශයේ සඳහන් අත්සන ද පිළිගත නොහැකි බව සාක්ෂිකරු පවසා තිබුණා. 

ඒ අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සනිල් කුලරත්න මහතා පසුව මහාධිකරණයට දැනුම් දී ඇත්තේ,  එම සාක්ෂියට අනුව බැසිල් රාජපක්ෂ හා තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට විරුද්ධව ඇති නඩුවේ සාක්ෂි විමසීමක් ඉදිරියට සිදු නොකරන බවයි. 

ඒ අනුව, නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා තිබිණ. 

ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වීම නිසා නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විත්තිකරුවන් දෙදෙනා චෝදනා 3 න් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ. විස්තර මෙතැනින් සහ මෙතැනින් 

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහාතා මාධ්‍යට අදහස් පළ කළ ආකාරය මෙැතැන් සහ මෙතැනින්  

මෙම නිවසට අදාළ නඩුවක් මීට පෙර පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේද විභාග වී තිබූ අතර මෙම ඉඩම නිවස සහ දේපොළවලට බැසිල් රාජපක්ෂ තිරුකුමාර් නඩේෂන් සහ නිවස ඉදිකළ ගෘහ නිර්මාණ ශිල්දී මුදිත ජයකොඩි යන තිදෙනා හිමිකම් නොකියන බවට අධිකරණයේදී ප්‍රකාශ වී තිබූ අතර පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ,  කිසිවෙකුත් හිමිකම් නොකියන මෙම ඉඩම හා නිවස ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කරන ලෙස සහ අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය භාරයට පත්කරන ලෙසයි.  විස්තර මෙතැනින් සහ මෙතැනින් 

මේ අනුව රුපියල් මිලියන 208කට තක්සේරු කෙරුණු එම දේපොළ වෙන්දේසි කිරීම ලබන 29 වෙනි දිනට නියමිතව තිබූ නමුත්, එම ඉඩම සහ ගොඩනැගිල්ල මහජන ශුභසිද්ධිය සඳහා යොදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පවසමින් එය වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටි තිබුණා. 

මේ අතර මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව එවක අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසූ බව සඳහන් කරමින් 2024  පෙබරවාරි 21 වනදා  අද දෙරණ පුවතක් වාර්තා කර තිබුණා. තවත් පුවතක් මෙතැනින් 

හිටපු  ඇමති බැසිල්ට එරහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්වූ පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වන පුවතක් ඊයේ (නොවැම්බර් 4) වැනිදා නිව්ස් ෆස්ට් වාර්තා කර තිබුණා. පසුගිය ජූලි 07 වැනිදා අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය ගොනු කරන ලද අදාළ පැමිණිල්ලට අදාළව ඊයේ දිනයේ (04) පැමිණිලි පාර්ශවයෙන් කොමිසම ප්‍රකාශ ලබා ගෙන තිබුණා. ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එහි සභාපති ජාමනි කාමන්ත ප්‍රකාශ කළේ, 2015 පෙර රු. කෝටි 103 ක දූෂණ චෝදනාවකට අදාළව මෙම පැමිණිල්ල ගොනු කළ බවයි. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් නිදහස් කිරීම මෑතකදී සිදුවූවක් බව හඟවමින් හුවමාරු වන සටහන් පෙළ සමාජය නොමගයවන සුළු ආකාරයේ සටහන් පෙළක් බවයි. ගම්පහ මහාධිකරණය විසින් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් එම නඩුවෙන් නිදහස් කොට නිදහස් කර ඇත්තේ,    2022 වසරේ ජුනි 03 වැනිදා ය.  

Avatar

Title:මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply