2024 වසරේ වැඩිම HIV ආසාදිතයන් වාර්තා වුයේ අවුරුදු15-24 වයස් කාණ්ඩයෙන්ද?

False Health Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල පුවත් වාර්තාකරණයේදී නොමග යන අන්දමින් කරුණු හරිහැටි වාර්තා නොකර අනවබෝධයෙන් වාර්තා කිරීම තුළින් සමාජය නොමග යනු ලබයි. HIV සම්බන්ධයෙන් කරන ලද පුවත් වාර්තා කරණයක් නොමග යන කරුණු ඇතුළත් ව තිබූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අවුරුදු 15ත් 24ත් වයසේ වැඩි පිරිසක් HIV ආසාදිතයන් වෙලා” යන තේමාවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

එම පුවත දිවයින පුවත් ලිපියේ ද, වාර්තා වී තිබුණේ මේ අයුරින්.

මෙම තේමාවෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා වූ තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම වාර්තා කිරීමෙන් අදහස් වන්නේ, අවුරුදු 15ත් 24ත් වයස් කාණ්ඩයේ  HIV සමග ජීවත් වන පුද්ගලයින් සියලුම කාණ්ඩ වලට වඩා වාර්තා ගත අයුරින් වැඩි වී ඇති බවට හැඟවෙන බැවින් අප මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පියවර ගත්තා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙම වාර්තා සඳහා පාදක වී තිබුණේ, පසුගිය 18 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබද මාධ්‍යවේදීන්, පාසල් මාධ්‍ය සමාජ ගුරුවරුක් සහ සිසු දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන බවට දැක ගන්නට ලැබුණා. මේ හේතුවෙන් අප එහි සම්පූර්ණ වැඩසටහන වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය විසින් සඳහන් කරනු ලබන්නේ, කලාපයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව සිටින්නේ HIV සමග ජීවත් වන පුද්ගලයින් අඩු ප්‍රවනතාවයක් බවයි. 

HIV සමග ජීවත් වන පුද්ගලයින් මේ වන විට 5700ක පමණ ප්‍රමාණයක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත්, එය මුළු ජනගහනය සමඟ සලකා බැලීමේ දී ඉතාමත් සුළු ප්‍රතිශතයක් බවත්, සඳහන් කරමින් ඇය පෙන්වා දෙන්නේ, නමුත් වසරින් වසර ආසදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි. 2024 වසරේ පමණක් HIV සමග ජීවත් වන පුද්ගලයින් 824 දෙනෙකු වාර්තා වී ඇති තිබේ.

2010 වසරට සාපේකෂව 2024 වන විට ලෝකයේම HIV සමග ජීවත් වන පුද්ගලයින්ගේ අලුත් හඳුනා ගැනීම් 40%න් පමණ අඩු වී ඇති අතර ශ්‍රී ලංකාවේ 2010 වසරට වඩා 2024 වසරේ HIV සමග ජීවත් වන පුද්ගලයින්ගේ 48%ක වැඩි වීමක් ඇති බව පෙන්වා දෙනවා.

එමෙන් ම මේ අතර 15-24 යන වයස් කාණ්ඩයේ වැඩි වීමක් දැක ගන්නට ලැබෙන අතර එය 2024 HIV සමග ජීවත් වන සමස්ත පුද්ගලයින් 824 දෙනොගෙන්, මෙම වයස් කාණ්ඩයේ සිටින්නේ 115 දෙනෙකු පමණක්  බවත් පෙන්වා දෙනවා. එය ප්‍රතිශයක් ලෙස ගත් කළ 14%ක් පමණ වනවා.

Facebook

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනේ (NSACP) දත්ත සහ 2024 සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, වැඩිහිටි වයස් කාණ්ඩ එකට කාණ්ඩගත කිරීමෙන් දත්ත ඉදිරිපත් කර ඇති අතර 2024 සඳහා ලබා ගත හැකි දත්තවලින් පෙනී යන්නේ වයස අවුරුදු 25 සහ ඊට වැඩි පුද්ගලයින් HIV සමග ජීවත් වන සමස්ත පුද්ගලයින් විශාලතම කොටසක්, එනම් පුද්ගලයන් 712 ක්, ප්‍රතිශතයක් ලෙස ගත් කළ 86%ක් මෙහි නියෝජනය කරන බවයි. 

aidscontrol.gov.lk

එසේම ඉහත වාර්තාව මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාව 2024 වසරේ කාර්තු 4 දීම නව HIV සමග ජීවත් වන පුද්ගලයින් 824 ක් (186+214+205+219) වාර්තා වී ඇති බවත්, ඉන්  අවුරුදු 15-24 කාණ්ඩයේ පිරිමින් 99 ක් සහ කාන්තාවන් 12 දෙනෙකු සහ සංක්‍රාන්ති ලිංගිකයින් 3 දෙනෙකු ද, සිටින බවයි.

මේ අනුව 2024 වසරේ HIV සමග ජීවත් වන සමස්ත පුද්ගලයින් 824 දෙනාගෙන් 115 දෙනෙකු 15-24 වයස් කාණ්ඩයේ වන අතර ඉතිරි 712 දෙනා වයස අවුරුදු 25 සහ ඊට වැඩි පුද්ගලයින් වන බව පැහැදිලිය. මේ අනුව එම පුද්ගලයින් අයත්වන වයස් ඛාණ්ඩ මොනවා ද යන් සොයා බැලීමට ද අප යුහුසුළු වුණා. 

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ

මේ පිළිබඳව අප තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සම්බන්ධ කර ගනු ලැබුවා. ඇය සඳහන් කළේ, වයස අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයේ HIV සමග ජීවත්වන පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටින බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා වල සඳහන් ප්‍රකාශ වැරදි සහගත බවත් නව දත්තයන්ට අනුව 2024 වර්ෂයේ එම වයස් කාණ්ඩය තුළ වාර්තා වී ඇත්තේ HIV සමග ජීවත්වන පුද්ගල නව සොයාගැනීම් 115ක් පමණක් බවයි. එය මුළු ප්‍රමාණයෙන් 14%ක පමණ ප්‍රතිශතයක් බවත්, ඉහත සාකච්ඡාව අතරවාරයේ කිසිම විටක් HIV අසාදිත පාසැල් දරුවන් සිටින බවට සඳහන් කර නොමැති බව ත්, ඇය පැවසුවා.

අවුරුදු 25ට වැඩි කාණ්ඩයේ වයස් මට්ටම් අනුව HIV සමග ජීවත්වන පුද්ගලයන් වර්ගීකරණය කර ඇත්දැයි යන්න පිළිබඳවද, අප විමසීමක් කළ අතර ඇය අපට ඒ සම්බන්ධව දක්වා ඇති වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවෙහි HIV සමග ජීවත්වන පුද්ගලයන්ගේ වයස් කාණ්ඩ අනුව වර්ගීකරණය කර ඇති අතර ඒ අතරින් අවුරුදු 30-34 වයස් කාණ්ඩයේ පුද්ගලයන් 148 දෙනෙකු වාර්තා වී ඇති අතර ප්‍රතිශත වශයෙන් 18%ක් වේ. එය වැඩිම පුද්ගල සංඛ්‍යාව සහ වැඩිම ප්‍රතිශතය බව දැක ගන්නට ලැබේ.

Annual Report 2024

අවුරුදු 15-24 ට සාපේක්ෂ ලෙස සලකන්නේ නම් ඒ අනුව 25-34 කාණ්ඩයේ ආසාදිතයින් 291ක් (143+148) නැතහොත් ප්‍රතිශතයක් ලෙස 35.4 % පමණ වාර්තා වී ඇති බවයි.

එලෙසින්ම බැලු කළ අවු.35-44 කාණ්ඩයේ ද නව ආසාදිතයින් 244ක් (140+104) වාර්තා වන්නේ මුළු ආසදිතයින්ගෙන් 29.6% ක ප්‍රතිශතයන් සමගින් බවයි. 

ඒ අනුව ද, තහවුරු වන්නේ,  වයස අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයේ (ආසාදිතයින් 115ක්) HIV සමග ජීවත්වන පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සිටින බවට පළ වන වාර්තා නොමග යන සුළු බවයි.

එසේම අප මීට පෙර එනම් 2022 සහ 2023 වසරවල දී ද වයස 15-24 කාණ්ඩයේ HIV නව ආසදිතයින්ගේ ප්‍රමාණික වැඩිවීම පරික්ෂා කළ අතර පිළිවෙලින් 2022 දී 75 සිට 2023 දී 105 දක්වා ද ක්‍රමයෙන් වැඩි වී ඇති බව පෙනී යනවා. එම අගය ඉහත පෙන්වා දුන් පරිදි 2024 වසරේ දී 115කි.

aidscontrol.gov.lk

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

2024 දී ශ්‍රී ලංකාවේ HIV සමග ජීවත් වන පුද්ගලයන්ගෙන් බහුතරය අවුරුදු 15–24 අතර පුද්ගලයින් බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ, නොමඟ යවන සුළු, අසත්‍ය සටහන් පෙළකි.

නිල 2024 සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ මෙම අවු15-24 කණ්ඩය, නව ආසාදනවලින් 14% ක් පමණ (115ක් නව ආසාදිතයින්) නියෝජනය වන අතර බහුතරය අවුරුදු 25ට වැඩි පුද්ගලයින් තුළ සිදුවන බවයි.

අවුරුදු 10යේ වයස් කාණ්ඩ ලෙස ගත් කළ ද අවු.25-34 සහ අවු.35-44 අතර 2024 වසරේ දී නව ආසාදිතයින් වැඩි ප්‍රමාණයන් පෙන්නුම් කරනවා, ඒ පිළිවෙලින් නව ආසාදිතයින් 291ක් (35.4%) සහ 244ක් (29.6%)ක් ලෙසින්.

Avatar

Title:2024 වසරේ වැඩිම HIV ආසාදිතයන් වාර්තා වුයේ අවුරුදු 15 – 24 වයස් කාණ්ඩයෙන් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *