දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පැරණි සිදුවීම්, කාලීන පුවත් ලෙස ගලපමින්, නිර්මාණය වන නොමගයවන සුළු සටහන් බොහෝ දෙනා හුවමාරු කරගන්නේ ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවයි. එවැනි සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අපදා මඟින් පීඩාවට පත් වූ පවුල් සඳහා සහන ලෙස රජය මගින් දෙන රු.25,000ක දීමනාව වැඩි බවක්, ‘අද දෙරණ’ පුවත් නිවේදක සංඛ අමරජිත් පැවසු බවක් හඟවමින් කෙටි වීඩියෝවක් සමඟ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එමඟින් හඟවා තිබෙන්නේ, මෑතක දී සිදුවූ ‘අද දෙරණ’ පස්වරු 6.55 පුවත් විකාශයක් නිමවීමෙන් පසු, සංඛ විසින් මේ ආකාරයට පවසන ආකාරයක්.මෙම වීඩියෝ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙය සත්‍ය වශයෙන්ම රජය විසින් ලබා දෙන සහනාධාර පිළිබඳ සිදු කරන ප්‍රකාශයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.
‘දෙරණ’ නාලිකාවට ද දෝශාරෝපනය කරමින් ඉහත අදහසින්ම පළවූ එවැනි තවත් සටහන් කිහිපයක් පහතින්.
|
|
|
සත්‍ය වශයෙන් ම මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් මේ අයුරින් ප්‍රකාශ කළේ රජයේ සහනාධාර පිළිබඳව ද යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීමේ අරමුණෙන්, අවතැන්ව සිටි ජනතාවට සිය නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රු.25000 ක දීමනාවක් ලබාදීමට, දෙසැම්බර් මස මුල දී රජය තීරණයක් ගත්තා. මේ දීමනාවේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (දෙසැම්බර් 23) පවසා සිටියේ ලංකාව පුරා රු.25000 දීමනාව ලබාගැනීමට සුදුසු නිවාස ඒකකවලින් 77% කට අදාළ ගෙවීම් සිදුකර අවසන් බවත්, ඉදිරි සතිය වන විට 100% මෙම ගෙවීම් සිදුකර අවසන් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
මෙවන් පසුබිමක ඉහත වීඩියෝව වයිරල් වී තිබෙන්නේ, එවැනි මුදල් ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධයෙන් ‘අද දෙරණ’ නාලිකාවේ මාධ්‍යවේදි , නීතිඥ සංඛ අමරජිත් විසින් සිය කණස්සල්ල දක්වන අකාරයක් හඟවමින්.
කෙසේවෙතත් සංඛ අමරජිත් සිටින එම වයිරල් කෙටි වීඩියෝ පරික්ෂා කිරීමේ දී ඔහු විසින් රජය සම්බන්ධයෙන් හෝ එහි දීමනාවක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කරන බවට දැක ගන්නට නොලැබෙන අතර එහි සඳහන් කරන්නේ, “අපරාදේ සල්ලි රු. 25000ක් දෙන එක” යනුවෙන් සිදු කරන ප්‍රකාශයක් පමණකි.
මෙම වීඩියෝවේ සිටින ප්‍රවෘත්ති නිවේදකා සිතුමිණි ගුණවීර සමගින්, සංඛ සංඛ අමරජිත් මෑතකදී පුවත් ඉදිරිපත් කරන අවස්ථාවන්, ‘දෙරණ’ නාලිකාවේ පුවත් විකාශයන් ඔස්සේ අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඔවුන් දෙදෙනා විසින් ඉහත වීඩියෝවේ පසුබිමේ දැක ගන්නට ලැබෙන ආකාරයට පුවත් ඉදිරිපත් කිරීමක් සිදුකරනු දැක ගනන්ට නොලැබුණි.
මේ හේතුවෙන් අප එම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරන ලදී. එහිදී දැක ගන්නට ලැබුණේ, එම රූප රාමු, ‘දෙරණ’ නාලිකාවේ, 2025 වසරේ ජූලි 19 වන දා රාත්‍රි 6.55ට පළ වූ පුවත් විකාශයේ ඔවුන් දෙපළ ඇඳ සිටි ඇඳුම්වලට සමාන බව ත්, ඔවුන් දෙදෙනා පුවත් විකාශය අවසන් කරන වාක්‍ය කණ්ඩද, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන වීඩියෝවේ පුවත් විකාශය අවසන් වන කොටසට සමාන බවයි.
ප්‍රවෘත්ති නිවේදකා සිතුමිණි ගුණවීර
අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ප්‍රවෘත්ති නිවේදකා සිතුමිණි ගුණවීරගෙන් විමසීමක් කරනු ලැබුවා. ඇය සඳහන් කළේ, තමා සහ සංඛ අමරජිත් මාස කිහිපයකින් මේ ආකාරයට පුවත් ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බවත්, මීට මාස කිහිපයකට පෙර සිය TikTok ගිණුමේ පළ කරන ලද වීඩියෝවක කොටසක්, මෑතක දී ඇතිවු කතාබහක් ලෙස ඒත්තු ගන්වමින්, නොමඟ යවන සුළු සටහන් පෙළක් හුවමාරු වන බවයි.
රජය මේ දිනවල ලබා දෙන රු.25,000 සහන මුදල සම්බන්ධයෙන් තම සහෝදර නිවේදක සංඛ සිදුකළ ප්‍රකාශයක් ලෙස මෙම සටහන් හඟවා තිබුණ ද මාස ගණනක් පැරණි මෙම සිදුවීමේ දැක්වෙන්නේ, ‘දෙරණ’ පුවත් මැදිරියේ සිටි පුද්ගලයෙකුගේ සිදුවීමකට සංඛ සිදු කළ ප්‍රකාශයක් බවද ඇය පැහැදිලි කර සිටියා.
ඇය විසින් සැප්තැම්බර් 05 වන දා TikTok හි පළ කරන ලද වීඩියෝව පහතින්.
@sithumini_gunaweera ♥️ #trending #fypシ゚ #foryou #education #fypシ゚viral #mortivation #trends #sinhalanews #adaderananews @Ada Derana Sinhala @TV Derana ♬ original sound – Sithumini_Gunaweera
ඒ අනුව වයිරල් වූ වීඩියෝව ලබාගෙන තිබෙන්නේ, ප්‍රවෘත්ති නිවේදකා සිතුමිණි ගුණවීර විසින් පළකර තිබු TikTok වීඩියෝවෙන් බව පැහැදිලිය. 2025 වසරේ ජූලි 19 වන දා පළ වූ, අද දෙරණ පුවත් විකාශයේ අවසන් කොටස සහ වයිරල් වීඩියෝවේ එම කොටස අතර සංසන්දනයක් පහතින්.
මෙහිදී වීඩියෝවේ දෙකෙහි දී ම, ඔවුන්ගේ ඇදුම්වලට අමතරව දෑත් පිහිටා ඇති ඉරියව්වද එකම ආකාරයක් තිබෙන බව දැක ගන්නට ලැබෙනවා. ඒ අනුව ඒ එකම අවස්ථාවක් බව පැහැදිලි වන අතර සිතුමිණි ගුණවීර ද එය තහවුරු කර සිටියා.
ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත්
ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අම්රජිත්ගෙන් ද, අප දුරකතන මාර්ගයෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ ද, මෙය දිට්වා සුළිකුණාටුවට බොහෝ කලකට පෙර සිදුකළ පුවත් විකාශයක් අවසන් කිරීමෙන් පසුව, පුවත් පටිගත කිරීමේ මැදිරියේ සිටි තම සේවකයෙකුට වූ අකරතැබ්බයකට, ඔහු ගෙවා තිබූ රු.25,000ක මුදල ගැන කළ අදහස් දැක්වීමක් බවයි. එම අවස්ථාව ද ඇතුළත් වීඩියෝවක්තම සහෝදර නිවේදකාවක් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක මීට මාස කිහිපයකට පෙර කළ පළ කිරීමක් මේ අයුරින් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බව සංඛ ද පෙන්වා දෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් ඒකක සඳහා නිවාස පිරිසිඳු කර ගැනීමට රුපියල් 25000ක මුදලක් ලබාදීම පිළිබඳ ‘දෙරණ’ නාලිකාවේ පුවත් නිවේදක සංඛ අමරජිත් සිය කනස්සල්ල දක්වන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර තිබූ වීඩියෝව නොමග යන සුළු බවයි. එම අවස්ථාව , මීට මාස 5 කට පෙර, එනම් 2025 වසරේ ජූලි 19 වන දා ‘දෙරණ’ රාත්‍රී 6.55 පුවත් විකාශයෙන් පසුව, වෙනත් සිදුවීමක් සම්බන්ධයෙන් සංඛ සිදුකරන ප්‍රකාශයකි.
Title:රජය ලබා දෙන රු.25,000ක ආපදා සහනය ගැන ‘දෙරණ’ සංඛ විසින් සිදුකරන ප්‍රකාශයක් ද?
Fact Check By: Pavithra Sandamali
Result: False


