2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්ය කරලා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බවට රජය විසින් සිදු කළ ප්‍රකාශය පසුගිය වසර පුරා කතාබහට ලක් වුණු මාතෘකාවක්. ඊට සමගාමීව 2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කරන බවට සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“2026 වර්ෂයේ සිට සියලු පාසල්වලට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්ය කෙරේ. අවුලක් නෑ දිනක වැටුප් දුන්නනේ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන සැබෑ එකක් ලෙස සිතමින් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් විවිධ අදහස් දක්වමින් එම සටහන නැවත පල කර තිබුණා.

එලෙසින් හුවමාරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

රජය විසින් 2026 වසරේ සිට පාසල්වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යය කර ඇත්නම් ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය හරහා පුවත් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප ප්‍රධාන මාධ්‍ය හරහා එවැනි පුවතක් වාර්තා වී ඇත් ද යන්න පරීක්ෂා කළත්, එවැන්නක් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් හරහා වාර්තා කර තිබුණේ නැහැ.

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ මාධ්‍ය ලේකම් එස්. විජිතා බස්නායක මහත්මිය

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ මාධ්‍ය ලේකම් වන එස්. විජිතා බස්නායක මහත්මියගෙන් විමසීමක් කළා. එහිදී ඇය සඳහන් කර සිටියේ මෙය අසත්‍යය ප්‍රචාරයක් බවත්, එවැන්නක් මේ වන තුරු තීරණය කර නොමැති බවත් ය.

අධ්‍යාපන අමාත්‍ය කාර්‍යාලයේ මාධ්‍ය අංශය

එසේම මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශයෙන්ද අප විමසීමක් කලා. එහිදී අධ්‍යාපන අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශයද තහවුරු කළේ එවැනි තීරණයක් මේ වන තුරු ගෙන නොමැති බවත්, එවැනි නිවේදනයක් පල කර නොමැති බවත්ය.

රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර සවිකිරීමේ පියවර 

මෙරට සෑම රාජ්‍ය ආයතනයකම සඳහා ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බවටත් මේ වන විටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක මෙවැනි ඇඟිලි සලකුණු යන්ත්‍ර මේ වන විටත් සවිකර ඇති බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය 2025 අගෝස්තු මස ප්‍රකාශ කළ බවට පුවත් වාර්තා කර තිබුණා.

ඒ හරහා රාජ්‍ය සේවය තුළ පැමිණීම, පිටවීම සහ අතිකාල සේවය පිළිබඳව නිවැරදි වාර්තා පවත්වා ගැනීමට හැකිවන බවත්, එමගින් විනිවිදභාවය සහ වගවීම තහවුරු වන බවත් අමාත්‍යංශය පැහැදිලි කර තිබුණා. 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ද ඇති වී තිබුණේ විවිධ රාජ්‍ය ආයතන වල සේවකයන් විසින් මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පල කර තිබීම හේතු කර ගනිමින්. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, 2026 වසරේ සිට සියලුම පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කෙරෙන බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් තහවුරු කර සිටින්නේ එවැනි කිසිඳු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි.

Avatar

Title:2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්ය කරලා ද?

Fact Check By: Pavithra Hansani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *