කතානායකට එරෙහිව සමාජ මාධ්‍යයේ පළ කිරීම් කරන අයට එරෙහිව නඩු පවරන බව අධිකරණ ඇමති ප්‍රකාශ කළා ද? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කාලීන සිදුවීම්වලට අදාළව දේශපාලනික ඇතුළු රටේ කතාබහට ලක්වන චරිත ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මේ වනවිට දැකගත හැකියි. මේ, එලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව  අප සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කතානායකවරයා අපහසුතාවට පත් කරමින් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම් සිදු කරන අයට එරෙහිව සාපරාධී අපහාස චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබේ. සමාජ මාධ්‍යයේ මෙය පළ කර ඇත්තේ, පසුගිය 26 වැනිදා Newswire නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් බවට හැඟී යන ආකාරයෙනි. 

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සලකා අප මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් චමින්ද කුලරත්න වැඩතහනමට ලක් කර තිබුණා. නි‌යෝජ්‍ය මහ‌ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ, කතානායකවරයාගේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගනිමින් බව කියමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකාවල නිල ලාංඡන පවා ව්‍යාජ ලෙස යොදාගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, විවිධ සටහන් පළවෙමින් තිබේ. එවැනි සටහන් කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් 

කතානායකවරයා අපහසුතාවට පත් කරමින් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම් සිදු කරන අයට එරෙහිව සාපරාධී අපහාස චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි, සමාජ මාධ්‍ය සටහන් පළ වී ඇත්තේ, එවැන් වටපිටාවක් තුළදී ය. 

Newswire ෆේස්බුක් පිටුවේ හෝ අනෙකුත් මාධ්‍ය එවැනි පුවතක් පළ කර නැහැ  

සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් Newswire ෆේස්බුක් පිටුවේ  හෝ වෙබ් අඩවියේ පළ කර තිබේදැයි අප පරීක්ෂා කර බැලූ අතර අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් එවැනි සටහනක් ඔවුන් පළ කර තිබුනේ නැති අතර එහි කර්තෘ ද අපට තහවුරු කළේ හුවමාරු වන්නේ සිය සන්නාමය යොදාගනිමින් ව්‍යාජ ලෙස සිදුකර ඇති සංස්කරණයක් බවයි. 

වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් විසින් හෝ අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් එවැනි පුවතක් පළ කර තිබේ දැයි  පරීක්ෂා කර බැලූ අතර අධිකරණ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට කිසිදු පුවත් වාර්තාවක් හමු නොවීය. 

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය 

මේ අනුව කතානායකවරයා අපහසුතාවට පත් කරමින් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම් සිදු කරන අයට එරෙහිව නඩු පවරන බවට වන සටහන පිළිබඳව අප හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියා. මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක කිසිදු ස්ථානයකදී එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

නි. මහලේකම්වරයාගේ වැඩ තහනම් කළේ කවු ද සහ ඊට හේතුවූ කරුණු?

පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක් කර තිබූණා. මාධ්‍ය වාර්තාවල දැක්වුණේ,  කතානායක, සභානායක, විපක්ෂ නායක මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු  මහ ලේකම්වරයා නිල නියෝජිතයින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන තිබූ  බවයි. 

ඒ අනුව නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමේ තීරණය ගනු ලැබූ 23 වැනිදා රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි  රෝහණදීර සහභාගී වී තිබේ. 

මාධ්‍ය වාර්තා කරන්නේ, චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම්වරයාට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඇතැම් නියෝජිතයින් කාරක සභාවේදී සඳහන් කරඇති බවයි.  

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමට  හේතුවූ කරුණු පිළිබඳ තවත් පුවත් වාර්තාවක් මෙැතින් 

විපක්ෂ නායකවරයාගෙන් X පණිවුඩයක් 

නි. මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමට අදාළව සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ, අනෙක් පාර්ශවයට සවන් දෙන ලෙසත් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක නිලධාරීන්ට දඩුවම් දීමට පෙර ඔවුන්ට සවන් දෙන බවත් ය. නියෝජ්‍ය මහලේකම්වරයාගෙන් කරුණු විමසීමක් සිදු නොකර වැඩ තහනම් කිරීමෙන් කතානායකවරයා භයානක පූර්වාදර්ශයක් සපයා ඇති බව සහ එය ඉතා පෞද්ගලික ස්වභාවයක් ගන්නා බව ද එම පණිවුඩයේ සඳහන් වේ. කනස්සල්ලට කරුණක් වන මේ සම්බන්ධ තමන්ගේ විරෝධය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා  සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් පවසා ඇත. 

කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා පැවසූ දේ 

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසුවේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ පත්වීම පිළිබඳ සොයා බැලූ විමර්ශන කමිටුව පත් කරන අවස්ථාවේ මෙන්ම වැඩ තහනමට ලක් කිරීමේ තීරණය ගත් අවස්ථාවේදී ද විපක්ෂය කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව නියෝජනය කළ බවයි. 

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2025  ජූලි 25 වැනිදා නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඒක පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබූ බවත්, එම අවස්ථාවේදී මෙන්ම කමිටුවේ වාර්තාව අනුව වැඩ තහනමට ලක්කරන අවස්ථාවේදී ද විපක්ෂ නායකවරයා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එහි සිටි බවයි.  

ඒක පුද්ගල විමර්ශන කමිටුව විමර්ශනයට අදාළව නිර්දේශ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. 

1. සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් පත්වීම ලබා ගැනීම සහ එම තනතුරේ සේවය ස්ථීර කරවා ගැනීම මඟින් මෙන්ම තමාට හිමි නැති වැටුප් හිමිකමක් ලබා ගැනීම මඟින් රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැණිව කටයුතු කරමින් අයථා වාසි ලබා ගැනීම හා මූල්‍යමය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් කුලරත්න මහතා වැඩ තහනමට ලක් කර ඔහු සම්බන්ධව විනය කටයුතු කිරීම.

2. කුලරත්න මහතා පත් කිරීම හා සේවය ස්ථීර කිරීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණය නමැති වරද යටතට ගැනෙන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස දන්වමින් මෙම කරුණු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම 

එසේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙහිදී වැඩිදුරටත් පවසා සිටින්නේ මෙහිදී සිදුව ඇති මුලික විමර්ෂණ වාර්තාවට හෝ විනය ක්‍රියාමාර්ගයට හෝ එරෙහිව  ඕනෑම අයෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකි බවත්, එය සාමාන්‍ය ක්‍රමවේදය බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයට කතානායකවරයා අපහසුතාවට පත් කරමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම් සිදු කරන අයට එරෙහිව නඩු පවරන බවට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

xa
Avatar

Title:කතානායකට එරෙහිව සමාජ මාධ්‍යයේ පළ කිරීම් කරන අයට එරෙහිව නඩු පවරන බව අධිකරණ ඇමති ප්‍රකාශ කළා ද? 

Fact Check By: Sagarika Chathumali  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *