ජනපති අනුර නුවර ගියේ හෙළිකොප්ටර් දෙකකින් ද? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍යට මුදා හැරීම මගින් සමස්ත සමාජය නොමගයාමක් මෙන්ම ඇතැම් අවස්ථාවල රටේ පිළිගත් චරිතවල ප්‍රතිරූපයන්ට ද සිදු වන්නේ හානිවීමකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මහනුවර සංචාරය හා සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අනුර කුමාර ජනපති නුවර යනකොට හෙළිකොප්ටර් දෙකක් යන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කරමින් මෙම සටහන පළ කර ඇත්තේ පෙබරවාරි 6 වැනිදා ජනාධිපතිවරයා සිදු කළ මහනුවර සංචාරයට අදාළවයි. මෙම සටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ ඔහු ගමන් කළ බව කියමින් හෙළිකොප්ටර් දෙකක් දැක්වෙන ඡායාරූපයක් ද භාවිත කර තිබේ. 

Facebook | Archived Link

Facebook | Archived Link       Facebook | Archived Link 

නුවර ගමන සඳහා ජනපති අනුර හෙලිකොප්ටර් දෙකක් යොදාගත් බව හඟවමින් හුවමාරු වූ තවත් සටහන් පෙළක් පහතින්.

FB | FB

මෙම සටහන් සත්‍ය සටහන්  යැයි අනුමාන කරමින් පිරිසක් අදහස් පළ කර තිබූ අතර තවත් පිරිසක් පවසා ඇත්තේ, මෙය සත්‍යයක් විය නොහැකි බවයි. 

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ ජනතාව සඳහා වන්දි ලබාදීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 06 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය මෙලෙස වාර්තා කර තිබුණා. 

ජනාධිපතිවරයා මහනුවරට පිටත්ව යාම සඳහා හෙළිකොප්ටර් දෙකක් භාවිත කළ බවට වන සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ, පසුගිය ජනවාරි මස ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට හෙළිකොප්ටර් යානයක් භාවිත කළ බවට, සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි කිහිපයක, ඡායාරූප ද සහිතව පුවත් වාර්තා කර තිබූ පසුබිමකදීයි. 

ජනපතිගේ මහනුවර සංචාරය ගැන පළවූ මාධ්‍ය වාර්තා සහ පාර්ලිමේන්තු කතාබහ

මූලිකවම ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරයට අදාළව පෙබරවාරි 6 වැනිදා ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත් අතර සියලුම ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරයට අදාළ පුවත දර්ශන ද සහිතව මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබූ නමුත් ජනාධිපතිවරයා මහනුවරට ගොස් ඇත්තේ ගුවනින් බවට කිසිදු තොරතුරක් හෝ දර්ශනයක් එම පුවත් විකාශයන් කිසිවක අන්තර්ගත නොවේ. 

කෙසේනමුත් ජනාධිපතිවරයා හෙළිකොප්ටර් යානා දෙකකින් මහනුවරට ගොස් ඇති බව හෙක්ටර් අප්පුහාමි  සහ චාමර සම්පත් යන විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ එදිනම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. එසේ වුවද කිසිදු පිළිගත් මාධ්‍යක් විසින් ජනාධිපතිවරයා ගුවනින් මහනුවරට පිටත්ව ගිය බවට කිසිදු මාධ්‍යක් වාර්තා කර නොතිබිණ. 

මහනුවර ජනාධිපති මන්දිරයට හෙලිකොප්ටර් ගොඩබෑමේ පෙරහුරුවක් පැවති බවට මාධ්‍ය වාර්තා 

මේ අතර ජනාධිපති මන්දිරය පිටුපස පිහිටා ඇති භූමියට හෙළිකොප්ටර් යානා ගොඩබැස්විය හැකි ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා ජනවාරි 5 වැනිදා විශේෂ පෙරහුරුවක් පවත්වා ඇති බවට dailymirror.lk වාර්තා කර තිබුණා. ජනාධිපතිවරයා නිශ්චිතවම මහනුවරට ගුවනින් පැමිණෙන බවට එහි තහවුරු කර පවසා නොමැති අතර ‘ඩේලි මිරර්’ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙතෙක් එම භුමිය හෙලිකොප්ටරයක් ගොඩබෑමට යොදාගත් එකම ජනාධිපතිවරයා වූයේ, පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බවයි.  

ඒ අනුව අප අදාළ පර්ශවයන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට මෙලෙස පියවර ගත්තා. 

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක 

මහනුවර සංචාරය සඳහා ජනාධිපතිවරයා හෙළිකොප්ටර් යානා භාවිත කළේ දැයි අප ගුවන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතාගෙන් විමසා සිටියා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද තහවුරු කර කියා සිටියේ, ජනාධිපතිවරයා මහනුවර සංචාරය සඳහා හෙළිකොප්ටර් යානා භාවිතා නොකළ බවයි. 

මේ අතර ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරයට පෙර දිනයේ මහනුවර ජනාධිපති මන්දිරය ආශ්‍රිතව කිසියම් පෙරහුරුවක් සිදුව ඇති බවට වන මාධ්‍ය වාර්තා පිළිබඳව ද අප මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. එදින පුහුණුවක් සිදුකළ බවත්, එවැනි පුහුණුවීම් සිදු කිරීම සාමාන්‍ය දෙයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

මහනුවර පොලීසිය

මහනුවර පොලිස් ස්ථානාධිපතිගෙන් ද, අප මේ පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේද, ජනාධිපති පැමිණියේ හෙලිකොප්ටර් යානාවකින් නොව, මහ මාර්ගය භාවිත කරමින් නිල රථයකින් බවයි. 

ප්‍රාදේශීය වාර්තාකරුවන් 

මේ අතර ජනාධිපතිවරයා පෙබරවාරි 6 වැනිදා මහනුවර සංචාරය පිළිබඳව අප මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන්ම විමසා සිටියා. ඔවුන් සියලු දෙනාම තහවුරු කර කියා සිටියේ ජනාධිපතිවරයා මහනුවරට පැමිණියේ, ප්‍රධාන මාර්ගය භාවිත කරමින් බවයි. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහනුවරට පැමිණීමට පෙර දිනයේ ගුවන් හමුදාව විසින් මහනුවර ජනාධිපති මන්දිරය අවට හෙළිකොප්ටර් යානා දෙකක් පුහුණු කටයුත්තක නිරතව ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද කියා සිටියා. 

ජනාධිපති මාධ්‍ය අංශය 

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරය සඳහා හෙළිකොප්ටර් යානා භාවිත කළ බවට වන සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහා වූ ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරය සඳහා ජනාධිපතිවරයා සාමාන්‍ය පරිදි ප්‍රධාන මාර්ගය භාවිත කරමින් නුවර බලා පිටත්ව ගිය බවත්, අධිවේගී මාර්ගය ද භාවිතා කරමින්, කුරුණෑගල හරහා නුවරට පැමිණි බවත්, ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර කියා සිටියා. 

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන යානාවල ඡායාරූපය

ඒ අනුව ජනාධිපතිවරයා මහනුවරට පිටත්ව යාම සඳහා භාවිත කළ බව කියන සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන ඇති ඡායාරූපය කුමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් වෙත යොමු කර පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. 

ඒ අනුව මෙම ඡායාරූපය 2012 වසරේ ජුනි මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ Rhode Island  ජාතික ආරක්ෂක බලකාය විසින් පැවැත්වූ ගුවන් ප්‍රදර්ශනයක් අතරතුර Blackhawk හෙළිකොප්ටර්ස් යානා දෙකක් එකට ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝපටයකින් උපුටා ගන්නා ලද ඡායාරූපයක් බව දැකගතහැකි වුණා.  

<iframe frameBorder=’0′ width=’640′ height=’360′ webkitallowfullscreen mozallowfullscreen allowfullscreen src=”https://www.awesomescreenshot.com/embed?id=49312120&shareKey=50da884d14681aa1bbac80a9fed2781c”></iframe>

අනුර කුමාර දිසානායක මහතා, 2024 සැප්තැම්බර් මස ජනපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව හෙලිකොප්ටර් යානයකින් නුවර බලා පිටත් වූ බවට ද සටහන් පළවූ අතර ඒ ගැන අප FactCrescendo කණ්ඩායම එම අවධියේ සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

Also Read: ජනපති අනුර හෙලිකොප්ටර් යානා 2ක් භාවිත කරමින් ක්‍රීඩාංගණයකට පැමිණි අවස්ථාවක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය):

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරට යාම සඳහා හෙළිකොප්ටර් යානා භාවිත කර නොමැති බවත්,  කොළඹ සිට ජනපති නිල මෝටර් රථයක් ඔස්සේ එම ගමන සිදුව ඇති බව ගුවන් හමුදාව, පොලීසිය, ප්‍රාදේශීය වාර්තා කරුවන් ඇතුළු පාර්ශව කිහිපයක්ම සනාථ කර සිටින බවයි. 

ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරයට පෙර දිනයේ මහනුවර ජනාධිපති මන්දිරය ආශ්‍රිතව හෙළිකොප්ටර් යානා පුහුණුවක නිරතව ඇති බව ගුවන් හමුදාව තහවුරු කර සිටින අතර, එය මුල්කරගනිම්න්, ජනපති ගුවනින් නුවරට පැමිණි බවට සටහන් නිර්මාණය වූ බව අනුමාන කළ හැක.

Avatar

Title:ජනපති අනුර නුවර ගියේ හෙළිකොප්ටර් දෙකකින් ද? 

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *