ඇමති බිමල් ගේන්න ශ්‍රීලංකන් ගුවන් යානයක් රෝමයට ගියා ද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පුද්ගල චරිත, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් මූලික කර ගත් අසත්‍ය ප්‍රචාරණයන් සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වීම නිරන්තරව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා හා සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ වනවිට රෝමයේ සිටින බවත් ඔහු රැගෙන ඒම සඳහා මගීන් නොමැතිව UL 1214 යානය රෝමයට ගොස් ඇති බව පවසමින් මෙම සටහන පළ කර ඇත්තේ, මාරුතු 09 වැනිදා ය.  

Facebook | Archived Link

ඉහත සටහන සත්‍යක් බවට විශ්වාස කරමින් බොහෝ පිරිසක් අදහස් පළ කර ඇති අතර තවත් බොහෝ පිරිසක් සිය ගිණුම් වෙත ද එය හුවාමරු කර ගෙන තිබුණා.

මෙලෙසම අමාත්‍යවරයා රැගෙන ඒම සඳහා ගුවන් යානයක් පිටත්ව ගොස් ඇති බව කියමින් තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ ආකාරයෙනි. 

Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link

ඒ අනුව අප මෙම සටහන්වල නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප මූලිකවම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා ඉතාලියේ සංචාරයක නිරතව තිබුණේ ද සහ ඔහු රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් යානයක් පිටත්ව ගිය බවට වන සමාජ මාධ්‍ය සටහන් පළ වන ඊයේ (09) දිනය වන විටත් ඉතාලියේ රැඳී සිටියා ද යන්න පිළිබඳව විමසා බැලීමට පියවර ගත්තා. 

අමාත්‍ය බිමල් රත්නායක ඉතාලියේ සංචාරයක නිරත බවට මාධ්‍ය වාර්තා 

XIV වන ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය සහිත ලිපිය පිළිගැන්වීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා රෝමයට පැමිණ ඇති බවටත් මාර්තු 01 වැනිදා රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඇති බවත් පුවත් වෙබ් අඩවියක් මෙලෙස Archived Link වාර්තා කර තිබුණා. බිමල් රත්නායක මහතාගේ ඉතාලි සංචාරය පිළිබඳ පළ වී තිබූ තවත් වාර්තාවක් මෙතැනින්.  මේ අතර ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කර තිබුණේ, මාර්තු 2 වන දා අමාත්‍යවරයා වතිකානයේ ඉතාලියේ රාජ්‍ය සබඳතා පිළිබඳ උප ලේකම් මොන්සිග්නෝර් මිහයිටා බ්ලාජ් මහතා හමුවූ බවත් එහිදී පාප් වහන්සේට ලබන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට වන ජනාධිපතිවරයාගේ ආරාධනය සහිත ලිපිය පිළිගැන්වූ බවත් ය. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප ද සහිතව මෙලෙස පළ කර තිබුණා.  

සමාජ මාධ්‍ය සටහන් 

අමාත්‍යවරයා මෑතකාලීනව ඉතාලියේ සංචාරයක නිරතව ඇති බව සනාථ කෙරෙන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් අපගේ නිරීක්ෂණයේදී හමුවිය. Jvp Italia ෆේස්බුක් පිටුවේ අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙබරවාරි 28 වැනිදා රෝමයේ Fiumicino ගුවන්තොටුපොළින් ඉතාලියට පැමිණි බව පළ කර තිබුණේ,  ඡායාරූප ද සහිතවයි. අමාත්‍යවරයා මාර්තු 01 වැනිදා එරට වෙසෙන ලාංකික ප්‍රජාව හමුවීමට නියමිත බවත්, මාර්තු 02 වනදා ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා වන  ආරාධනය පිළිගැන්වීමට නියමිත බවත් එහි සඳහන් විය. කෙසේ වෙතත් ඉන් පසු අමාත්‍යවරයා රෝමයේ රැඳී සිටි බව සනාථ කළ හැකි සමාජ සටහන් හමු නොවීය. 

සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවට 

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මාර්තු, 05 සහ 06 යන දින දෙකේදීම පාර්ලිමේන්තු රැස්වීම් සඳහ සහභාගී වි සිටි අතර 05 වැනිදා පස්වරුවේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර 06 වැනිදා අමාත්‍යවරයා වාර්ෂික වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 

මේ අනුව පැහැදිලි වන්නේ, අමාත්‍ය බිමල් රත්නායක මහතා රෝමයේ සංචාරය නිම කර 05 වැනිදා පස්වරුව වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිට ඇති බවයි. එවැනි තත්ත්වයක් යටතේ මාර්තු 09 වැනිදා ශ්‍රීලංකන් ගුවන් යානයක් රෝමය බලා පිටත්ව ගොස් තිබුණේ, අමාත්‍යවරයා රැගෙන ඒම සඳහා ය. යනුවෙන් පළ වන සටහන්වල කිසිදු පදනමක් නොමැත.   

රෝමය බලා ගිය විශේෂ ගුවන් යානය 

ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් පීඩාවට පත් මගීන්ට සහන සැලසීම සඳහා මාර්තු 09 වැනිදා UL 1213 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉතාලියේ රෝම ෆියුමිසිනෝ ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය බව රජයේ පුවත් වෙබ් අඩවියක instagram ගිණුමේ මෙලෙස Archived Link සටහන් කර තිබූ අතර වසර 10කට ආසන්න කාලයකට පසුව ජාතික ගුවන් සේවයේ ගුවන් යානයක් ඉතාලියේ අගනුවර වෙත මෙලෙස ගමන් කිරීම සුවිශේෂී සිදුවීමක් බවත් එහි සඳහන් කර තිබිණ. මේ අතර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 07 වැනිදා ප්‍රකාශ කර තිබුණේ, ඉදිරි දින කිහිපයේ රෝමයට විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන බවයි.  ඉතාලි තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඊයේ (09) කොළඹ සිට රෝමය දක්වා විශේෂ කුලී ගුවන් ගමනක් ක්‍රියාත්මක කළ බවත්  තවත් පුවත් වාර්තාවක මෙලෙස සඳහන්ව විය.   

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක් 

ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටිත් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 1213 ගුවන් යානය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති තොරතුරු සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබුණේ, මාර්තු 09 වැනිදා ය. මෙම ගුවන් ගමන මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ මගීන් මුහුණ දී ඇති දුෂ්කරතා හේතුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම මත සංවිධානය වු ගුවන් ගමනක් බවත් ගුවන් ගමන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සටහන් අසත්‍ය බවත් එහි සඳහන් විය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ, යුරෝපය සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කර තිබූ හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන්ට, සෘජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 1213 ගුවන් යානය ඊයේ (මාර්තු 09) රෝමය බලා පිටත්ව ගිය බවයි.   

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙය රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිදු කළ සැලැස්මක් නොවන බවත් අදාළ අමාත්‍යවරයා දින කිහිපයකට පෙර ශ්‍රී ලංකවට පැමිණ ඇති බවත් ය.

බිමල් රත්නායක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

අමාත්‍යවරයා රැගෙන ඒම සඳහා ගුවන් යානයක් රෝමය බලා පිටත්ව ගිය බවට වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කළා.  මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.  අද (10) දිනයේ අමත්‍යවරයා ජනාධිපතිවරයා ද සහභාගී වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා නව පත්වීම් ලබාදීමේ උත්සවයකට සහභාගී වූ බවත් රෝමයේ සංචාරය නිම කර මාර්තු 05 වැනිදා උදෑසන දිවයිනට පැමිණි අමාත්‍යවරයා එදිනම පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමට ද සහභාගී වූ බවත් ඔහු ප්‍රකාශ කළා. ඊයේ (09) වැනිදා අමාත්‍යවරයා කැබිනට්  රැස්වීමට සහභාගී වූ බවත් මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා. බෙල්ජියමේ සංචාරයකින් පසු අමාත්‍යවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ජනාධිපතිවරයාගේ ආරාධනය රැගෙන ඉතාලියට පිටත්ව ගිය බව ද ඔහු ප්‍රකාශ කළා. තව ද එහි කටයුතු අවසන්වීමෙන් පසු අමාත්‍යවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා භාවිත කළේ ශ්‍රීලංකන් ගුවන් සේවය නොවන බවත් ලංකාවට පැමිණියේ අතරමග transit ගමනක් හරහා බවත් මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළා.  

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්  

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප සිදු කළ විමසීමකදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, එම සටහන් සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි. අදාළ ගුවන් යානය පිටත්ව ගියේ ඊයේ (09) උදෑසන බවත් ඒවනවිටත් අමාත්‍යවරයා ලංකාවට පැමිණ සිටි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා. මේ අතර තමා හා සම්බන්ධව ද අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවත් ඊට එරෙහිව පැමිණිලි සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළා. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක – දීපාල් පෙරේරා 

අමාත්‍ය බිමල් රත්නායක මහතා රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් යානයක් රෝමයට පිටත්ව ගිය බවට වන සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සිටි විදේශීය සංචාරකයින් රැගෙන යාම සඳහා කුලී ගුවන් ගමනක් (Charter flight) ක්‍රියාත්මක කළ බවයි. සංවිධානය කරන ලද මෙවැනි ගුවන් ගුවන්යානයක් පිටත්වීම සහ ආපසු පැමිණීම යන ගමන් වාර දෙකටම මුදල් ගෙවීම සිදු කෙරෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ගුවන් මගීන් රැගෙන පිටත්ව ගිය මෙම ගුවන්යානය යළි පැමිණීමේදී ගුවන් මගීන් රැගෙන නොපැමිණි බවත් භාණ්ඩ පමණක් රැගෙන ආ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය බිමල් රත්නායක මහතා රැගෙන ඒම සඳහා රෝමයට ගුවන් යානයක් පිටත්ව ගිය බවට වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය බලා යාමට සිටි පීඩාවට පත් මගීන්ට සහන සැලසීම සඳහා UL 1213 ගුවන් යානය මාර්තු 9 වැනිදා මෙරට සිට රෝමය බලා පිටත්ව ගොස් ඇති අතර අදාළ ගුවන ගමන සිදුවූ ඊයේ (09) දිනය වන විටත් රෝමයේ සංචාරය නිම කර එනම් මාර්තු 05 වැනිදා බිමල් රත්නායක අමාත්‍යවරයා දිවයිනට පැමිණ සිටි බවත් තහවුරු වේ.   

Result Stamp

Title: ඇමති බිමල් ගේන්න ශ්‍රීලංකන් ගුවන් යානයක් රෝමයට ගියා ද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *