දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති අතර දෛනිකව අතිවිශාල මගීන් සංඛ්‍යාවක් ගමනාගමනය සඳහා පහසුකම් සපයන කොළඹ මාධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම ද ප්‍රමුඛ ව්‍යාපෘති අතරින් එකකි. මේ වනවිටත් නවීකරණය කරමින් පවතින කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කර ඇත්තේ, ව්‍යාපෘති සැලැස්මට අනුව නොවන බවත්, සිදු කර ඇත්තේ මීට පෙර පැවති බස්නැවතුම්පොළ ගොඩනැගිල්ලට අලුතින් තීන්ත ආලේප කිරීම පමණක් බවත් කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, නවීකරණයෙන් පසු සහ නවීකරණ සැලසුම අනුව තිබිය යුතු ආකාරය බවට හැඟී යන ඡායාරූප දෙකක් ද යොදා ගිනිමිනි.
මෙ සටහන මගින් සැලැස්මට අනුව නවීකරණයෙන් පසු බස් නැවතුම්පොළ පෙන්නුම් කරන ආකාරය සහ සංවර්ධනයෙන් පසු එහි සැබෑ ත්ත්වය සැලැස්මේ සඳහන් පරිදි පෙන්නුම් නොකරන බව කියා පෑමට උත්සාහ කර තිබේ.

මේ හා සමාන තවත් සටහන් ෆේස්බුක් ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි.

Whatsapp ඔස්සේ ද එම තේමාවෙන් සටහන් කිහිපයක් හුවමාරු වී තිබිණ.


මේ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන්වල නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සලකා අප මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය 2025 වසරේ සැප්තැම්බර් 15 වැනිදා අරඹුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ව්‍යාපෘතිය ආරම්භයේදී ප්‍රකාශ කෙරුණේ, 2026 වසරේ අප්‍රේල් සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවයි.
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ නිමාවක් ව්‍යාපෘති සැලැස්මේ නැහැ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ සැලැස්මේ අවසන් නිමාව දැක්වෙන නිල ඡායාරූපයක් ද යන්න පිළිබඳව අප මූලිකවම Clean Sri Lanka නිල වෙබ් අඩවියේ සහ එහි නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ, පරීක්ෂාවට ලක් කළා. කෙසේ වෙතත් එම කිසිදු ගිණුමක එවැනි ඡායාරූපයක් දැකගත නොහැකි විය. Clean Sri Lanka නිල ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද වීඩියෝව පහතින්.
මේ අතර නවීකරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවියේ ද ව්‍යාපෘතිය ආරම්භය පිළිබඳ පුවත පළ කර තිබුණේ, අදාළ නවීකරණ සැලැස්මේ ඡායාරූප ද සහිතවයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයක් එම ඡායාරූප අතර හෝ දක්නට නොමැත.

මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සැලැස්ම යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කර තිබුණ් ද යන්න පිළිබඳව අප තවදුරටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා ඔස්සේ ද පරීක්ෂාවට ලක් කළා. කෙසේ වෙතත් ව්‍යාපෘති සැලස්මට අනුව සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ යෝජිත නිමාවක් පිළිබඳව ඡායාරූප හෝ ඊට සමාන දර්ශන ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු මාධ්‍ය වාර්තාවකදී දැකගත නොහැකි විය. පුවත් වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
මේ අතර ව්‍යාපෘතිය ඇරඹීමෙන් පසු ව්‍යාපෘතියේ තත්ත්වය පිළිබඳව මෑතකාලීනව ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් පුවත් පළ කර තිබූ අතර සැලසුම අනුව බස් නැවතුම්පොළ නවීකරණය කරමින් පවතින ආකාරය ඒ සෑම වාර්තාවකදීම මෙලෙස සහ මෙලෙස දැකගත හැකි වුණා.
Clean Sri Lanka මාධ්‍ය අංශය
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ සැලැස්මට අනුව අවසන් නිමාව දැක්වෙන ඡායාරූපයක් බව කියමින් සහ මේ වනවිට අවසන් අදියරේ පවතින ව්‍යාපෘතිය ඊට සමාන නොවන බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපය පිළිබඳව අප Clean Sri Lanka ව්‍යාපෘති ව්‍යාපෘතියේ මාධ්‍ය අධක්ෂවරයගොන් විමසා සිටියා. මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවත්, ව්‍යාපෘති සැලැස්මේ එවැන්නක් නොමැති බවත් ය. ව්‍යාපෘතිය ආරම්භයේදී එළිදැක්වූ සැලැස්මට අනුව බස් නැවතුම්පොළ නවීකරණය සිදු වන බවත්, මේ වනවිට එහි කටයුතු 90%ක් පමණ අවසන්ව ඇති බවත් සැලසුම් කළ පරිදි සිංහල-දමිළ අලුත් අවුරුද්දට පෙර එය ජනතා අයිතියට පත්කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සකසන ලද ඡායාරූපයක්
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ සැලැස්මේ ඡායාරූපයක් බව කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය ව්‍යාපෘතිය ආරම්භවීමට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

සමාජ මාධ්‍යයෙහි යළිත් සංසරණය වෙමින් පවතින එම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සකසන ලද්දක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප එම ඡයාරූපය AI පරීක්ෂක මෙවලමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව අදාළ ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව තහවුරු විය.

කොළඹ මධ්‍යම් බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් අප මීට පෙර සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ව්‍යාපෘති සැලැස්මට අනුව අවසන් නිමාව පෙන්නුම් කරන ආකාරයේ ඡායාරූපයක් සහ ප්‍රකාශ වූ පරිදි නවීකරණය සිදුව නොමැති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය අදාළ ව්‍යාපෘති සැලැස්ම මගින් ප්‍රකාශයට පත් කළ ඡායාරූපයක් නොවන බවයි. එය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර සිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඡායාරූපයකි. මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය අවසන් අදියරේ පවතින අතර එළැඹෙන සිංහල-දමිළ අලුත් අවුරුද්දට පෙර එය ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.


