1985 සිට ලංකා නැව් සමාගම සතුව එක්  නෞකාවක්වත් නැත් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව සතුව තිබූ නැව් 17 ක් එක්සත් ජාතික පක්ෂ 17 වසරක පාලන කාලය තුළ විකුණා දමා ඇති බවත්, 1985 න් පසුව ලෝකයේ එකඳු  නෞකාවක් හෝ නොමැති එකම නෞකා සමාගම ලංකා නැව් සමාගම බවත් සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ජේ ආර් ජයවර්ධන ඇතුලු එජාප ය විසින් ගෙන ආ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා මෙම නෞකා සියල්ල අසූව දශකයේදී විදෙස් රටවලට සහ යකඩ වලට විකුණා දමා ඇති බව සඳහන් කරමින් හුවමාරු වූ එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ  කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ලංකාවෙ තිබුණු නැව් ටිකට වෙච්ච වැඩේ,නැව් තිබුණු රටක් හිඟමනට දාලා තාම රට හදන්න කතාව” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

එම අන්තර්ගතය සහිත තවත් සටහනක් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණේ මෙලෙසින්.

Facebook

මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළ.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

1971 ජුනි 6 වන දින  ජාතික නාවික කටයුතු නංවාලීම සඳහා එවකට මෙරට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක සහ  නාවික අමාත්‍ය පී.බී.ජී. කළුගල්ල යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ලංකා නැව් සංස්ථාව ආරම්භ කර තිබෙනවා.

1970 – 1975 අතර මුල් අවධියේදී ලංකා නැව් සමාගමේ මුල්ම මෙහෙයුම් කටයුතු සඳහා ජර්මානු සහ චීන රජයන්හි සහාය ඇතිව සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකා රැසක් මිලදී ගෙන තිබෙනවා.

ලංකා නැව් සංස්ථාවේ නෞකා ඉතිහාසය (1971 – 2012)

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය තුළ නෞකා 9ක් ලංකා නැව් සමාගම විසින් මිලදී ගෙන තිබෙනවා. නෞකා පැරණි වීම සහ නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් 1983 සිට 1986 දක්වා කාලය තුළ ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ එජාප පාලන සමය තුළ එම නෞකා 09 විකිණීමට කටයුතු කර තිබෙනවා.

නෞකාවේ නමමිලදී ගත් වර්ෂයමිලදී ගත් රජයවිකුණූ වර්ෂයවිකුණූ රජය
Mv. Lanka Rani1971සමඟි පෙරමුණ (සිරිමාවෝ බණ්ඩාරනායක)1986එ.ජා.ප. 
Mv. Lanka Sagarika1972සමඟි පෙරමුණ1983එ.ජා.ප.
Mv. Lanka Devi1972සමඟි පෙරමුණ1985එ.ජා.ප.
Mv. Lanka Kalyani1972සමඟි පෙරමුණ1985එ.ජා.ප.
Mv. Lanka Kanthi1972සමඟි පෙරමුණ1985එ.ජා.ප.
Mv. Lanka Shanthi1973සමඟි පෙරමුණ1986එ.ජා.ප.
Mv. Lanka Keerthi1975සමඟි පෙරමුණ1985එ.ජා.ප.
Mv. Lanka Ratna1975සමඟි පෙරමුණ1986එ.ජා.ප.
Mt. Tammanna 1975සමඟි පෙරමුණ1984එ.ජා.ප.

එජාප පාලන සමය තුළ නෞකා 08 ක් මිලදී ගෙන ඇති අතර එම නෞකා 08 න් නෞකා 06 ක් එජාප/ පොදුජන එක්සත් පෙරමුණ පාලන සමය තුළ විකුණා තිබෙනවා.

නෞකාවේ නමමිලදී ගත් වර්ෂයමිලදී ගත් රජයවිකුණූ වර්ෂයවිකුණූ රජය
Mv. Lanka Siri1982එ.ජා.ප. (ජේ.ආර්. ජයවර්ධන)1990 දශකයේ මැද භාගයේදී එ.ජා.ප 
Mv. Lanka Seedevi1982එ.ජා.ප.1990 දශකයේ මැද භාගයේදීඑ.ජා.ප. හෝ පොදුජන එක්සත් පෙරමුණ
Mv. Lanka Srimani1982එ.ජා.ප.1990 දශකයේ මැද භාගයේදීඑ.ජා.ප. හෝ පොදුජන එක්සත් පෙරමුණ
Mv. Lanka Srimathi1982එ.ජා.ප.1990 දශකයේ මැද භාගයේදීඑ.ජා.ප. හෝ පොදුජන එක්සත් පෙරමුණ
Mv. Lanka Athula1983එ.ජා.ප.1993එ.ජා.ප 
Mv. Lanka Ajitha1985එ.ජා.ප.1990 දශකයේ මැද භාගයේදීපොදුජන එක්සත් පෙරමුණ

එජාප පාලන සමය තුළ මිලදී ගත් නෞකා 8න් නෞකා ද්විත්වයක් 2012 වන තුරු ලංකා නෞකා සමාගම සතුව තිබී ඇති අතර එම නෞකා ද්විත්වය විකුණා ඇත්තේ 2012 එජනිප පාලන සමය තුළයි.

නෞකාවේ නමමිලදී ගත් වර්ෂයමිලදී ගත් රජයවිකුණූ වර්ෂයවිකුණූ රජය
Mv. Lanka Muditha1982එ.ජා.ප.2012එ.ජ.නි.ස. (මහින්ද රාජපක්ෂ)
Mv. Lanka Mahapola1983එ.ජා.ප.2012එ.ජ.නි.ස.

නෞකා මිලදී ගැනීම් සහ විකිණීම් සම්බන්ධ තොරතුරු ලංකා නැව් සමාගම් නිල වෙබ් අඩවිය තුළ දක්වා ඇත. වෙබ් අඩවියේ එම තොරතුරු වෙත පිවිසීම මෙතනින්.

1985න් පසුව ලංකා නැව් සමාගම සතුව නෞකා නොතිබූ බව පැවසීම අසත්‍යයක්! 1985 න් පසුවත් ලංකා මුදිත සහ මහපොළ යන නෞකා ද්විත්වය මෙරට සතුව තිබී ඇත. 

1985 සිට 2012 වන තුරු ලංකා නැව් සමාගම සතුව ලංකා මුදිත සහ ලංකා මහපොළ නෞකා ද්විත්වය තිබී ඇති අතර ඒවායේ නඩත්තු වියදම් අධික වීම සහ පැරණි වීම නිසා 2011/2012 කාලසීමාවේදී එනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ එම නෞකා ද්විත්වය විකුණා දැමීමට සමාගම විසින් තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් 2011/2012 ශ්‍රී ලංකා නැව් සමාගමේ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙලෙසින්.

2016 වසරේදී නෞකා ද්විත්වයක් මිලදී ගෙන තිබෙනවා.

2012 වසරේ දී අවසන් නෞකා ද්විත්වය වන ලංකා මුදිත සහ මහපොළ යන නෞකා විකිණීමෙන් පසු නෞකා ද්විත්වයක් මිලදී ගැනීම සඳහා 2014 ජනවාරි 10 වන දින, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් 2013/2014 ශ්‍රී ලංකා නැව් සමාගමේ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙලෙසින්.

ඒ අනුව එම චීනයේ AVIC Weihai නැව් තටාකංගනයේදී නිෂ්පාදනය කරන ලද, ටොන් 63,000කට අධික ධාරිතාවකින් යුත් Supramax වර්ගයේ බල්ක් කැරියර් නෞකා දෙක 2016 දී ලංකා නැව් සමාගම විසින් භාර ගෙන තිබෙනවා. V Ceylon Breeze නෞකාව 2016 ජනවාරි 20 වන දිනත් MV Ceylon Princess නෞකාව 2016 ජුනි මාසයේදීත් මෙරට විසින් භාර ගෙන තිබෙනවා.

මෙම නෞකා මිලදී ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පුත්තලම ලක්විජය (නොරොච්චෝලේ) බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු ප්‍රවාහනය කිරීම සහ නාවික ශිෂ්‍යයින්ට පුහුණුව ලබා දීමයි.

2016 වසරේදී මිලදී ගත් MV Ceylon Breeze සහ MV Ceylon Princess යන නෞකා දෙකම තවමත් ලංකා නැව් සමාගම (CSC) සතුව පවතී.

2024 සිට 2027 දක්වා වසර තුනක කාලයක් සඳහා මෙම නෞකා දෙක කුලී පදනම යටතේ මෙහෙයවීමට සිංගප්පූරුවේ වොලම් ෂිපිං සමාගමට ලබා දීමට අදාළ කැබිනට් අනුමැතිය 2024 ජූලි මාසයේදී ලැබී තිබෙනවා. 

cabinetoffice

නෞකා දෙකේ වත්මන් පිහිටීම (2026 මාර්තු අග වන විට)

MV Ceylon Breeze නෞකාව දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ (Richards Bay) වරායේ සිට බංග්ලාදේශයේ චිතගොන්ග් (Chittagong) වරාය බලා යාත්‍රා කරමින් පවතින අතර,MV Ceylon Princess නෞකාව ඉන්දියාවේ පරදීප් (Paradip) වරාය ආසන්නයේ නැංගුරම් ලා පවතිනවා. නෞකා ද්විත්වයේ පිහිටීම සජීවීව පහතින්.

magicport.ai

magicport.ai

ශ්‍රී ලංකා නැව් සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරි පී. එච්. කේ වටවල 

අපි විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා නැව් සමාගමේ වැඩ බලන සාමාන්‍යාධිකාරී පී.එච්.කේ වටවල මහතා විසින් සඳහන් කළේ මෙරට සතුව තිබූ නෞකා 17 න් 15 ක් 1985 පමණ වන විට විකුණා ඇති බවත්, එම නෞකා ඉතිරිව තිබුණත් අබලන් වීම හේතුවෙන් විකිණීමට සිදු වන බවයි. 1985 න් පසුව ද නෞකා ද්විත්වයක් ලංකා නැව් සමාගම සතුව තිබූ බවත් එම නෞකා ද්විත්වය 2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ විකිණීමෙන් පසු 2012 සිට 2016 තෙක් ලංකා නැව් සමාගම සතුව නෞකා නොතිබූ බවත්, 2016 වසරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ නෞකා ද්විත්වයක් මිලදී ගත් බවත් එම නෞකා ද්විත්වය මේ වන විට ලංකා නැව් සමාගම සතුව පවතින බවත් ඔහු සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතුව තිබූ නෞකා 17 ක් එක්සත් ජාතික පක්ෂ 17 වසරක පාලන කාලය තුළ විකුණා දමා ඇති බවත්, 1985 න් පසුව ලෝකයේ එකඳු  නෞකාවක් හෝ නොමැති එකම නෞකා සමාගම ලංකා නැව් සමාගම බවත් සඳහන් කරමින් හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. මෙරට සතුව තිබූ නෞකා 17 න් 15 ක් අබලන් වීම සහ නඩත්තුවට විශාල මුදලක් වැය වීම වැනි කාරණා මත පදනම් ව 1990 දශකය අවසන් වන විට විකුණා ඇති නමුත්, ඉන් පසුවත් ලංකා මුදිත සහ මහපොළ යන නෞකා ද්විත්වය මෙරට සතුව තිබී ඇති අතර, එම නෞකාද භාවිතයට නුසුදුසු තත්වයට පත්වීම හේතුවෙන් 2012 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී විකුණා තිබෙනවා. 2016 දී නැවත නෞකා ද්විත්වයක් මිලදී ගෙන තිබෙන අතර මේ වන විට ලංකා නැව් සමාගම් සතුව එම නෞකා ද්විත්වය පවතින බවයි.

Result Stamp

Title: 1985 සිට ලංකා නැව් සමාගම සතුව එක් නෞකාවක්වත් නැත් ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *