ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රධාන ආගමික සිද්ධාස්ථාන සඳහා ලබා දී ඇති, හමුදා සහ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පවත්නා රජය විසින් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් මාධ්‍ය හරහා ද, සටහන් පළවූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ආගමික ස්ථාන ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කිරීමට අනුර කුමාරගේ ආණ්ඩුවෙන් තීරණයක්ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් පළ වූ ඇතැම් වෙබ් වාර්තා වල පෙන්වා දෙන්නේ, එලෙසින් ඉවත් කරන හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමටයි තීරණය කර ඇති බවයි.

ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අතුගෑමට, ආහාර පිසීමට මෙන්ම රියැදුරන් වශයෙන්ද යොදාගෙන ඇත්තේ හමුදා භට කණ්ඩායම් බව ත්, ඇතැම් විහාරස්ථානවල විස්සකට වැඩි භට කණ්ඩායම් පවා සිටින බව අනාවරණය වී ඇති බව ත් ඉන් පෙන්වා දෙනවා. වැඩිපුරම යොදවා ඇත්තේ යුද හා නාවික භට පිරිස් වන අතර, හමුදා අනුග්‍රහය වැඩිපුර ලැබෙන, වැඩිපුර භට පිරිස් සිටින විහාරස්ථාන එය තමන් ඉහළ තත්ත්වයක සිටින බව පෙන්වීමට යොදාගෙන ඇති බවද හෙළිවී තිබෙන බවයි සඳහන් කර තිබුණේ. එම වාර්තාව මෙතනින්. Archived Link

මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අප දිවයිනේ ප්‍රධාන ආගම් හි ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල කිහිපයකින් එම ස්ථාන වලට ලබා දී තිබූ  පොලිස් සහ හමුදා ආරක්ෂාව ඉවත් කර තිබුණා ද, යන්න විමසා බැලුවා. එහිදී ඔවුන් විසින් සනාථ කළේ, එම ආගමික ස්ථාන වලට ලබා දී තිබූ ආරක්ෂාව එලෙස ම පවතින බවයි.

අප මේ සම්බන්ධයෙන් තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා අප රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු නිල ආයතන වලින් විමසීම් සිදු කළා.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා අප කළ විමසීමේදී තහවුරු කළේ, මෙය අසත්‍ය ප්‍රචාරයක් බව ත්, කිසිදු අයුරකින් ප්‍රධාන ආගමික ස්ථාන වලට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කර නොමැති බවයි.

බත්තරමුල්ල, අකුරුගොඩ යුද හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාව තුළ වෙහෙර විහාරස්ථානවල මෙන්ම විවිධ ආගමික සිද්ධස්ථානයන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් ආරක්ෂාව සහ ඉදිකිරීමේ කටයුතු සඳහා 1584 දෙනකු යොදවා ඇති බවත් ඉන් ආරක්ෂාව සඳහා නිලධාරීන් 364 දෙනෙක් සහ ඉදිකිරීමේ කටයුතු සඳහා 1220 නිලධාරීන් ප්‍රමාණයක් පළාත් නවයක දිස්ත්‍රික්ක දහසය තුළම යොදවා ඇති බවයි. 

වාර්ෂිකව පන්සල්, කතෝලික දේවස්ථාන, මුස්ලිම් දේවස්ථාන, හින්දු කෝවිල් හා විවිධ ආගමික සිද්ධස්ථානයන්හි පවත්වනු ලබන ආගමික උත්සව සඳහා ද ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ලබාදෙන ආරක්ෂාව කිසි විටෙකත් අඩුකර නොමැති බව ප්‍රකාශ කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, එම තොරතුරු අසත්‍ය බව ත්, ශ්‍රී ලංකා පොලීසිය මගින් ද, ආරක්ෂාව ලබා දී ඇති ආගමික ස්ථානවල පොලිස් නිලධාරීන් ඉවත් කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

ජනාධිපති මාධ්‍ය අංශය

අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවැනි තීරණයක් ගෙන ඇත්ද යන්න පිළිබඳ විමසීමක් කළ අතර, ඔවුන් පවසා සිටියේ ජනාධිපති ආගමික සිද්ධස්ථාන වල ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ආගමික ස්ථාන ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කිරීමට අනුර කුමාරගේ ආණ්ඩුවෙන් තීරණයක් ගෙන ඇති බවට පළ වන ප්‍රචාරයන් අසත්‍ය වන බව ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් කොට්ඨාශය සහ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි. එමෙන් ම අප ආගමික සිද්ධත්ථාන හරහා කළ සොයා බැලීමේදී  ද, තහවුරු වුණේ, එම ස්ථාන වල ආරක්ෂාව ඉවත් කර නොමැති බවයි.

Avatar

Title:ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply