
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය කාලයේ සිටම මෙරට හාල් සම්බන්ධව අපිට අහන්න ලැබුණේ නම් එතරම් හොඳ පුවත් නොවේ. ඒ රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබෙන බැවිනි. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ආහාරය බත් වන නිසා මෙම සහල් හිඟය පාරිභෝගිකයාට දැනෙන මට්ටමකට පැමිණ තිබෙන පසුබිමක එක් පුද්ගලයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය සීමා කර ඇතිබවට ද සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීමක් සිදුවනවා. එම නිසා මෙහි සත්‍යතාව පිළිබඳ අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“සහල් එක් අයෙකුට කිලෝ තුනක සීමාවක් පනවයි” යනුවෙන් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරිනි.
තවත් මෙවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
එක් අයෙකුට සහල් ලබාදීම කිලෝ තුනකට සීමා කිරීමේ තීරණයක් රජය විසින් ගනු ලැබුවා ද? අපි මේ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය) :
දැන් දැන් රටේ සහල් හිඟය උත්සන්න වෙමින් තිබෙන බව නොරහසකි. සහල් හිඟය හේතුවෙන් සහල් මිල ගණන් ද අහස උසට වැඩි වී තිබෙනවා. භාණ්ඩ හිඟයකදී මෙලෙස මිල ගණන් වැඩි වීම සාමාන්‍ය තත්වයකි. සහල් වල තත්වය ද එසේමය.
මෙම සහල් හිඟය හමුවේ පාරිභෝගිකයන්ට සහල් ලබාදීම සීමා කිරීමක් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සිදුකර තිබේ ද යන්න අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.
නමුත් රජය විසින් එවැනි තීරණයක් ගෙන ඇති බවට කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කිරීමක් සිදුකර තිබුනේ නෑ. එහෙත් සුපිරි වෙළඳ සැල් එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනකට සීමා කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්
මෙලෙස එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජය විසින් ගත් තීරණයක් ද එසේත් නොමැතිනම් එය සුපිරි වෙළඳසැල් ඔස්සේ ගත් තීරණයක් ද යන්න අප සොයා බැලුවා.
වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය
ඊයේ (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහල් හිඟය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එතුමා එම සාකච්ඡාවේදී කියා සිටියේ සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක සීමාවකට යටත්ව සහල් ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇති බවයි. ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කරන බවත් ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
එම සහල්වල මිල රුපියල් 220 වඩා ඉහළ නොයන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසනු ලැබුවා. අමාත්‍යවරයා පවසන්නේ සහල් අතිරික්තයක් සංඛ්‍යලේඛනවල පෙන්වද්දීත් සහල් ආනයනය කිරීමට සිදුවීම ඛේදවාචකයක් වන බවයි. නමුත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වෙළඳ අමාත්‍යවරයා විසින් එක් පාරිභෝගිකයෙක්ට ලබාදෙන් සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති බවක් ප්‍රකාශ නොකරයි. එවන් තීරණයක් ගෙන තිබේනම් මෙවැනි මොහොතක ඒ පිළිබඳ පාරිභෝගිකයන්ව දැනුවත් කිරීම අනිවාර්යෙන් ම සිදු කරන්නකි. ඒ අනුව රජය එවැනි තීරණයක් ගෙන නොමැති බව පැහැදිලිවනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විමලේන්තිරරාජා මහතා
සහල් පාරිභෝගිකයන්ට ලබාදීම සීමා කිරීමක් කර තිබේ ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විමලේන්තිරරාජා මහතාගෙන් ද විමසීමක් සිදුකරනු ලැබුවා. එම මහතා සඳහන් කළේ එලෙස සහල් ලබාදීමේ සීමා කිරීමක් සිදුකර නොමැති බවයි. අමාත්‍යංශය මඟින් ගත් තීරණ ඊයේ (20) දිනයේදී වෙළඳ අමාත්‍යවරයා දැනුම්දුන් බවත්, ඊට අමතරව සහල් ජනතාවට ලබාදීම් සීමා කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එම මහතා සඳහන් කළා.
Keels සුපිරි වෙළඳ සැල් ප්‍රධාන ශාඛාව
කීල්ස් පුපිරි වෙළඳ සැල් කිහිපයක් සහ අනෙකුත් වෙළඳ සැල් අප නිරීක්ෂණය කළ අතර මෙලෙස එක් බිල් පතකට සහල් කිලෝ තුනක් පමණක් ලබාදීමේ තීරණයක් ගෙන ඇත්තේ Keels සුපිරි වෙළඳ සැලෙන් වන බව අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව කීල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ ප්‍රධාන ශාඛාවෙන් අප මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර ඔවුන් පවසනු ලැබුවේ ඔවුන් එවන් තීරණයක් ගෙන ඇති බවයි. මෙය සහල් හිඟය හේතුවෙන් ගැනීමට සිදු වූ තීරණයක් වන බව ද ඔවුන් පවසනවා. එය රජයෙන් ගත් තීරණයක් නොවන බවත් ආයතනික වශයෙන් ගත් තීරණයක් බවත් ඔවුන් අප වෙත පවසනු ලැබුවා.
ගොතටුව කීල්ස් සුපර් වෙළඳ සැලේ මෙම සහල් ලබාදීම සීමා කර තිබුණේ මේ අයුරිනි.
සහල් හිඟය
වෙළඳපොලේ සහල් ඉල්ලුම වැඩි වීමත්, එම ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමත් හේතුවෙන් වෙළඳපොළ තුළ සහල් මිල ඉහළ යාමෙන් ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
මෙය කෘතිමව නිර්මාණය කරන ලද සහල් හිඟයක් වන බවට විවිධ පාර්ශව අදහස් දක්වන අතර ඊයේ දිනයේදී (20) සහල් අතිරික්තයක් සංඛ්‍යලේඛනවල පෙන්වද්දීත් සහල් ආනයනය කිරීමට සිදුවීම ඛේදවාචකයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන් ම පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී ඊයේ (20) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ, සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනෙක් අත තිබෙන්නක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද සම්බන්ධ ගැඹුරු ජාලයක් බවත් ය. ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, වී තොග සහල් නොකර විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමත් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද විශාල වී තොග ප්‍රමාණයක් තබාගෙන ඒවා සහල් නොකර ඉදිරියේදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් තබාගෙන සිටීමත් සිදුවන බව මුදිත් පෙරේරා මෙහිදී ප්‍රකාශ කළ බවට පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
මහ මැතිවරණයට පෙර හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාගෙන් ද මාධ්‍යවේදියෙක් සහල් හිඟය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ යල මහ කන්නවලදී සහල් අතිරික්තයක් පැවතීමේදී සහල් හිඟයක් පවතින්නේ ඇයි ? යනුවෙනි. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පවසන්නේ, සහල් මෝල් හිමියන් රැස් කර ජනාධිපතිවරයා සහල් තොග සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ බවයි. එහිදී එම තොග ගබඩා කිරීම් සම්බන්ධ සංඛ්‍යා ලේඛන ද ගෙන තිබෙන බවයි.වී සහ සහල් ගබඩා කිරීමේ යාන්ත්‍රණයේ ගැටළු පවතින බවත් සහල් යාන්ත්‍රණය කිහිප දෙනෙක් අත පවතින බවත්, එම තරඟකාරිත්වය තුළ මිල තීරණය කිරීමෙ ගැටලුවක් පවතින බවත් මෙය යතා තත්වයට පත් කිරීම එකවර කළ නොහැකි බැවින් ඊට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍යවරයා පවසනවා.
සහල් හිඟය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සහිත පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
ඒ අනුව මෙම සහල් හිඟය පිළිබඳ සහල් වෙළඳ ඒකාධිකාරියක් පැවතීම මතත්, රජයේ වී සහ සහල් ගබඩා කිරීමේ ක්‍රමවේදය පවතින ගැටලු මතත් ඇති වී ඇති බව පැහැදිලි ය.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
සහල් තොග වෙළඳ පොළ තුළ හිඟ වීම හේතුවෙන් එක් අයෙක්ට සහල් ලබාදීම කිලෝ තුනකට සීමා කිරීම සුපිරි වෙළඳ සැලක තීරණයක් වන බවත් එය රජයේ තීරණයක් නොවන බවත් මෙම කරුණු ඔස්සේ පැහැදිලිවනවා.

Title:එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
