
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සහල්, පොල් හිඟයන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිට විවිධ පුවත් නිර්මාණය වූ අතර එවැනි පුවත් අතරේ මේ දිනවල දොඩම් හිඟයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබෙන අයුරු අප දුටුවා.
එම සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් මහජනතාව තුළ යම් ව්‍යාකූලත්වයක් ද ඇති වී තිබෙන අයුරු අපට නිරීක්ශණය වුණා. එබැවින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
දොඩම් හිඟයක් හේතුවෙන් දෙල්කඳ ප්‍රදේශයේ ගැටුම් තත්වයක් ඇති වූ බවත්, එම තත්වය ඇති වී තිබෙන්නේ ඉල්ලුමට සරිලන දොඩම් නොමැති වීමත්, තොග පිටින් දොඩම් අතුරුදන් වීමත් නිසා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
දොඩම් හිඟයක් සම්බන්ධයෙන් තවත් සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
ඕස්ට්‍රේලියාවේ දොඩම්වතුවල දින කිහිපයකදී දොඩම් අතුරුදහන් වීම නිසා මෙරට ද දොඩම් හිඟයක් පවතින බවට වීඩියෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
පුවත් සපයන ඇතැම් වෙබ් පිටු ද මෙම පුවත වාර්තා කිරීමත් සමඟ මහජනතාව යම් ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව එම සමාජ මාධ්‍ය සටහන් වෙත දක්වා ඇති අදහස් අනුව අපට පෙනී ගියා. එනම් රටේ යම් යම් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී වාතාවරණයක් පවතින මොහොතක මෙවැනි තොරතුරු හුවමාරු වීමෙන් යම් නොසන්සුන්තාවයක් ඇතිවන බව අපට පෙනී යනවා.
ඒ අනුව සමාජ මාධ්‍ය සටහන්වල දැක්වේන අයුරින් දොඩම් පිළිබඳ මෙරට ගැටලුකාරී වාතාවරණයක් තිබෙනවා ද යන්න පිළිබඳව සහ මේ දිනවල හුවමාරුවන මෙම සමාජ මාධ්‍ය සටහන්, වීඩියෝ මොනවා ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රධාන මාධ්‍ය තුළ මේ දිනවල මෙරට දොඩම් ඇතුළු පළතුරු වර්ග සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුකාරිත්වයක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළ අතර එවැනි කිසිඳු වාර්තා කිරීමක් දැකගත නොහැකි විය.
ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ දොඩම්
අප මෙරට වෙළඳපොළ පරීක්ෂා කිරීම් ද සිදුකළ අතර එවැනි දොඩම් හිඟ තත්වයක් පළතුරු වෙළඳාම ආශ්‍රිතව අපට නිරීක්ෂණය නොවීය. දොඩම් වෙළඳුන්ගෙන් ද විමසීමක් සිදුකළ අතර එවැනි විශේෂ දොඩම් හිඟ තත්වයක් නොපවතින බවත්, සාමාන්‍ය පරිදි ඵලදාවට අනුව දේශීය දොඩම් පවතින බවත්, ආනයනික දොඩම් ද හිඟයකින් තොරව පවතින බවත් ඔවුන් අප වෙත පවසනු ලැබුවා.
අප සුපිරි වෙළඳසැල් කිහිපයකින් ද විමසීම් සිදුකළ අතර එහිදී එම වෙළඳ සැල් තුළ ද ආනයනික දොඩම් සහ දේශීය දොඩම් ද විකිණීමට තිබෙන බව එම වෙළඳසැල් විසින් පවසනු ලැබුවා. එය වෙළඳසැල්වල වෙබ් අඩවි තුළ මිල ගණන් සහිතව සඳන්ව තිබුණේ මේ අයුරින්.
දොඩම් වගාකරුවන්ගෙන් ද මෙරට දේශීය දොඩම් ඵලදාව සම්බන්ධයෙන් අප විමසීමක් සිදුකළ අතර මේ දිනවල සාමාන්‍ය පරිදි ඵලදාව තිබෙන බවත්, ජනවාරි මාසයේ ඵලදාවට වඩා අප්‍රේල් මාසය වන විට ඵලදාව වැඩිවන බවත් ඔවුන් පවසනවා.
දොඩම් විවිධ වර්ග පවතින අතර එවැනි කිසිඳු දොඩම් වර්ගයක විශේෂ හිඟ තත්වයක් නොපවතින බවයි ඔවුන් පවසන්නේ. ඵලදාව අඩුවන කාලයන් තිබිය හැකි නමුත් සාමාන්‍ය පරිභෝජනයට නොමැති ලෙසින් දොඩම් මිල ඉහළ ගොස් ඇතිවන ආකාරයේ හිඟ තත්වයක් වර්තමනයේ නොපවතින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ දොඩම් අතුරුදන් වීමකින් මෙරට දොඩම් හිඟ තත්වයක් ඇතිව තිබෙන බව සඳහන්වන බැවින් අප ඕස්ට්‍රේලියාවේ දොඩම් වතුවල එවැනි තත්වයක් ඇති වී තිබේ ද යන්න විදෙස් මාධ්‍ය පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම Citrus වාර්ෂික ඕස්ට්‍රේලියානු වාර්තාවේ, එම සංවිධානය 2025 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ දොඩම් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 545,000 දක්වා ඉහළ යනු ඇතැයි සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව පළ වූ ලිපියක් මෙතනින්.
එම ලිපියට අනුව රට තුළ වගා කරන ලද ප්‍රදේශ 64% කින් වැඩි වීම සහ බීජ රහිත ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කිරීම, වගා ප්‍රදේශවල සෞම්‍ය දේශගුණික තත්වය වැනි සාධක හේතුවෙන් හේතුවෙන් දොඩම් අලෙවිය මෙම වසරේ වසරේ වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එහි සඳහන්වනවා. නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 225,000ට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර අපනයන වාර්තාගත මෙට්‍රික් ටොන් 105,000ක් ලෙස ද පුරෝකථනය කර ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ද කිසිඳු දොඩම් හිඟ තත්වයක් හෝ අපනයනේ ගැටලුකාරීත්වයක් නොමැති බව තහවුරුවනවා.
එමෙන් ම ලංකාවට දොඩම් ආනයනය කෙරෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පමණක් ම නොවන අතර දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, අරාබිය, චීනය, ස්වීඩනය වැනි රටවලින් ද මෙරටට දොඩම් ආනයනය කෙරෙනු ලැබෙනවා. (මූලාශ්‍ර – මෙතනින්, මෙතනින්) එබැවින් ඕස්ට්‍රේලියාවෙන් පමණක් ම මෙරටට දොඩම් ආනයනය නොකරන බව පැහැදිලි වනවා.
ඒ අනුව ලංකාවේ මේ දිනවල දොඩම් ආශ්‍රිතව කිසිඳු විශේෂ හිඟ තත්වයක් හෝ, ඉල්ලුමට සැපයුම ලබාදිය නොහැකි තත්වයක් හෝ නොමැති බව පෙනී යනවා. විශේෂයෙන් ම දොඩම් යනු මෙරට අත්‍යවශ්‍ය ම ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකන්නක් නොවන බවත් කිව යුතු ය.
දොඩම් හිඟ තත්වයක් පිළිබඳ සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් මොනවා ද?
මෙරට විශේෂයෙන් දොඩම් ආශ්‍රිත හිඟ තත්වයක් නොපවතින වාතාවරණයක මේ දිනවල සමාජ මාධ්‍යයේ මෙතරම් දොඩම් ආශ්‍රිතව හුවමාරුවන සටහන් මොනවා ද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමක් සිදුකළා.
ඒ අනුව අපට ‘දොඩම් නෑනේ මිස්’ යනුවෙන් සඳහන් ෆේස් බුක් පිටුවක් නිරීක්ෂණය වූ අතර එම ෆේස්බුක් පිටුවේ අන්තර්ගත වුණේ, මෙම දොඩම් හිඟ තත්වයන් ආශ්‍රිත සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ පමණකි.
අප එම ෆේස් බුක් පිටුව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වුනේ, මෙය අලෙවිකරණය (Marketing) සහ දැන්වීම්කරණය (Advertising) සම්බන්ධ ෆේස්බුක් පිටුවක් වන බවයි.
එමෙන් ම එම ෆේස් බුක් පිටුවේ ප්‍රසිද්ධ නලු නිලියන් ද සම්බන්ධ කර ගනිමින් දොඩම් ආශ්‍රිත නිෂ්පාදනයක් වෙළඳපොලට නිකුත් කිරීමට පෙර සිදුකරණ පූර්ව අලෙවිකරණ උපායමාර්ගික ලෙස නිර්මාණය කරන ලද වීඩියෝ කිහිපයක් ද පළ කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.
එමෙන් ම මෙරට ජනප්‍රිය නිවේදකයෙක් වන හසිත විජේවර්ධන ද මෙරට දොඩම් හිඟයක් පවතින බවට වෙළඳසැලකින් සහ පාරිභෝගිකයින්ගෙන් විමසීමින් සිදුකළ වීඩියෝවක් ද එම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මේ අයුරින්.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දොඩම් වෙළඳසැල්වල නොමැති බවට වීඩියෝ පළ කර තිබුනේ මේ අයුරින් සහ මේ අයුරින්.
ඒ අනුව පැහැදිලිවම වෙනත් ෆේස් බුක් පිටුවල සංසරණය වන දොඩම් සම්බන්ධ බොහෝ සමාජ මාධ්‍ය සටහන් මෙම ෆේස්බුක් පිටුවේ පළ කළ ඒවා ම වන බවත් පෙනී යනවා. ඒ අනුව මෙය යම් කිසි දොඩම් ආශ්‍රිත නිෂ්පාදනයක පූර්ව අලෙවිකරණ උපාය මාර්ගයක් බව තහවුරු වනවා.
නමුත් මෙය ප්‍රවර්ධනය කරනු ලබන්නේ, රටේ දොඩම් හිඟ බවට දක්වමින් සහ එය රටේ ප්‍රධාන ගැටලුවක් ද බවට පෙන්වා දෙමින් බැවින් සහ මේ තොරතුර පුවත් විශේෂයෙන්ම පුවත් පළකරන ෆේස්බුක් පිටු ඔස්සේ ද හුවමාරු වී තිබු නිඅ මේ ඔස්සේ වෙළඳපොළේ දොඩම් හිඟ තත්ත්වයක් ඇති බවට ඇතැම් පාඨකයින් නොමග යැවීමක් සිදුවී තිබුණා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, දොඩම් හිඟයක් මෙරට ඇති බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් යම් කිසි දොඩම් ආශ්‍රිත නිෂ්පාදනයක අලෙවිකරණ උපායමාර්ගයක් වන බවයි.
එමෙන් ම මෙරට දොඩම් ආශ්‍රිතව හිඟ තත්වයක් හෝ ඒ ආශ්‍රිත ගැටලුකාරී වාතාවරණයක් නොමැති බව පැහැදිලිවනවා.
