පිල්ලෙයාන් සහ කරුණා අම්මන් සම්බන්ධයෙන්, NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන්ගේ ප්‍රකාශයක් ?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකළ අදහස් දැක්වීම් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරුවීම සිදුවනවා. එවැනි සමාජ මාධ්‍ය සටහන් විවිධ මතවාදයන් නිර්මාණය කිරීමට ද බලපාන බව ද පෙනී යනවා. 

කෙසේ වෙතත් මේ දිනවල යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන්, පිල්ලෙයාන් සහ කරුණා අම්මන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබූ බැවින් එහි සත්‍ය අසත්‍යතාව අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“දෙමළ ජනතාව සිදුකළ සන්නද්ධ අරගලය රාජපක්ෂලාට සහ රජයේ හමුදාවන්ට පාවා දුන් පිල්ලෙයාන්ට, කරුණාට කිසිම සමාවක් අපේ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමගෙන් නැහැ”  යනුවෙන් යාපනය දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු ,මන්ත්‍රී කේ. ඉලන්කුමාර් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

එය පළ කිරීමේදී  “ඔන්න පැන්නා බළලා මල්ලෙන් එලියට, උතුරේ ත්‍රස්තවාදීන් හා දකුනේ ත්‍රස්තවාදීන්ගේ” යනුවෙන් ද සඳහන් කර තිබුණා.

Fb|Archive

මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලන්කුමාරන් සිදුකළා ද? අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සැබවින්ම ප්‍රකාශ කළේ නම්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා වන නමුත්, එවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ වී තිබුණේ නෑ.

එබැවින් අප මෙම සමාජ මාධ්‍ය සටහන පරීක්ෂා කළ අතර එහි යාපනය ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සිටගෙන ප්‍රකාශයක් සිදුකරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් යොදාගෙන තිබූ බැවින් එවැනි අවස්ථාවක ඔහු මාධ්‍ය වෙත දැක්වූ අදහස් වෙත අප අවධානය යොමු කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් , යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වන වීඩියෝව හමු වූ අතර ඔහු එහිදී එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ ද යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරයා මාර්තු 14 වන දින ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඇප මුදල් ගෙවීමෙන් පසු මැතිවරණය  සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකරන නමුත් අත්අඩංගුවට ගෙන ඇති පිල්ලෙයාන් හෝ කරුණා අම්මන් සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරයි.

Fb|Archive

තවද, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට , ඉහත සමාජ මාධ්‍ය සටහනේ ඔහු සඳහන් කළ දෙයට සමාන කිසිදු තොරතුරක් එහි පළ කර නොතිබුණි.

අපි මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය වෙනුවෙන් 2025.04.16 වන දින ඉලංගුමාරන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවෙහි වීඩියෝව ද අප පරීක්ෂා කරනු ලැබුවා. එනම් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර තිබූ දිනට පෙර ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවයි.

මෙම වීඩියෝව නිරීක්ෂණය කළ විට, අපගේ විමර්ශනයෙන් තහවුරු වූයේ ඔහු පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මෙහිදී ප්‍රකාශ නොකරන බවයි.

ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවදාරණය කරන්නේ, ජාතික ජන බලවේගය (NPP) පරාජය කිරීම සඳහා දෙමළ පක්ෂ එක්වී සිටින බවත්, ජාතික ජන බලවේගය පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා ව්‍යාජ ප්‍රචාරක ව්‍යාපාර පවත්වන බවත් ය. 

අදාළ මාධ්‍ය හමුව පහත පරිදි වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන් 

ඉහත කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් දුරකථනයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

පිල්ලෙයාන් සහ කරුණා සම්බන්ධයෙන් තමන් මාධ්‍යයට කිසිදු අදහසක් පළ නොකළ බවත්, එවැනි කිසිදු අදහසක් තම ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බවත් ඔහු අප වෙත සඳහන් කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ඉහත තොරතුරු මත පදනම්ව, දෙමළ ජනතාවගේ සන්නද්ධ අරගලය රාජපක්ෂලාට සහ හමුදාවට පාවා දුන් පිල්ලෙයාන්ට සහ කරුණාට අපගේ රජය සහ ජනාධිපතිවරයා සමාව නොදෙන බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් ප්‍රකාශ කළ බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ.

Avatar

Title:පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන් පිල්ලෙයාන් සහ කරුණා අම්මන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *