FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

False Social

Last updated on February 18th, 2022 at 09:52 am

සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ නම් අපකීර්තියට පත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා.

බොහෝ අවස්ථාවලදී සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන සිදුවීම්වල චූදිතයන්ගේ තොරතුරු මෙම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු වලට සමාන කමක් තිබේනම් ඔවුන්ගේ නම් ඈඳා ගනිමින් අසත්‍ය පැතිරවීමට කටයුතු කරන ආකාරයක් අපට දකින්නට ලැබෙනවා. 

මේ දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා ලිංගිකව අපයෝජනයට ලක්වීම හා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ විශේෂඥ හෘද වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

විශේෂයෙන්ම WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක දැක්වූණේ Two more persons including consultant Cardiologist Wajira Senaratne, arrested over the incident of sexual exploitation of a 15-year-old girl over the internet: Police Spokesman-Hirunews.lk

එහි සිංහල පරිවර්ථනය නම් ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සිද්ධියට, හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බවයි. Hiru පුවත් සේවය විසින් පළ කරන ලද පණිවුඩයක් උපුටා දැක්වීමත් බවත් එහි පෙන්වා දී තිබුණා.

එම WhatsApp පණිවිඩය පහතින්.


Archived Link

WhatsApp ඔස්සේ හුවමාරු වූ ඉහත පණිවිඩය සත්‍ය ඩයක් ද එහි වෛද්‍යවරයාගේ නම සඳහන් වූවාද එම නම සඳහන් කර ඇත්තේ සත්‍ය වශයෙන්ම අත්අඩංගුවට පත් වෛද්‍යවරයාගේ නමද යන්නත් හිරු කෙටි පුවත් සේවාවෙන් මෙලෙස පණිවිඩයක් නිකුත් කරාද යනාදී කරුණු පිළිබඳව අප විමර්ශනය කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී ඇති වෛද්‍යවරයා පිළිබඳව පළ වූ පුවත් සම්බන්ධයෙන් අවධානය යොමු කළා. ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු පුවත් වල මෙම අතවරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කවුරුන් ද යන වග සඳහන් කර තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු යාවත්කාලීන කරමින් පවසා සිටියේ කොළඹට ආසන්න රෝහලක සේවය කරන හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී පසුගිය ජූලි 5 වන දා අලුයම අත්අඩංගුවට පත් වූ බවයි. එම වීඩියෝව පහතින්.

එම අවස්ථාවේදී ද එම වෛද්‍යවරයාගේ නම මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි නොකරනු ලබයි. 

15 හැවිරිදි බාලවයස්කාර දැරිය ලිංගික අපයෝජනය සඳහා මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම වෛද්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු බවත් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවටත් පුවත් වාර්තා වල දැක්වුණේ මෙලෙසින්.

එම වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දර්ශන Newday TV නම් ෆේස්බුක් පිටුවේ 15 හැවිරිදි දැරිය දූෂණ කළැයි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා රිමාන්ඩ්. යනුවෙන් පළ කර තිබුණේ මෙලෙසින්.

අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලයට අයත් මෙම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ කොතලාවල ආරක්ෂක රෝහලේ සේවය කරන බවට Hiru News නිල ෆේස්බුක් පිටුවේ පළ වූයේ මෙලෙසිනි.

ඒ අනුව අත්අඩංගුවට පත් වෛද්‍යවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ බවට තහවුරු වේ.

WhatsApp ඔස්සේ හුවමාරු වූ ඉහත පණිවිඩයේ සඳහන් කර ඇති හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න බැවින් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගෙන් මේ පිළිබඳව විමසා සිටියා. අධ්‍යක්ෂවරිය අපට සඳහන් කළේ, වෛද්‍ය වජිර සේනාරත්න මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී සිටින වෛද්‍යවරයා නොවන අතර එම පුවත අසත්‍ය පුවතක් බවයි.

වෛද්‍ය වජිර සේනාරත්න මහතාගෙන් ද දුරකතන මාර්ගය ඔස්සේ කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ තමන්ගේ නම සඳහන් කරමින් හිරු කෙටි පුවත් සේවය මගින් නිකුත් කළ බවට හැඟවෙන පණිවිඩයක් හුවමාරු වන බවට තමන්ටද දැනගන්නට ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් තමන්ද පැමිණිලි කර ඇති අතර මේ සිදුවීමට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බවයි.

වසර 20 කට වැඩි කාලයක් ජාතික රෝහලේ සේවයේ යෙදී මීට වසර ගණනාවකට පෙර විශ්‍රාම ගොස් දැනට පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය සපයන ක්ෂේත්‍රයේ නමක් දරන වෛද්‍යවරයෙකි. එතුමා හෘදයාබාධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලිපියක් මෙතනින්. අධි රුධිර පීඩනය පිලිබඳ දැක්වූ අදහස් සහිත වීඩියෝවක් මෙතනින්

එමෙන්ම හිරු කෙටිපුවත් සේවය මගින් නිකුත් කළ සත්‍ය පණිවිඩයේ වෛද්‍යවරයෙකු නම සඳහන් නොවුනු අයුරියි මේ. 

Archived Link

WhatsApp ඔස්සේ සංසරණය වූ හිරු කෙටිපුවත් සේවය මගින් නිකුත් කළ බවට හඟවා තිබූ පණිවිඩයේ සහ සත්‍ය පණිවුඩයේ සංසදනය පහතින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන වලින් පෙන්වා දිය හැක්කේ හිරු TV කෙටිපුවත් සේවය මගින් නිකුත් කළ පණිවිඩයක් බවට හඟවමින් WhatsApp ඔස්සේ සංසරණය වූ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සිද්ධියට, හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න සම්බන්ධ බවට සඳහන් කළ WhatsApp පණිවිඩය ව්‍යාජ පණිවුඩයක් බවයි. 

එම සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න සම්බන්ධ නොමැති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියද තහවුරු කළ අතර හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා ද මෙවැනි ව්‍යාජ පුවත් පළකිරීමට එරෙහිව නීතමය පියවර ගන්නා බව අපට පවසා සිටියා. එමෙන්ම හිරු TV කෙටිපුවත් සේවාව මගින්ද වෛද්‍ය වජිර සේනාරත්නගේ නම සඳහන් කර නොමැති අතර වෛද්‍යවරාගේ නම ඇතුළත් කරමින් සංස්කරණය කර පණිවිඩයක් මෙලෙස WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණා.

Avatar

Title:දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

Fact Check By: Sara Gunaratne 

Result: False


Leave a Reply