සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළ බවට පවසමින් නොමග යන සුළු සටහනක්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කළ කොන්ත්‍රාන්තුව ප්‍රතික්ෂේප කරමින් වැටුප් වැඩි කරන ලෙසට ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි සත්‍යතාව පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජයසුරිය පඩි මදි කියයියනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. 

එම සටහනේ වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා පුහුණු  කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..

ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකට් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකට් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ…

මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වැටුප් දෙකම ලබා දුන් විට මසකට, ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි.. එබැවින් තව දුරටත්  15000$ මාසික වේතනය පිලිබද  නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ඉල්ලා ඇත්තේ..

කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමින් බවයි.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශිලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්

මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි මසකට අවමය රුපියල් ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

මෙම සටහන් වල සඳහන් කර තිබුණේ,  සනත් ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුට ඉදිරිපත් කෙරූ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර ඇති බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නිත්‍ය පුහුණුකරුවා වූ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ගිවිසුම් කාලයෙන් නික්මයෑමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වසර එක හමාරක කාලයක් සඳහා සනත් ජයසූරිය මහතා පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව 2024 ඔක්තෝබර් 01 වන දා සිට ක්‍රියාත්මක වන මෙම පත් කිරීම 2026 මාර්තු මස 31 වැනිදා දක්වා බලපැවැත් වෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් වී තිබුණේ.  එසේ කල් තිබියදී නැවත කොන්ත්‍රාන්තුව අලුත් කිරීමට මේ දිනවල පියවර ගෙන තිබුණේ ද, යන්න පිළිබඳ ගැටලුවක් මතුවේ.

තව ද, මෙම තනතුර භාර ගැනීමත් සමඟ සනත් ජයසූරිය මහතා එතෙක් කාලයක් දරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරෙන් ඔහු ඉවත්වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය විසින් එවකට මාධ්‍ය දැන්වීමක් ද, පළ කර තිබෙනු අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා. එම නිවේදනය මෙතනින්. | Archived Link

නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහනට අනුව උපදේශක තනතුරට ද, ජයසූරිය මහතාට ලක්ෂ 50 පමණ මුදලක් මාසික වේතනයක් මෙතෙක් කල් ගෙවන බවට ද, එම වේතනය සමගින් ඔහු ඉල්ලා ඇති වැටුප ද, දක්වමින් මසකට කෝටියක පමණ මුදලක් ඔහුට ක්‍රිකට් ආයතනය ගෙවන බවට දක්වා තිබුණා. 

මේ හේතුවෙන් අප මේ පිළිබඳව විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සනත් ජයසූරිය මහතා දුරකතන සම්බන්ධ කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් අප විමසා සිටියේ, සනත් ජයසූරිය මහතා සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැටුප් අර්බුදය සත්‍යයක් ද, යන්නයි.

ඒ මහතා පැවසුවේ, එම සටහන් වල දැක්වෙන කරුණු අසත්‍ය කටකතා බවයි. සනත් ජයසූරිය මහතාගේ කොන්ත්‍රාත්තුව අවසන් වීම සිදු වන්නේ, ලබන වසරේ බැවින් ක්‍රිකට් ආයතනය මගින් නව කොන්ත්‍රාත්තුවක් මේ වන විට ඉදිරිපත් කළ බවට පළවන තොරතුරු සමාජ මාධ්‍ය සටහන් වල පළ වෙන්නේ කිසිදු තහවුරු කිරීමක් සිදු නොකරගෙන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දන්වන තොරතුරු හැර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීම භාර නොගන්නා බව ත් ඔහු පෙන්වා දෙනවා.

සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අප කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු අසත්‍ය බවත්. තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවත්වා නොමැති බවයි. එමෙන් ම තමන් වැටුප් දෙකක් ද, නොලබන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශන තනතුරක් නොමැති බව ත්, ඒ මහතා පෙන්වා දුන්නා. එමෙන් ම තමා සම්බන්ධ අසත්‍ය තොරතුරු රැගත් කටකතා වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන අතර ඒ පිළිබඳ තමන් නීතය මගින් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

තමන් සම්බන්ධයෙන් පැතිරෙන කට කතා පිළිබඳ ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේද , සඳහන් කර තිබු‍ණේ මෙලෙසින්.

Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළ බවට පවසමින් නොමග යන සුළු සටහනක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply