ගෝඨාභය රාජපක්ෂ පැවිදි දිවියට අතුළුවීමේ තීරණයක්?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

නොයෙකුත් කාල වලදි දේශපාලනික වාසි තකා හෝ වෙනත් අරමුණු තකා ගිලිහී යන කාරණා නැවත මතකය ආවර්ජනය කිරීමට දේශපාලන චරිත පිළිබඳ අසත්‍ය තොරතුරු විටින් විට සමාජ ගත කරනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි වීමට සැලසුම් කරමින් සිටින බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ, ඔහු බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් කාලය ගත කරන බව ත්, භාවනාවේ කාලය ගත කරන බවත්, බාහිර පුද්ගලයින් සමඟ ඇති සම්බන්ධතා හැකිතාක් අවම කර ඇති බවට වාර්තා කර ඇති බවයි.

Facebook | Archived Link Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි දිවියට ඇතුළු වීමට සැරසෙන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පුවතක් පළ වී නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

ඔහු එවැනි තීරණයක් ගෙන ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වැඩසටහනක හෝ ප්‍රකාශ කර ඇත්ද යන්න පරීක්ෂා කළ ත්, ඒ මහතා විසින් එවැනි ප්‍රකාශයක් කර නොතිබුණි. එමෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වල මෙන් ම ඔහුගේ ඥාතීන් වන දේශපාලනයේ නියැලෙන ප්‍රබලයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ වෙනත් කිසිදු ස්ථානයක ප්‍රකාශයක් කර නොමැති බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු විය. මෙම වාර්තාව සකසන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම අවසන් වරට යාවත් කාලීන කර තිබුණේ, 2025 වසරේ ඔක්තෝම්බර් 14 වන දින ත්, X ගිණුම 2020 සිට යාවත්කාලීන කර නොමැති බව ත්, දැක ගන්නට ලැ‍බුනේ මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේ නමුත් පසුගිය ජනවාරි 26 වන දා ඉන්දීය ජනරජ දිනය සැමරීම හේතුවෙන් කොලඹදී පැවති පිළිගැනීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, ජවිපෙ නායකයින් වන ටිල්වින් සිල්වා සහ නලින්ද ජයතිස්ස සමඟ අසුන්ගෙන සිටි අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ ද, උත්සවයේ ඡායාරූප පළ කර තිබූ අතර එම ඡායාරූප අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දැක ගැනීමට හැකි වේ.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා බාහිර පුද්ගලයින් සමඟ ඇති සම්බන්ධතා හැකිතාක් අවම කර ඇත්නම් එවැනි උත්සව සඳහා සහභාගි වීමෙන් වැළකිය යුතුව තිබුණත් ඔහු මෑතක පැවති උත්සව අවස්ථාවන්ට සහභාගී වන බව දැක ගන්නට ලැබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය අංශය

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි දිවියට ඇතුළු වීමේ තීරණයකින් පසුවනවා ද, යන්න පිළිබඳ අප ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය අංශයේ සම්බන්ධීකාරක වරයෙකුගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.

කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් කාලය ගත කරන බව සත්‍ය නමුත්, බුදුන් වැඳිම ඔහුගේ දෛනික කාර්යයක් වන අතර එය විශේෂයෙන් හුදකලාව භාවනා කරමින් පැවිදි වීමට යාමේ තීරණයක් නොවන බව ත් සඳහන් කළා.

එමෙන් ම මීට පෙර ඇතැම් බෞද්ධ ආගමික නායකයන් බුදුදහමට අදාළ පොත්පත් තිළිණ කර ඇති බැවින් ඔහු මේ වන විට විවේක සුවයෙන් පසුවන බැවින් ද, ඔහු කියවන පොත්පත් සමඟ බුදුදහමට අදාළ  පොත්පත් කියවීමේ පුරුද්දක් ඔහුට ඇති බව ත්, එවැනි කාරණා හේතුවෙන් මෙලෙසින් නොමග යන අන්දමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි වීමට සැලසුම් කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. එය හුදෙක් ගොසිප් අඩවි වල මෙන් ම තහවුරු නොවූ තොරතුරු මත පදනම්ව පළ කර ඇති සටහන් බව ත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පැවිදි වන බවට පළ වන කටකතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ඔහුගේ හිටපු මාධ්‍ය අංශයේ සාමාජිකයෙක් තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:ගෝඨාභය රාජපක්ෂ පැවිදි දිවියට අතුළුවීමේ තීරණයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *