රාජ්‍ය සේවකයින්ට රු. 5000ක දීමනාව ඔක්තෝබර් වැටුපට එකතු වී නැත්තේ ඇයි?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.


යම් පුද්ගලයෙක් තමා විසින් සිදුකරන රාජකාරි සඳහා ලබන ප්‍රධානතම ඇගයීම ඒ සඳහා නියමිත වැටුපක් ලැබීමයි. ඒ අනුව රාජ්‍ය සේවයේ මෙන් ම පෞද්ගලික අංශයේ ස්ථීර, තාවකාලික, කොන්ත්‍රාත් සහ දෛනික පදනම මත සේවය කරනු ලබන සේවකයන් සඳහා ආයතන සංග්‍රහය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිදාන පරිදි වැටුප් පරිමාණ නියම වීම සහ එම වැටුප් ලබාදීම සිදුවනවා.

බොහෝ සේවකයන් වැටුප් සකස් කිරීමේ ක්‍රියාවලිය, ඊට අදාළ නෛතික විදි විධාන, චක්‍රලේඛ උපදෙස් පිළිබඳ දැනුවත්බාවය අඩුයි. එසේත් නොමැතිනම් වැරදි තොරතුරු මත තම වැටුප් ලැබීම් ගැන වැරදි මත වල එළඹ සිටිනවා. මේ දිනවල බොහෝ රාජ්‍ය සේවකයන් තමන්ගේ වැටුපට ලැබීමට නියමිත හිඟ රුපියල් 5000 දීමනාව මේ මස නොලැබුණු බවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ සටහන් හුවමාරු කරගන්නා ආකාරය අපට දැකගත හැකි වුණා. එබැවින් ඒ පිළීබඳ සොයා බැලීමක් සිදුකිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Post):

මේ දිනවල රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාවේ මේ මස ලැබීමට නියමිත හිඟ රුපියල් 5000ක මුදල නොලැබුණු බව දක්වමින් චෝදනාත්මක ස්වරූපයේ සමාජ මාධ්‍යය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්. මෙම හිඟ මුදල් ලබානොදීම නිස රුපියල් 90, 000ක් රාජ්‍ය සේවකයන්ට පාඩුවුණේ යැයි ද ඇතැම් සටහන්වල දැක්වෙනවා.

FB| Archive

මෙම හිඟ මුදල් මේ මස සිට නොලැබුණු බවට සඳහන් කරමින් තවත් සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්

 Youtube ඔස්සේ ද මේ පිළිබඳව වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්,

ඇත්තටම රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු ජීවන වියදම් දීමනාවේ හිඟ මුදල් ලබාදීම මෙම මාසයේ සිදුවී නොතිබුණේ ද? අප මේ පිළිබඳව විමසා බැලුවා.

Fact Check (කරුණු විමසා බැලීම) :

රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාවේ හිඟ රුපියල් 5000ක මුදල මෙම මාසයේ ලබා නොදීමක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේ ද යන්න අප සොයා බැලුවා. නමුත් ප්‍රධාන මාධ්‍ය හෝ වෙනත් වෙබ් අඩවියක එලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදමේ හිඟ මුදල් මෙම මාසයේ සිට ලබා නොදීමක් පිළිබඳව වාර්තා කිරීමක් දැකගත නොහැකි විය.

මොකද්ද මේ හිඟ රුපියල් 5000?

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කළ යුතු බවට, රාජ්‍ය සේවයේ වැන්දඹු / වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට ජීවන වියදම් දීමනාව සහ අයකර ගැනීමේ දායක මුදල් සංශෝධනය කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් 2024/01/10 වන දින නිකුත් කරනු ලැබුවා.

එම චක්‍රලේඛයට අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතුවනවා. එමෙන් ම අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වනවා.

2024 අයවැය යෝජනාවලට අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ.

මෙම ජිවින වියදම් දීමනාව ආධුනික හා පුහුණුලාභීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, අනියම් දෛනික වැටුප් ලබන සේවකයින් සඳහා සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වලංගු බව ද එහි සඳහන් වනවා.

රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාවේ හිඟ මුදල් ලබන වසරේ සිට ලබාදෙන බව රාජ්‍ය සේවකයන් දැනුවත් ද ?

2024 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ටරු. 10,000කින් වැඩි වූ ජීවන වියදම් දීමනාවේ ජනවාරි සිට මාර්තු දක්වා හිමි වූයේ රු 5000ක් බැගින් ය. අප්‍රේල් සිට රු.10,000 බැගින් නියමිත පරිදි ජීවන වියදම් දීමනාව වැඩි වීම සිදුවිය. නමුත් 2024 ජනවාරි සිට මාර්තු දක්වා වැඩි වූයේ 5000ක් පමණක් නිසාවෙන් ලැබීමට නියමිත රු. 15,000ක මුදල 2024 වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස තුළ 5000 බැගින් ලැබෙනු ඇති බවට රාජ්‍ය සේවකයන් උපකල්පනය කර තිබුණේ. අප රාජ්‍ය සේවකයන්ගෙන් විමසීමක් කළ අතර බොහෝ දෙනා උපකල්පනය කර තිබුණේ, මෙම හිඟ මුදල් ඔක්තෝම්බර් මාසයේ සිට ඔවුන්ට ලැබෙනු ඇති බවයි.

ඔවුන් මෙම හිඟ මුදල් ඔක්තෝම්බර් මස සිට ලැබෙනු ඇතැයි උපකල්පනය කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී 2023.11.13 දින අය වැය කියවීමේදී සිදුකළ ප්‍රකාශයක් නිසාවෙනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, මෙම ජීවන වියදම රු. 10,000කින් වැඩි කිරීමේදී 2024 ජනවාරි, පෙබරවරි සහ මාර්තු යන මාස වල 5000 බැගින් ලබාදී අප්‍රේල් සිට 10,000ක සම්පූර්ණ දීමනා වැඩිකිරීම සිදුකරන බවයි. එලෙස කිරීමට සිදුවන්නේ, මහ භාණ්ඩාගාරයට මුදල් ලැබීමට ආරම්භ වන්නේ පෙබාවාරි, මාර්තු වනවිට නිසාවෙනි. එබැවින් මුල් මාස තුනේ හිඟ මුදල් ඔක්තෝම්බර් සිට වාරික වශයෙන් ගෙවන බව ඔහු පවසා තිබුණා.

නමුත් 2024/ 1/10 දින රාජ්‍ය පරිපාලන ස්වදේශී කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේකඛනයේ පැහැදිලිව ම දැක්වෙන්නේ එම හිඟ මුදල් 2025 වර්ශයේ ජනවාරි සිට මාර්තු දක්වා ලබාදෙන බවයි.

මෙම දැනුවත්බාවය අඩු නිසාවෙන් බොහෝ රාජ්‍ය සේවකයන් මෙම හිඟ දීමනාව පිළිබඳ වැරදි වැටහීමක සිටිනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශී කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය

අප තවදුරටත් මේ බව තහවුරු කර ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශී කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්. ඒ. සී. කුමාරසිංහ මහතාගෙන් විමසීමක් කළා. එම මහතා පවසා සිටියේ සියලු වැටුප් වලට අදාළ දීමනා අමාත්‍යංශය මඟින් නිකුත් කරන චක්‍රලෙඛනයන් අනුකූලව සිදුකරනු ලබන බවයි. ඒ අනුව මෙම හිඟ දීමනා ලබාදීම ද ඒ අයුරින් ම සිදුවන බවයි එම මහතා සඳහන් කළේ. එමෙන් ම රු.90,000ක පාඩුවක් රාජ්‍ය සේවකයන්ට සිදුවීමට ඉඩක් නොමැති බවයි එම මහතා පැවසුවේ.

තව ද රාජ්‍ය සේවකයන් සඳහා සියයට 24 සිට සියයට 50ට වැඩි ආකර්ෂණීය වැටුප් වර්ධකයක් ලබන 2025 වසරේ සිට ලබාදීමට රජය පියවර ගන්නා බව හිටපු ජනාධිපති රනි වික්‍රමසිංහ පවසනු ලැබුවා. ඒ සඳහා සොයා බැලීමට උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත් කරනු ලැබුවා. නමුත් ලබන වසරේ එම වැටුප් වැඩි කිරීමට මුදල් තිබෙනවා ද? ඒ සඳහා මහා භාණ්ඩාගාරය එකඟ ද යන්න විමසා බලා සිදුකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා 2024.10.15 දින කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී පැවසුවේ මෙලෙසින්. (1.59 – 2.47)

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අවම සේවක වැටුප් වැඩි කිරීමක් සිදු සිදු වූ අතර එම වැටුප් වැඩි වීම ද නිසි පරිදි ඇතැම් ආයතන විසින් සිදු නොකළ බව අපට දැනගත හැකි වුණා. එම නිසා ඒ පිළිබඳවත් අප සොයා බැලීමක් සිදු කළා.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනයත් තවම වැඩි වුණේ නැද්ද ?

2016 අංක 3 දරණ සේවකන්ගේ ජාතික අවම වේතනය පනතේ සංශෝධන කෙටුම්පත 2024/09/03 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම පනත් සංශෝධනයත් සමඟින් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා 2024 සැප්තැම්බර් මාසයේ සිට ජාතික මාසික අවම වේතනය වශයෙන් රු. 17,500ක් සමඟ 2005 අංක 6 දරණ අය වැය සහන දීමනා මඟින් ගෙවිය යුතු රු. 3500ක අයවැය සහන දීමනා ද ඇතුළුව රු. 21,000ක අවම වේතනයක් සැප්තැම්බර් මාසයේ සිට ලැබිය යුතු වනවා.

ඒ අනුව මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදුනොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. එලෙස වැඩිවන 17,500ක අවම වැටුපට සහන දීමනා 3500 ද එක් වීමෙන් සම්පූර්ණ අවම වැටුප රු.21,000ක් වනවා.

නමුත් බොහෝ සේවකයන් මෙන් ම සේවාදායකන් ද මේ පිළීබඳ දැනුවත්බාවය අඩු බව පෙනී යනවා. ඒ නිසා ම ඇතැම් විට සේවකයන්ට ලැබිය යුතු ජාතික අවම මාසික වේතනය නොලැබී යනවා. ඇතැම් සේවාදායකයන් සිතා මතා ම මෙම අවම මාසික වේතනය පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබානොදීමට ද කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

ජාතික අවම මාසික වේතන කියන්නේ මොකක් ද?

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් ‍පෞද්ගලික අංශයේ සේවයේ නියුක්තව සිටිනවා. අප රටේ සේවකයන්ගේ වැටුප්, සේවා කොන්දේසි, හා සේවා තත්වයන් සැකසී තිබෙන්නේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් වරින් වර ඇතිකර ගන්නා ලද ප්‍රමිතීන් පදනම් කරගෙනයි. පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මෙම සේවකයින්ගේ වැටුප් තීරණය වන ප්‍රධාන නෛතික රාමු 3ක් පවතිනවා. එනම්,

  1. සේවයට බැඳෙන අවස්ථාවේ සේවායෝජක හා එම සේවකයා ඇති කර ගන්නා සේවා ගිවිසුමේ වැටුප් පිළිබඳ සඳහන් කොන්දේසි මඟින්
  2. සාමූහික ගිවිසුම් වල සඳහන් කොන්දේසි මඟින්
  3. ව්‍යවස්ථාපිත නීතිය මඟින්, උදා – පඩි පාලක සභා ආඥා පනත, අයවැය සහන දීමනා පනත් හා 2016 ජාතික අවම වේතනය පනත

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඇති මෙම නෛතික රාමු අතර 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනත වැදගත් වනවා. බොහෝවිට රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි නොවන බවට බොහෝ වෘත්තිය සමිති මගින් චෝදනා කරනවා.

රජය පෞද්ගලික අංශයේ සේවායෝජකයන් ගෙන් සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් වැටුප් වැඩි කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් තමයි රජය විසින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනත හඳුන්වා දී ඇත්තේ.

ඒ අනුව මෙම පනත මගින් පඩිපාලක සභා , සාප්පු හා කාර්යාල පනතින් ආවරණය වන සේවකයින් ඇතුළු පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට මෙලෙස පොදුවේ අවම වැටුපක් හඳුන්වාදීම විශේෂිතයි.

අංක 100 දරන සමාන වේතන සම්මුතියඅංක 95 දරන වේතන ආරක්ෂා කිරීමේ සම්මුතියඅංක 99 දරන අවම වේතන යන්ත්‍ර සවි කිරීමේ ( කෘෂිකර්ම) සම්මුතියඅංක 131 දරන අවම වේතන සවිකිරීමේ සම්මුතිය යන ජාත්‍යන්තර සම්මුතින් කීපයක් පදනම් කර ගනිමින් මෙම ජාතික අවම මාසික වේතන පනත සකස් කර තිබෙනවා. සමාන රැකියාවට සමාන වැටුප් සහ සාධාරණ සහ හිතකර වේතනයක් ලැබිය යුතු බව මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මගින් ද පිළිගෙන තිබෙනවා.

නමුත් රටේ ආර්ථිකයේ සිදුවන ඉහල පහල යෑම් වලට සමානුපාතිකව අවම වැටුප් ප්‍රමාණය නිර්ණය කෙරෙන යාන්ත්‍රණයක් හඳුන්වා නොදීම සහ අපේ රටේ ගෘහ සේවකයන් සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනයක ලියාපදිංචි සේවකයන් ආවරණය නොවීම මෙම පනතේ දුර්වලතාවයන් ය. එබැවින් පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවන වියදම් ඉහළ යාමේදී වැටුප් වැඩි නොවීම ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම සේවක වැටුප වැඩි නොකළොත් ඒ සඳහා ගත හැකි පියවර මොනවා ද ?

කෙසේ වෙතත් මෙම වසරේ දී 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය වුවත් සැප්තැම්බර් මස සිට ලැබිය යුතුවන එම අවම වැටුපවත් සේවකයන් සඳහා ලබාදී නොමැති බව අපට වාර්තා වුණා. එබැවින් අප ඒ පිළීබඳව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී එම අමාත්‍යාංශයෙන් පැවසුවේ පනතේ බලධාරියා වන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වන බවයි. යම්කිසි සේවායෝජකයකු සේවකයකුගේ අවම වේතනය ගෙවීම පැහැර හරින විට ද දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අදාල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමේ හැකියාව පවතින බව ඔවුන් අප වෙත පැවසුවා.

එහිදී අදාළ වැටුප් ගෙවා නොමැති බව නිර්‍රික්ෂණය වුවහොත් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ සේවා යෝජකයාට දැන්වීමකින් වැටුප් ප්‍රමාණය නිශ්චිත කාලයක් තුළ ගෙවීමට නියම කරන අතර එය එසේ සිදු නොවුණහොත් සේවායෝජකයාට විරුද්ධව දඩ මුදලක් සහ මාස හයක කාලයකට බන්ධනාගාර ගත කිරීමේ හැකියාව පවතිනවා 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනතේ ඒ බව වැඩිදුටත් දැක්වෙන්නේ මේ අයුරින්,

Conclusion (නිගමනය):

මෙම විමර්ශනයෙන් පැහැදිලි වනුයේ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ට ලැබිය යුතු ජීවන වියදම් දීමනාවේ හිඟ මුදල 2025 ජනවාරි සිට වාරික වශයෙන් ලැබෙන බවයි. එම හිඟ මුදල් ඔක්තෝම්බර් මාසයේ සිට ලැබෙන බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවයි. එමෙන් ම පෞද්ගලික අංශයේ සේවකයන ද සිය අවම මාසික වේතනය නිසි පරිදී නොලැබෙන්නේ නම් ඒ සඳහා පියවර ගත හැකි බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok


Leave a Reply

Your email address will not be published. Required fields are marked *