දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපති අපේක්ෂකයින් විසින් පසුගිය සමයේ පැවැත් වූ මහජන රැලි ඔස්සේ වූ සිදුවීම් අළලා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වනවා. මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“අනුරට එල්ල වූ මැර ප්‍රහාරයක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

එම වීඩියෝවේ යම්කිසි අවස්ථාවක කලබලකාරී තත්ත්වයක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.අනුරට. සමන්තුරේදී එල්ල වූ බව කියන මැර ප්‍රහාරයේ ඇත්ත කතාව!

Facebook

“අනුරට මැර ප්‍රහාරයක්” ලෙසින් සඳහන් වූ ඇතැම් Youtube වීඩියෝ ද, අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන් ම එම වීඩියෝව එම පක්ෂයේ පිටපතකට අනුව වූ රඟපෑමක් බව ත් ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් කර තිබුණේ මේ අයුරින්.


Facebook

මෙහි සත්‍ය කරුණු සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට මැර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළ යුතුව ඇති බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා පරික්ෂා කරනු ලැබුවා.

මෑතකදී මෙවැනි ප්‍රහාරයක් අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

ඉහත වීඩියෝව කුමන අවස්ථාවක වීඩියෝවක් ද, යන්න පරීක්ෂා කිරීමේදී, එම වීඩියෝවේ පසුබිම් අවස්ථාවට සමානව තිබූ අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ පසුගිය සැප්තැම්බර් 13 වන දා සමන්තුරේ විජයග්‍රාහී රැලිය බවට දැක ගන්නට ලැබුණි. එම ඡායාරූප ගොනුව මෙතනින්.

එහෙත් මෙම අවස්ථාවේ සජීවි වීඩියෝ අපට දැක ගන්නට නොලැබුණු හෙයින් ඉහත ‘අනුරට එල්ල වූ මැර ප්‍රහාරය’ යන තේමාවෙන් පළ වූ වීඩියෝ වෙත අපගේ අවධානය යොමු කළා.

මෙහිදී දිසානායක මහතා විසින් සිය කතාව කරගෙන යන අතර තුර එම අවස්ථාවේ වේදිකාවේ ඔහුගේ කතාව දමිළ බසින් පරිවර්තනය කරමින් සිටින පුද්ගලයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් බවට සැලකිය හැකි පුද්ගලයින් ඔහුව වටකර ගනු ලබන අතර කතාව විනාඩි කිහිපයකට නවතිනවා. නමුත් කිසිදු අවස්ථාවක ඔහු වෙතට ගල්මුල් ප්‍රහාරයක් හෝ එල්ල වනවා දක්නට නොලැබේ.

ඉන් පසුව රැස්වීමට පැමිණි පිරිස විසින් ද, එලෙස කතාව නැවැත්වීමට හේතුව විමසන අතර කතාව දිගටම කර ගෙන යන ලෙස පවසනවා. ඒ සමගින් ‘කවුරුත් මුකුත් කරන්න එපා’ යනුවෙන් රැස්ව සිටින්නන් අතරින් කතා බහක් ඇසෙන අතර, ‘චොපර් එක බලනවා’ යනුවෙන් පවසනවාත් සමගින් ඔවුන් සියලු දෙනාම ඉහළ අහස දෙස බලනු ලබයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ වේදිකාවේ සිටි පුද්ගලයෙකු විසින් (සිංහල-දමිළ බසට පරිවර්තනය කළ පුද්ගලයා විය හැකියි) දමිළ බසින් රැස්ව සිටි ජනතාවට සඳහන් කරන්නේ, කලබල වෙන්න එපා, නිශ්ශබ්ද ව ආරක්ෂක වැඩපිළිවෙළට සහය දක්වන ලෙසයි. ඉන් අනතුරුව අත්පොළසන් හඬ මධ්‍යයේ අනුර කුමාර නැවත සිය කතාව කර ගෙන යනු ලබනවා.

ඉහත සඳහන් අයුරින් මැර ප්‍රහාරයක් දියත් වනවා නම්, ආරක්ෂක අංශ විසින් එම ස්ථානයෙන් දිසානායක මහතා ඉවත් කළ යුතුව තිබුණත්, ඔහු සිය කතාව දිගටම පවත් වා තිබුණා. ඒ හෙයින් එම අවස්ථාවේ එවන් ප්‍රහාරයක් ඔහුට එල්ල වූ බවට පැවසෙන්නේ අසත්‍යයක් බවට පෙන්වා දිය හැක. එම වීඩියෝව මෙතනින්.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද, එම රැස්වීමේ සිටි බව ක් මෙලෙසින් දැක ගන්නට ලැබේ.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා සමන්තුරේ පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, එම රැලියේදී කිසිදු මැර ප්‍රහාරයක් අනුර කුමාර මහතා වෙතට හෝ රැලියට හෝ එල්ල නොවූ බවයි. එම ප්‍රදේශයේ ළමුන් විසින් සුරතලේට ඇති කරන පරවියන්ගේ කකුලේ LED බල්බ එල්ලා ඇති බව ත්, ඔවුන් රාත්‍රියේ පියාසර කරන අවස්ථාවකදී එළියක් සමගින් ඉහළ අහසේ දිස් වූ බැවින් එය ප්‍රථමයෙන් ම සත්ත්වයින්ගෙන් දිස්වන එළියක් බවට හඳුනා නොගත් හෙයින් දිසානායක මහතාගේ ආරක්ෂාව තර කොට එය කුමක් ද යන්න පිළිබඳ නිශ්චය කර ගැනීමට එම අවස්ථාවේ දිසානායක මහතාගේ කතාව නැවැත් වූ බව ත් සඳහන් කළා.

මේ පිළිබඳ අප සමන්තුරේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගෙන් ද, විමසූ අතර ඔහු ද, ඒ තොරතුර සනාථ කරනු ලැබුවා.

එමෙන් ම ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, මේ පිළිබඳ තහවුරු කළ අතර, කිසිදු මැර ප්‍රහාරයක් එම අවස්ථාවේ දිසානායක මහතාට එල්ල නොවූ බවට පැවසූවා.

එහෙයින් මෙම අවස්ථාව අනුර කුමාර දිසානායකට මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක් නොවන බව ත්, පිටපතක් අනුව සිදු වූ රඟපෑමක් ද, නොවන බවට තහවුරු කළ හැක.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Claim Review :   අනුරට. සමන්තුරේදී එල්ල වූ බව කියන මැර ප්‍රහාරයේ ඇත්ත කතාව!
Claimed By :  Social Media User
Fact Check :  FALSE