කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම පිණිස සෞඛ්‍ය අංශයේ මහත්ම මහත්මීන් සමග කරට කර පෙරමුණේ සිටින්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායයි. හමුදාපති තනතුරේ මෙන්ම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ද නායකත්වය දෙමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරයි. බෙදුම්වාදී ඊළාම් යුද්ධයේද දස්කම් පෑ රණකාමි පරිණත නිලධාරියකු මෙසේ කොරෝනා මර්දන සටනේද ලබාදෙන දායකත්වය සහ නායකත්වය හේතුකොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට සහ ප්‍රසාදයට පත්ව ඇත.

මෙවන් පසුබිමක මහින්ද සහ ගෝඨාභය යුද හමුදාපති ශවේන්ද්‍ර කැඳවා කැත භාෂාවෙන් බැන වැදිලා..! ශවේන්ද්‍ර දැඩි කලකිරීමෙන්..! සිරස්තලයෙන්, දීර්ඝ කථාංගයක් සහිතව, Lankaenews ෆේස්බුක් පිටුව හරහා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. එම බන වැදීමට මුලික වූ හේතුව ලෙස දක්වා තිබුනේ “පසුගිය 18 දා සිරස නාලිකාවේ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී ශවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශයක් සහ ඔහු විසින් පක්ෂ නායක හමුවේ දී කළ ප්‍රකාශයක් රාජපක්ෂලාගේ වියරුවට හේතු වී තිබේ” යන්නයි. කෙටි කාලයකදී ප්‍රතිචාර 700ට අධික සංඛ්‍යාවක් සහිතව ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1600ක් අතර මෙම සටහන හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි..

LinkArchived Link

මෙම මුල් සටහන හේතුකොටගෙන වෙනත් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක්ද මෙවැනි සටහන් මෙසේ හුවමාරු කරගෙන තිබෙනු දැකක්ගන්නට ලැබුණි.

මෙම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාර නොකරන ලෙස යෝජනා කර තිබුණු බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුදාපතිතුමාට බැනවැදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රවෘත්තියක් ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන් ගෙන් හෝ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් වාර්තා නොවීම නිසා, මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස ජනාධිපති මාධ්‍ය අංශය සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා යුද හමුදාපතිතුමා කැඳවා ඔහුට බැන වැදුණු බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව ඔවුන් අවධාරණය කර සිටියා

තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තම රාජකාරිය නියමිත ලෙස ඉටුකරන නිලධාරියකු වශයෙන් කිසිම දිනෙක බැනුම් ඇසීමට කටයුතු නොකරන ලෙස රාජකාරිය කරන බවත්, දිනකට ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුම් පහකට වැඩියෙන් ලැබෙන බවත්, එතුමා හෝ අගමැති තුමා කිසිදු විටෙක තමාට බැන නොවැදුණු බවත්, දැඩි ලෙස අවධාරනය කළ හමුදාපතිතුමා, මෙම සටහන ආරම්භ වී ඇති Lankaenews වෙබ් අඩවිය පසුගිය වසර දහයක පමණ කාලය තුළම තමාව දිගින් දිගටම විවේචනය කළ බවත් පවසා සිටි අතර , ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තමන්ව කැඳවා කිසිදු විටෙක බැණ නොවැදුනු බව නැවත වරක් අවධාරණය කළේය.

සිරස නාලිකාවේ අප්‍රේල් 18 වෙනිදා රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී යුද හමුදාපතිතුමාගේ ප්‍රකාශයක් පිළිබඳව ඉහත සටහනේ සඳහන් වී තිබූ බැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කළ අතර එහිදී මාධ්‍යවේදියා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිතුමා පවසා තිබුණේ මැයි මස එකොළොස් වන දින පාසල් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබුණ ද එම තීරණය දැනට පවතින තත්ත්වය අනුව වෙනස් වීමේ ඉඩකඩක් තිබිය හැකි බවයි

https://youtu.be/ImXUp2LmHMA?t=332

එසේම මාර්තු 19 සිට අද දින වන තෙක්ම මාධ්‍ය සාකච්ඡා සහ වැඩසටහන් රැසකට යුද හමුදාපතිතුමා තමන්ගේ දායකත්වය ලබාදෙමින් කොරෝනා මර්දන ව්‍යාපෘතියට තවදුරටත් නායකත්වය ලබා දෙමින් මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන බව ද අපට දැක ගන්නට ලැබුණා

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහින්ද සහ ගෝඨාභය යුද හමුදාපති ශවේන්ද්‍ර කැඳවා කැත භාෂාවෙන් බැන වැදිලා..! ශවේන්ද්‍ර දැඩි කලකිරීමෙන්..!” යන පලකිරීම සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. කෙසේවෙතත් එම සටහනේ සඳහන් පරිදි සිරස නාලිකාවේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාසල් ආරම්භ කරන දිනය බොහෝදුරට වෙනස්විය හැකි බව යුද හමුදාපතිතුමා පවසා සිටියා.

Avatar

Title:ජනපති සහ අගමැති, යුද හමුදාපතිතුමාට බැණ වැදුණු බවට සිදු කළ සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: Partly False