අතුරුදහන් වූ අය පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය පතමින් නොයෙක් විට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට පුලුවන්. විශේෂයන්ම ෆේස්බුක් හරහා මෙසේ අතුරුදහන් වූ අය පිලිබඳව විස්තර ලබාදෙමින් ඒ අය දු‍ටුවොත් දැනුවත් කරන ලෙසට සටහන් හුවමාරු වෙන්නේ ප්‍රතිචාර ද රැසක් ලබාගනිමින්. ඇතැම් අවස්ථාවල මෙවැනි සංවේදී කරුණු මුවාවෙන් ව්‍යාජ සටහන් ද හුවමාරු වන අතර මෙයද එවැනි ව්‍යාජ නිර්මාණයක් බව අපට අනාවරණය වුනා.

Claim Details (ව්‍යාජ සටහන පිළිබඳ විස්තර)

“අප ආදරෙයි අහස තරම් I Love you” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් මුලින්ම 2019 වසරේ එලෙසින් පළකර තිබු, ලාබාල වයසේ සිටින ගැහැනු දරුවෙකු අතුරුදහන් වී ඇති බවක් දැක්වෙන සටහනක් නැවත වරක් පාඨකයින් අතර සංසරණය වීමට පටන් ගෙන තිබුනා.

Original LinkArchived Link

ඉහත ඡායාරූපයේ සිටින දරුවා දු‍ටුවොත් ඇමතුමක් ලබා දෙන බවට දුරකථන අංකයක්ද එහි සටහන් කර තිබුනු අතර ඇයව සොයා ගැනීමට එම සටහන හැකිතාක් ශෙයාර් කරන ලෙස එහි තවදුරටත් දක්වා තිබුනා.

76,000කට අධික පිරිසක් අතර මේ වන විට හුවමාරු කරගෙන තිබුනු එම පුවත සාවද්‍ය පුවතක් ලෙස බොහෝ දෙනා වාර්තා කර තිබු අතර මේ පිළිබඳව සත්‍ය කරුණු සොයා බැලිමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප පලමුව මෙහි සටහන් කර ඇති ජංගම දුරකතන අංකය වෙත ඇමතුමක් ලබා ගැනීමට කටයුතු කලා. නමුත් එම දුරකතන අංකය සහිත ජංගම ක්‍රියා විරහිත කර තිබුනා.ඉන් අනතුරුව අප මෙම දැරියගේ ඡායාරූපය ගූගල් හි Image Search වෙත යොමු කර එහි ප්‍රතිඵල විමසා බැලුවා.

එහිදී අපට හෙලි වුනේ මෙම සේයාරුවේ සිටින දැරිය ඉන්දියාවේ විසු තරුණියක් බවයි.මෙම ෆේස්බුක් සටහනට යොදාගෙන තිබුනේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ විසු 2013 වසරේදී 15 හැවිරිදි ශ්‍රිෂ්ති අස්තානා (Shrishti Asthana) දැරියක් බව අපට අනාවරණය වුනා. ඇය 2013 වසරේ ගූගල් විද්‍යා ප්‍රදර්ශනයේදී ඉන්දියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අයෙක්.

2013 වසරේදී මොහාලි හි මිලේනියම් පාසලේ 11 වන පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රිෂ්ති අස්තනා, සූර්ය බලශක්ති ආධාරයෙන් හරිත තාක්‍ෂණය යොදාගනිමින්, ඩිටර්ජන්ට් ක්‍රමයෙන් ගෙවී යාම පිළිබඳ සිදුකළ ව්‍යාපෘතිය, රටවල් 120 කින් සහභාගී වූ දහස් ගණනක් දෙනා අතරින් ගූගල් විද්‍යා ප්‍රදර්ශන සඳහා තෝරා ගෙන තිබුනා.

මෙම පුවත වෙබ් අඩවි ඉදිරිපත් කර තිබුනේ පහත අයුරින්.

Link1 | Link 2 | Link 3

Shrishti Asthana බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන යන අතර ඇය පිලිබඳව සම්පූර්න විස්තරයක් එහිද ඇතුලත් කර තිබෙනවා.එම බ්ලොග් අඩවිය මෙතනින්

පහත දැක්වෙන්නේ ශ්‍රිෂ්ති අස්තානා Google science fair හි පෙනී සිටින ඡායාරුපයක්. එම විද්‍යා ප්‍රදර්ශණයේ ඡායාරුප පෙළක් මෙසේය

එසේ කුඩා කල සිටම දක්ෂතා දැක්වූ ශ්‍රිෂ්ති අස්තානා දැන් අවුරුදු 22ක තරුණියක් වන අතර මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් උපාධි සාමාර්ථය ලබාගත් අවස්ථාව මෙසේ සටහන් කර තිබුනි. ෆේස්බුක් මැසෙන්ජර් හරහා ඇය සමඟ අප සම්බන්ධ වූ අතර එය ඇයගේම ඡායාරූපයක් බවත් ඒ සඳහා ව්‍යාජ අර්ථකතනයක් ලලබාදී ඇති බවත් තහවුරු කර සිටියා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී “අප ආදරෙයි අහස තරම් I Love you” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් හුවමාරු කරගෙන තිබු අතුරුදහන් වු දැරියකගේ යැයි සඳහන් කරමින් පල කර ඇති ඡායාරූප සටහන මෙරට ජීවත්වන දැරියකගේ එකක් නොවන බව අපට තහවුරු කල හැකියි. 2013 වසරේදී ඉන්දියාව නියෝජනය කරමින් Google විද්‍යා ප්‍රදර්ශණයක් සඳහා තේරී පත්වී තිබු ශ්‍රිෂ්ති අස්තානා නමැති දැරියකගේ ඡායාරූපයකි.

Avatar

Title:අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

Fact Check By: Sahan Perera

Result: False