කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි.

කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් පිරිසකගෙන් බවත්, තමාගේ හැසිරීමේ වරදක් නිසා නොවන බවත් පවසමින් තිස්සමහාරාම තරුණයෙකු ඉදිරිපත් කර තිබු වීඩියෝ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදි අනාවරණය වුයේ එම සටහන් නොමග යවන සුළු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“තිස්සමහාරාමය පළමු කෝවිඩ් ආසාදිත තරුණයා ෆේස්බුක් ඔස්සේ සජීවීව ඇවිත් පැවසූ දෙය.. අනිවාර්යයෙන්ම බලන්න...තිස්සමහාරාමය නිල ෆේස්බුක් පිටුව සමඟ එකතුවන්න” තේමාවෙන් තිස්සමහාරාමය නිල ෆේස්බුක් පිටුව නමැති ෆේස්බුක් පිටුවක් වීඩියෝ සටහනක් ඉදිරිපත් කර තිබුණි. මෙම සටහන ප්‍රතිචාර රැසක් සමඟින් ෆේස්බුක් පරිශීලකයින් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබු බව නිරීක්ෂණය විය.

FacebookArchived Link

Kumara Madushan Guruge යන මෙම තරුණයාගේ ෆේස්බුක් ගිණුමෙන් සජීවීව පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා පලවී තිබු මුල් වීඩියෝ දෙකක් මෙසේ අපට දැකගනන්ට ලැබුණා.

Video 1 | Video 2

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම තරුණයා ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබු වීඩියෝ පට දෙක සුපරික්ෂාකාරිව නැරඹුවෙමු. ඔහු ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරනය කරයි.

  • ඔහුට ආසාදිතයෙකු වුයේ ඔහු සේවය කළ ආයතනයෙන් බවත් බොහෝදුරට ඒ පසුගියදා නිවඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියානු ජාතික සංචාරකයන් පිරිසකගෙන් බවත්
  • ඔහු අන්‍ය කාන්තාවන් ඇසුරු නොකරන, අනාචාරයේ හැසිරෙන පුද්ගලයෙකු නොවන බව
  • ඔහු තිස්සමහරාමයෙන් පිටත නොගිය බව
  • කළක සිට පෙළෙන අසනීප තත්වයක් මත පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත් බව.
  • ඔහු පීළිබඳව කථා පතුරවන්නේ ආයතනය බව පවසන නමුත් පසුව ඔහු චෝදනාව නගනුයේ සහෝදර සේවකයකුටය.
  • දෙබරවැව මුලික රෝහලෙන් PCR පරීක්ෂණයක් සිදු කළ පසු ගිලන් රථයකින් නිවසට හැරලවූ බව සහ අනතුරුව රාත්‍රියේ නැවතත් හම්බන්තොට රෝහලට ඇතුලත්වු බව. ඔහු රෝහලට ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයකින් බව සහ රොහලට නිවැරදි අනන්‍යතාව තහවුරු කළ බව.
  • බොහෝ දෙනා ඔහට ගැරහුවත් තිස්සමහරාම පොලීසියේ උප පොලස් පරීක්ෂක නිශාන්ත සහ තිස්සමහාරාමයේ මුතු මුදලාලි ඔහුට උපකාර කළ බව

මෙම වීඩියෝ පටවල අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මෙම සිදුවීම හා සම්බන්ධ පාර්ශව කිහිපයකින්ම කරුණු විමර්ෂණයක් සිදුකළෙමු.

තිස්සමහාරාම වෛද්‍ය නිලධාරීන් :

තිස්සමහාරාම සේනපුර පදිංචි යාල සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයකුට කොරෝනා ආසාදිත බව හදුනාගෙන තිබු බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙකු ඔක්තෝබර් මස 15 උදැසන පළකර තිබෙනු අපට මෙසේ දැකගනන්ට ලැබුණා. Link | Archived

පසුව දෙවන PCR පරීක්ෂණයකින් ද ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබු බව මෙලෙසින් සටහන් කර තිබුණා. Link | Archived

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප තිස්සමහාරාමයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. කුමාර මධුෂාන් ගුරුගේ නමැති මෙම තරුණයාට මුලින්ම රෝග ලක්ෂණ පහලවී ඇත්තේ ඔක්තෝබර් මස 5 වැනි දිනට ආසන්නයේ බවත්, එහෙත් එම රෝග ලක්ෂණ පිළිබඳ තිබු වැරදි අවබෝධයක් මත සේවයට වාර්තා කර, එම හෝටලයේ නිවාඩුවක් ගත කරමින් සිටි කැනේඩියානු ජාතිකයන් පිරිසක් සමඟ යාල ජාතික වනෝද්‍යානයට ගොස් ඇති බවත් පැවසීය.

පසුව රෝගී තත්වය උත්සන්න වීම නිසා, මෙම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත්ව PCR පරීක්ෂණයක් කර ගෙන ඇති බවද පැවසීය. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතෙක් නිවාස නිරෝධායනයකට යොමු කළ මොහුව, ගිලන් රථයකින් නිවසට රැගෙන ගිය බවත්, එය සාමාන්‍ය සම්ප්‍රදාය බවත් පැවසීය. මොහු සහ නිවැසියන්ට නිරෝධායන නීතිරීති පහදා දී, සියළු අවශ්‍යතාවන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකට දන්වන ලෙසත්, ආදාළ දුරකථන අංක ලබා දී, නිවෙස් ගතව සිටින මෙන් තරයේ අවවාද කළ බව ද පැවසීය.

එහෙත් ඔහු සියළු නිරෝධායන නීතීරීති කඩ කරමින්, කිසිවකුටත් නොදන්වා ත්‍රීරෝද රථයකින් හම්බන්තොට රෝහලට ඇතුළත් වී ඇති බවත්, නියම නම ලබාදී තිබුණද ලිපිනය දී ඇත්තේ බිරිඳගේ මහගෙදර බවට පැවසෙන බඳගෙදර ප්‍රදේශයේ ලිපිනයක් බවත් පැවසීය. එමෙන්ම PCR පරීක්ෂණයකින් පසු නිවාස නිරෝධායනයේ සිටින බවක් හම්බන්තොට රෝහලේ සෞඛ්‍ය නිලධාරීන්ට දන්වා නොමැති බවද සඳහන් කළේය.

මේ වන තෙක් මොහුගේ මුලාශ්‍රය සොයා ගත නොහැකිවු බවත් පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පවසා සිටියා. එසේම ඔහුගේ සමීපතයන්, ආශ්‍රිතයන්, හෝටල සේවකයන්, හෝටලයේ එම කාල සීමාවේ සිටි සියළු දෙනාම සහ මොහු නේවාසිකව ප්‍රතිකාර ගත් හම්බන්තොට රෝහලේ 18 වාට්ටුවේ රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද නිරෝධායනට ලක් කළ නමුත් ඔවුන් අතරින් කිසිදු හෝ ආසදිතයකු මේ වන තෙක් හමු නොවු බවත් තහවුරු කළේය.

මොහුගේ සමීපතම ආශ්‍රිතයන්ගේ පළමු PCR පරීක්ෂණය ඔක්තෝබර් මස18 දා සිදු කල බවත්, ඔක්තෝබර් මස 27 දිනයේ සිදුකළ දෙවන PCR පරීක්ෂණයේ ඔක්තෝබර් 28 තෙක් ලැබී නෙමැති බවත් පැවසීය.

එසේම කුමාර මධුශාන් වෙත මීට දින කිහිපයකට පෙර සිදුකල තුන්වන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් නෙගටිව් ලෙස වාර්තා වීමත් සමගම ඔහුව නිවස කරා පිටත්කර යවා දැන් නිවසේ නිරෝදායනය වන බවත් පවසා සිටියා

අප වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීමට හම්බන්තොට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කපිල මහතා සමඟ සම්බන්ධ වුයෙමු. තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පැවසු කරුණු තහවුරු කළ ඔහු, එක් පුද්ගලයකුගේ නොසැලකිලිමත්කම නිසා මහ ව්‍යසනයක් ඇතිවිය හැකිව තිබු බවත් පැවසීය.

හෝටලයේ පාලනාධිකාරිය:

අනතුරුව අප කුමාර මධුෂාන් ගුරුගේ සේවය කළ යාල Wild Coast Tented Lodge හොටලයේ සාමාන්‍යාධිකාරි ටිරාන් නානයක්කාර මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. කුමාර මධුෂාන් ගුරුගේ සිය ආයතනයේ සෆාරි මඟ පෙන්වන්නෙකු ලෙස සේවය කරන බවත්, සැප්තැම්බර් 30දා සේවයට වාර්තා කළ ඔහු ඔක්තෝබර් 4 තෙක් සේවය කර ඔක්තෝබර් 5සහ 6 නිවාඩු ලබා ගත් බව පැවසීය.

නැවත ඔක්තෝබර් 7 සිට 10 තෙක් සේවය කර ඇති අතර ඔක්තෝබර් 11 වැනි දින සිට නිවාඩු ගත් බවත් පැවසීය. කැනේඩියානු තනාපති කාර්යාලයේ සේවය කරන නීලධාරින් පිරිසක් ඔක්තෝබර් මස 7 සිට 22 තෙක් සිය හෝටලයේ සිටි බවත් ඔවුන්ගෙන් එක් පවුලක සාමාජිකයන් පිරිසක් ඔක්තෝබර් 7 වැනි දින කුමාර මධුෂාන් ගුරුගේ සමඟ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවු බවත් පැවසීය.

මොහුගේ රෝගී තත්වය සැලවු විගස වගකිව යුතු ආයතනයක් ලෙස මහජනතාව, බලධාරීන් සහ ආයතනයට පැමිණි පිරිස් දැණුවත් කළ බවත්, එම කාලයේ හෝටලය හා සම්බන්ධ සියලුම පාර්ශව පරීක්ෂාවට ලක්කළ බවත් ඔවුන් කිසිවෙකුටත් මේ වන තෙක් කොවිඩ් ආසාදන තත්වයක් වාර්තා වී නොමැති බවත් පැවසීය.

නිවාස කරා ගොස් සිටි සේවක පිරිස් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනය වන අතර, ආයතන නේවසිකාගාරයේ සිටි සේවක පිරිස ආයතනය තුලම නිරෝධායනය වන බවත් පවසමින් කුමාර මධුෂාන් ගුරුගේ ආයතනයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

Wild Coast Tented Lodge හෝටලය විසින් ඔවුන්ගේ සේවකයෙකුට මෙසේ කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ඔක්තෝබර් 14 වැනිදා පළකරන ලද සටහනකින් දැනුම් දී තිබු අතර ඔක්තෝබර් මස 18 වැනිදා පලකරන ලද ෆේස්බුක් සටහනකින් දන්වා තිබුනේ අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලක්ම ගෙන තිබු බවත්ය.

Link | Archived Link | Archived

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය :

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය අපට පවසා සිටියේ සිය නිලධාරීන් මෙම සිද්ධියත් සමඟම නිරෝධායනට ලක්වූ අතර PCR පරීක්ෂණ දෙකකට බැගින් මුහුණ දුන් අතර ඔවුන්ට රෝගය ආසාදනය වී නොමැති බව එමඟින් සනාථ වී ඇති බවයි. තවද මොවුන් දිවයිනට පැමිණියේ පසුගිය අගෝස්තු මාසයේ බවත්, එම අවධියේත් ඔවුන් PCR පරීක්ෂණ දෙකකට බැගින් මුහුණ දී ඇති අතර එම පරීක්ෂණ වලින්ද ඔවුන්ට රෝගය ආසදනය වී නොතිබු බව තහවුරු වූ බවත් අවධාරණය කර සිටියා.

තිස්සමහරාම පොලීසිය :

තිස්සමහරාම පොලීසියේ උප පෙලිස් පරීක්ෂක නිශාන්ත මහතා මේ පිලිබඳව විස්තර ලබා දෙමින් ද පවසා තිබුණේ ඔක්තෝබර් මස මුල සිටම එනම් කැනේඩියානු සංචාරක පිරිස එම හෝටලයට පැමිණීමට පෙර සිටම යම් ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර බව ඔහු පවසා සිටි බවයි. කුමාර මධුෂාන් ලබාදුන් තොරතුරු සියල්ලක්ම ලබාගත්තද මෙතෙක් රෝග මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. එම වීඩියෝව පහතින්

https://youtu.be/JJiVSwJIckI?t=187

තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති තුමා සමග ද දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔහු පවසා සිටියේය දැන් කුමාර මධුෂාන් තරුණයා ඔහුගේ නිවසේ නිරෝදායනය වන බවයි. ඔහුගේ ආශ්‍රිතයන් සියල්ලම PCR පරීක්ෂාවලට ලක් කළද ඔහුගේ පවුලේ අයද ඇතුළුව එම කිසිවකුගෙන් කොරෝනා ආසාදනයක් වාර්තා වී නැති බවත්ය

මාධ්‍ය වාර්තා :

තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ඔක්තෝබර් මස පහළොස් වැනිදා මාධ්‍ය බොහොමයක් හරහා මෙවැනි වාර්තා ඔස්සේ ඉදිරිපත් කර තිබුණි

ඉන් අනතුරුව 16 වැනිදා “සංචාරක මග පෙන්වන්නාට කොවිඩ් වැළදුණු හැටි බුද්ධි අංශ හෙළිකර ගනියි” යනාදී තේමා යටතේ පළවී තිබූ මෙවැනි වාර්තා වලින් දක්වා තිබුණේ මෙම තරුණයාට කොවිඩ් වෛරසය බොහෝදුරට ආසාදනය වී ඇත්තේ ඔහු සහභාගිවූ විවාහ මංගල උත්සවයකදී බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔක්තෝබර් 16 වැනිදා උදෑසන පුවත්පත් වැඩසටහනකදී පවසා එම විස්තර පවසා සිටි අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා (15 වැනි විනාඩියේ සිට)

https://www.youtube.com/watch?v=K70E4l78amk&feature=youtu.be&list=PL6T3film9UquAJCBZlMzK8AoBcbjRq4fJ&t=900

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කුමාර මධුෂාන් ගුරුගේ විසින් තමාට කොරෝනා වෙරස් රෝගය ආසාදනය වී ඇත්තේ, තමා සේවය කළ යාල හෝටලයේ නිවාඩුකට පැමිණ සිටි කැනේඩියානු ජාතිකයන්ගෙන් හෝ ආයතනයට පැමිණි වෙනත් ආගන්තුකයෙක්ගෙන් බවට ඔහු චෝදනා නැඟුවද එම පිරිස පසුගිය අගෝස්තු මාසයේ මුල් වරට ලංකාවට පැමිණ ඇති අතර එම අවස්ථාවේ මෙන්ම මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසුවද සිදුකළ PCR පරීක්ෂණ කිසිවකින් ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති බවයි.

කුමාර මධුෂාන් ලබාදී තිබූ විස්තර අනුව සෞඛ්‍ය අංශ සහ පොලිසිය ඔහුගේ සමීපතයින් සහ ස්පර්ශකයින් PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඔවුන් කිසිවෙකුටද මේ වන තෙක් කොරෝනා ආසාදනය වී නොමැත. මීට දින කිහිපයකට පෙර ලබාගත් අවසන් PCR වාර්තාව නෙගටිව් (negative) වීමත් සමගම ඔහු දැන් නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියි

Avatar

Title:තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

Fact Check By: Sahan Perera

Result: Misleading