කලින් කලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත සිදු කරන ඇතැම් ප්‍රකාශ, ආන්දෝලනාත්මක තත්වයන්ට හේතු වන අතර සමහර ප්‍රකාශ අර්ථය වෙනස් කොට හුවමාරු වන ස්වරුපයක් ද අපට දැකගන්නට ලැබෙනවා. මෙම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය වලද පුළුල් ප්‍රචාරයක් හිමිවන බව පෙනී යනවා.

මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසු ආකාරයක් හඟවන ලෙස හුවමාරු වූ සටහන් පිලිබඳ අපගේ විමර්ශනයේදී අනාවරණය වුයේ එබඳු ප්‍රකාශයක් අමාතයවරයා විසින් මෑතකදී සිදුකර නොමැති බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“මහජනතාව මේ වෙලාවෙ කොවිඩ් එන්නත් නෙමෙයි ඉල්ලන්නේ හැකි ඉක්මනින් පලාත් සභා ඡන්දය තියන්න කියලයි” යනුවෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු කළ කල ආකරයක් පෙන්වන සටහනක් Kaluthanterege Nirosh නමැති ෆේස්බුක් ගිණුමක් මෙසේ හුවමරු කරගෙන තිබුණා.

FacebookArchived
Facebook Archived

එවැනි සටහන් රැසක් බොහෝ පිරිසක් මෙසේ හුවමාරු කරගෙන තිබුණා.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සහ බොහෝ පාර්ශවයන් මේ මොහොතේ පලාත් සභා ඡන්දය නොතබන ලෙසට රජයෙන් ඉල්ලා ඇති පසුබිමක ප්‍රසන්න රණතුංග මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේද යන්න පිළිබඳව අප සොයා බැලුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

දිවයිනේ පවතින තත්වය හමුවේ එබඳු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා බොහෝදුරට පලවී තිබිය යුතු බැවින් එසේ පලවී තිබේදැයි අප පරීක්ෂා කළද එබඳු සටහන් කිසිවක් මෑතකදී දැක ගන්නට ලැබුනේ නැහැ

මේ පිලිබඳව විමසීමට අප ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයාව සම්බන්ධ කරගත්තා. එහිදී ඔහු තහවුරු කලේ මේ ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් අමාත්‍යවරයා මෑතකදී සිදු කර නොමැති බවයි.

ප්‍රසන්න ඇමතිවරයා පසුගිය කාලය පුරාවටම මෙරට සංචාරක කර්මාන්තය නගා සි‍ටුවීම සම්බන්ධව කටයුතු කරමින් ඒ හා සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශ සිදු කර ඇති බවත් පලාත් සභා ඡන්දය පැවත්වීම කොවිඩ් එන්නත් ලබාගැනීමට වඩා වැදගත් යනුවෙන් කිසිවිටෙකත් පැවසුවේ නැති බව අවධාරණය කර සිටියා.

Facebook 1 | Facebook 2 | Facebook 3

කෙසේ වෙතත් පලාත්සභා ඡන්දය පැවැත්වීම හෝ එය අහෝසි කිරීම යන දෙකෙන් එක් තීරණයක් ලබා ගත යුතුය යන ස්ථාවරයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සිටින බවද පවසා සිටියා.

පසුගිය පාලන සමයේදී මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මේ මොහොතේ ද එම මතයේ සිටින බවත් පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එය නිසි කාලයේදී සිදු කල යුතු බවද තවදුරටත් පවසා සිටියා.

මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූපය පිලිබඳ Reverse Image පරීක්ෂා කිරීමක් සිදුකල අතර එහිදී එය 2018 පෙබරවාරි මාසයේදී, එවකට පැවති රජයේ ඡන්ද කල් දැමීම පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය වෙත සිදුකල ප්‍රකාශයකින් ලබාගත්තක් බව පෙනී ගියා. එම වීඩියෝව ද ඇතුලත් පුවත් වාර්තාව පහතින්

Newsfirst | Archived

තවද පසුගිය දිනෙක පැවති පක්ෂ නායක ‍රැස්වීමක දී පලාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බවට ද පුවත් වාර්තා වී තිබුණා

DivainaArchived

ඒ පිලිබඳ ව තවත් වීඩියෝ සටහනක් මෙතනින්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට තිරණය කළ වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පැවසු බවට පළවූ පුවතක් මෙතනින්

කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග මහතා පලාත්සභා ක්‍රමය පිලිබඳව සිදු කල ප්‍රකාශ පිලිබඳව ද අප අවධානය යොමු කලා. පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බවටත් පළාත් සභා ක්‍රමයේ කිසියම් ගැටළු ඇත්නම් ඒවා නිවැරදි කර පළාත් සභා ක්‍රමය රට තුළ පවත්වාගෙන යා යුතු බවටත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවකට එක්වෙමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබු බවක් වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර තිබු අයුරක් ද අපට දැකගනන්ට ලැබුණා

Link 1 | Link 2

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කළ මේ දිනවල මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසු බව පෙන්වමින් හුවමරු වන්නේ ව්‍යාජ සටහන් පෙළක් බව පැහැදිලිය.

මීට වසර දෙකකට ඉහතදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කල අවස්ථාවක ඡායාරුපයක් යොදාගනිමින් සිදුකර ඇති මෙම ව්‍යාජ ප්‍රකාශය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර අපට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෑතක දී එවැනි ප්‍රකාශයක් දැක ගණනට ලැබුනේ ද නැහැ.

රටේ පවතින තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා.

Avatar

Title:මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නෙවෙයි පලාත්සභා මැතිවරණයක් යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසුවා ද?

Fact Check By: Nelson Mani

Result: False