ලොව පුරා තරුණ තරුණයින් අතර මෙන්ම ලංකාවේ ද ටැටූ ගැසීම නැත්නම් පච්ච ශරීරයේ ගැසීමේ කලාව ජනප්‍රියතාවක් උසුලනවා. ටැටූ ගැසීම හේතුවෙන් රුධිරය දන්දීමට නොහැකි බවට සමාජයේ මතයක් පවතින අතර මෙම අදහස දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් පෙළක් ද පසුගිය කාලයේ අපට දැක ගන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් අප Factcrescendo සිදුකල විමර්ශනයේදී අනාවරණය වූයේ ටැටූ ගැසීම නිසා සදාකාලිකව ලේ දන් දීමේ කාර්යයට තිත තැබීමට අවශ්‍ය නොවන බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

පච්ච ගහන්න ඉන්න අයට ගොඩක් වැදගත් වන පණිවිඩයක් ලෙස සඳහන් කරමින් 3000කටත් වඩා වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු මෙවැනි සටහනින් පෙන්වා දී තිබුනේ “ඔයාලා දන්නවද පච්ච ගහලනම් කාටවත් ලේ දෙන්න බෑ කියල, අනික එහෙම කෙනෙක් ලේ දුන්නත් ලේ පරීක්ෂා කරන අය එතනදී ඒ ලේ අයින් කරනව දැන් කාලෙ ගොඩක් කෙල්ලො කොල්ලෝ කරන දෙයක් නිසා වැදගත් වෙයි කියල කිව්වේ..පච්ච ගහන්න ඉන්නවනම් ඒ දේ කරන්න එපා” යනාදී වශයෙන්.

Facebook | Archived Facebook | Archived

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වා තිබු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට අප අදහස් කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ සම්බන්ධයෙන් අප රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ප්‍රධාන වශයෙන් හෙපටයිටිස් B හෝ C, මැලේරියාව, සි‍ෆිලිස්, හෝ HIV/AIDS යන කරුණු රුධිරය දන් දීමේ දී සැලැකීමට ගන්නා බවයි.

එසේම යම් හෙයකින් ටැටූ ගැසීමේදී භාවිතා කළ ක‍ටු ජීවාණුහරණය නොකළ හෝ එක් වරකට වඩා භාවිතා කළා වීමේ සම්භාවිතාවක් තිබේද යන්න පිළිබඳව තත්ත්ව සහතිකයක් නොමැති බැවින්, යම් ආසාදිතයෙක් මාර්ගයෙන් ඉහත සඳහන් කළ රෝග ටැටූ සේවාව ලබා ගත් පුද්ගලයකුට ආසාදනය වීමේ හැකියාවක් ඇති හෙයින්, අවුරුද්ක කාල සීමාව තුළ රෝග ලක්ෂණ පහළ වීමට ඉඩකඩ ඇති බවයි. එම හේතුව නිසා සහ වෙනයම් හෝ ආසාත්මිකතාවක් පෙන්නුම් කිරීමට අවුරුද්දක කාලය ප්‍රමාණවත් බැවින් ඒ කාලය තුළදී, එනම් ටැටූ ගැසූ දිනයේ සිට අවුරුද්දක කාලයක් තුළදී පමණක් රුධිරය දන් දීම සිදුකළ නොහැකි බව එතුමා අවධාරණය කර සිටියා.

මේ සම්බන්ධයෙන් ලොව වෙනත් රටවල ක්‍රියාත්මක වන තත්වයන් පිළිබඳව ද අප අවධානය යොමු කර සිටියා.

ටැටූ කිරීමකින් පසුව නැවත ලේ දන්දීමේ කාලයේ ලොව විවිධ ප්‍රදේශවල මාස 3 සිට අවුරුද්දක් දක්වා පමණ වන බව අපට දැකගනන්ට ලැබුනා.

ඉන්දියාවේ ටැටූවක් ලබාගෙන මාස 6ක පමණ කාලයකින් පසුව ලේ දන්දීම සිදුකළ හැකි බව දක්වමින් පළවූ වාර්තාවක් මෙතනින්

මේ පිළිබඳව ඇමරිකාවේ රතු කුරුස සංගමය විසින් ටැටූ කිරීමෙන් පසුව කිසිවිටෙකත් ලේ දන්දීමට නොහැකි බවට පැතිරී තිබෙන දුර්මත සම්බන්ධයෙන් පළකරන ලද වීඩියෝවක් මෙතනින්

Red Cross Myth Busters: Tattoos and Blood Donation

එසේම ටැටුවක් ලබාගැනීමෙන් පසුව ලේ දන්දීමට සිටිය යුතු කාලය වූ මාස 12 සීමාව මාස 3 දක්වා අඩු කර ඇති බව ඇමෙරිකානු රතු කුරුස සංගමය පසුගිය වසරේ ජුලි මස පහත අයුරින් දක්වා තිබුණා.

FDA Guidlines

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක හැර අනෙක් සියලුම ප්‍රාන්තවල, විෂබීජහරණය කරන ලද කටු සහ නැවත භාවිතා නොකරන තීන්ත යොදා ගනිමින් රජය විසින් නියාමනය කරන ලද ස්ථානයක ටැටූ කිරීම සිදුකෙරෙන අවස්තාවලදී, ලේ දන්දීම සඳහා පොරොත්තු කාලයක් (waiting period) නොමැත. එනම් එම තත්වයන් යටතේ ටැටූව ලබාගත් පසුවම ලේ දන්දීම සිදුකළ හැක.

Red Cross Eligibility Criteria for blood donations

මේ පිළිබඳව රතු කුරුස සංවිධානයේ ලංකාවේ ශාකාවෙන් ද විමසා සිටි අතර පවසා සිටියේ ඔවුන් ලංකාවේ ලේ බැංකුව මඟින් බලපැවැත්වෙන විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන බවයි.

ලේ දන්දීම පිළිබඳ සමාජයේ පවතින දුර්මත කිහිපයක් සහ වැදගත් කරුණු පිළිබඳ සිංහල බසින් පළවූ විස්තරයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අප කළ කරුණු විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ ලංකාවේ දී රුධිරය දන් දීමේදී ටැටූ ගැසීම නුසුදුසු කමක් ලෙස සැලකිය හැක්කේ ටැටූ ගැසූ දින සිට අවුරුද්දක කාලයක් දක්වා පමණක් බවයි. අවුරුද්දකට පසු එම කරුණ පාදක කොටගෙන එය බැහැර කර අනෙක් සුදුසුකම් සපුරා ඇත්නම් රුධීරය දන් දීමට සුදුසු පුද්ගලයෙක් බවට පත්වෙයි.

ලොව විවිධ ප්‍රදේශ වල මෙසේ ටැටූ ලබාගැනීමෙන් පසුව ලේ දන්දීමට ලබාදී තිබෙන පොරොත්තු කාලය මාස 3 සිට 12 දක්වා වෙනස් වෙයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල, විෂබීජහරණය කරන ලද කටු සහ නැවත භාවිතා නොකරන තීන්ත යොදා ගනිමින් රජය විසින්  නියාමනය කරන ලද ස්ථානයක ටැටූ කිරීම සිදුකෙරෙන අවස්තාවලදී, ටැටූව ලබාගත් පසුව කිසිඳු පොරොත්තු කාලයකින් තොරව වුවද ලේ දන්දීම සිදුකළ හැක

Avatar

Title:ටැටූ කිරීම, රුධිරය දන් දීමට බාධාවක්ද?

Fact Check By: Nelson Mani

Result: Misleading