පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ තරුණියගේ ප්‍රකාශය සම්බන්ධයන් පොලිසිය ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් ද විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුනා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ ගවේෂණාත්මක විමර්ශනයකින් අනතුරුව අපට සනාථ කර ගැනීමට හැකිවූයේ සිංහරාජ රක්ෂිතයේ හෝ එහි මායිමේ කිසිදු හෝටල් ඉදිකිරීමක් සිදු නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රජයේ ආයතන විසින් තහවුරු කර සිටින බවයි. කෙසේවෙතත් අදාළ තරුණිය විසින් කියා සිටින, එම පරිශ්‍රයේ තිබෙන භූමියේ සිදුවන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු වගකිව යුතු පාර්ශව වැඩිදුර විමර්ෂණයක් සිදුකරන අතර අදාළ තරුණියගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙන්නේ ඇය විසින් පවසා තිබූ වන සංහාරය සිදුවන ප්‍රදේශ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගෙන, එසේ අනවසර වන විනාශයක් සිදුවන්නේ නම් අදාළ පාර්ශව වලට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමට මිස ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණකින් නොවේ.

සමාජ මාධ්‍ය සටහන් :

සිරස ලක්ෂපති රූපවාහිනී වැඩසටහනක දී භාග්‍යා අබේරත්න නම් මෙම තරුණිය කියා සිටියේ, ඇයගේ නිවස පිහිටා ඇත්තේ සිංහරාජ රක්ෂිතයේ මායිමේ බවත් ඇස් මනාපිට සිංහරාජ වනාන්තරය එළිවෙනවා බලා ඉන්නට සිදු වන බවයි. සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ අවහිර කරමින් හෝටලයක් ඉදිකෙරෙන බවද එම වඩසටහනේ දී ඇය පවසනවා. එම කරුණු ඇතුළත් වීඩියෝ කොටස පහතින්

https://vimeo.com/524085403

Facebook | Archived

එම කරුණු දැක්වීම පදනම් කරගනිමින් පහත ආකාරයේ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

මෙවැනිම තේමා යටතේ තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. පරිසර සංරක්ෂණය පිළිබඳව රජයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් මෙන්ම ඉහත වැඩසටහන පැවැත්වූ නාලිකාව සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන රැසක් එල්ල වී තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

තවද භාග්‍යා අබේරත්න තරුණිය ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසීය යැවීමට තරම් වත්මන් පාලනාධිකාරිය බංකොලොත් වී තිබෙන බව දක්වමින් හුවමාරු වී තිබු සටහන් වලින් පෙන්වා දීමට උත්සාහ කර තිබුනේ මෙම තරුණියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවක් හා එමඟින් අදාළ තරුණිය අපහසුතාවයට පත්කිරීමට තරම් වත්මන් පාලනාධිකාරිය බංකොලොත් වී ඇති බවත්ය.

Facebook | Archived

මේ පිළිබඳව පාර්ශව කිහිපයකගේ අදහස් විමසීමක් සිදුකිරීමට අප කටයුතු කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ කරුණු දැක්වීම:

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති බෝවිටියතැන්න වත්ත යන ඉහත කතාබහට ලක්වූ ඉඩම, ප්‍රමාණයෙන් අක්කර 7, රූඩ් 3, පර්චස් 25.32 වන පැරණි තේ වගාවක් සහිත පෞද්ගලික ඉඩමක් බවත් ඉඩමේ උතුරු දෙසින් කලවාන රක්වාන ප්‍රධාන මාර්ගයද, දකුණු දෙසින් දොළ පහරක් හා තේ වගා භූමියක්ද ඊට ඔබ්බෙන් සිංහරාජ වන සංකීරණයට 2019/11/20 දින ඇතුළත් කරන ලද බෙරගල රක්ෂිතයද පිහිටා තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා මාධ්‍ය නිවේදනයක් තුළින් කරුණු දක්වා තිබුණා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා මාධ්‍ය වෙත තවදුරටත් සඳහන් කරන්නේ, ඉඩම තුළ හෝටල් ඉදිකිරීමක් සඳහා අනුමැතියක් ලබාගෙන නොමැති බවත් කලවාන ප්‍රාදේශීය සභාවේ 2020/09/04 දින අනුමැතිය සහිත නිවාස තුනක් ඉදිකිරීමේ කටයුතු හා පැරණි තේ වගාව පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත්ය. මෙම ඉඩම සම්බන්ධව කරුණු 2020/12/04 දින කලවාන ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කලවාන ප්‍රාදේශීය සභාව, කලවාන පොලීසිය, පරිසර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රාදේශීය කමිටුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී එම ක්‍රියාකාරකම පෞද්ගලික ඉඩමක නිවාස ඉදිකිරිමක් බැවින් අදාළ ආයතන වල උපදෙස් වලට අනුකූලව සිදුකරන ලෙස ව්‍යාපෘති යෝජක දැනුවත් කිරීම සුදුසු බව තීරණය වූ බව ද ඔහු සඳහන් කරනවා.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්, බෙරගල හා වලකන්ද රක්ෂිත අතර පවතින ප්‍රදේශ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්ත වී ඇති බවද, මෙම රක්ෂිත අතර පවතින ග්‍රාම නිලධාරී වසම් හරහා කලාතුරකින් වන අලීන් දෙතුන්දෙනෙකු සංචරණය කරන බවත් මාධ්‍ය මගින සිංහරාජ අලිමංකඩ වශයෙන් මෙම ප්‍රදේශ හැඳින්වුවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සංක්‍රමණ මාර්ග රක්ෂිත නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැති බවත්, ඔහුගේ අත්සනින් යුත් එම නිවේදනයේ තව දුරටත් දක්වා තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය පහතින්.

සමබරගමුව පළාතේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂයක තුමාගේ ප්‍රකාශයක් ද ඇතුළත් ව මේ පිළිබඳව ජාතික රූපවාහිනිය විසින් ගූගල් සිතියමක් ද සහිතව සිදුකරන ලද කරුණු දැක්වීමක් පහතින්. (10 වන මිනිත්තුවේ සිට)

https://youtu.be/hKJoQON1oh4?t=589

මේ සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමසීමේදී සබරගමු පළාතේ මධ්‍යම පරිසර අධිකාරි අධ්‍යක්ෂ තිලක් කිරිඇල්ල මහතා, ඉහත වීඩියෝවේ දක්වා ඇති පරිදි සඳහන් කළේ , අදාළ ඉඩම සිංහරාජ රක්ෂිතයට අයත් නොවන පෞද්ගලික ඉඩමක් බවත් එහි කිසිදු හෝටල් ඉදිකිරීමක් සිදු නොවන බවත්ය. එසේම මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් පෞද්ගලික ඉඩම් පවතින අතර ජනතාව කෘෂිකාර්මික කටයුතු, නිවාස සෑදීම, ගෙවතු සංවර්ධනය වැනි සාමාන්‍ය කටයුතු සිදු කරනු ලබන බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී ඔවුන් අවධාරණය කළේද, මෙය පෞද්ගලික ඉඩමක ඉදිවන නිවාස මිස සිංහරාජ රක්ෂිතයට අයත් කොටසක් නොවන බවයි.

“වන විනාශය පිළිබදව පැතිරෙන තොරතුරු පිළිබද විවෘත ඩිජිටල් සංවාදය” යන තේමාව යටතේ රජයේ පුවත් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කර තිබු සංවාදය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද සහභාගී වී තිබුණා. එහිදී ද සිංහරාජ වන සංහාරයක් පිලිබඳව කතාබහට ලක්වී තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ කතාබහක් ඇතිවී තිබුණා. එම සංවාදය මෙතනින්

මෙහිදී ඉහත ඉඩමේ හෝටල් ඉදිකිරීමක් සිදුවන්නේ නැති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා පැහැදිලිවම අවධාරණය කර සිටිනවා.

එසේම සිංහරාජයේ වන සංහාරය පිලිබඳ නිරතුරුව ම මාධ්‍ය හරහා පළවන වාර්තා සම්බන්ධයෙන් සිදුකල ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් සභාපතිතුමා පවසා සිටින්නේ මෙම කතාබහට ලක්වී ඇති ඉඩම ඇතුළු තවත් නිවාස කිහිපයක් ම ඉදිකර තිබෙන ප්‍රදේශය සිංහරාජ රක්ෂිත කලාපයට එකතු කරන ලෙස වසර කිහිපයක් තිස්සෙම යෝජනා කෙරෙන බවයි. කෙසේවෙතත් එවැනි කරුණක් ක්‍රියාත්මක වන තුරු අදාළ ප්‍රදේශයේ සිදුවන එළි කිරීම් සම්බන්ධයෙන් සිංහරාජ වනයේ එළිකිරීමක් වශයෙන් පෙන්වා දිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා. එසේ ඉඩම් සිංහරාජ රක්ෂිතයට එකතු කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් විය යුතු බවත් එසේ සිදුකළහොත් ඉන්පසුව රජයට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමකින් පෙන්වා දී තිබුණා.

මතුවී ඇති ගැටළුකාරී තත්වය පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රදේශයේ ඉඩම් හිමියන් ද සම්බන්ධ කරගනිමින් එම ඔප්පු පිලිබඳ විස්තර දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් නුදුරු දිනයකදී පැවැත්වීමට ද කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා තවදුරටත් පවසා තිබුණා.

හෙක්ටයාරයකට වඩා වැඩි භූමියක පාරිසරික තක්සේරු බලපෑම් වාර්තාවක් ලබා ගත යුතු බවත් එය මෙතෙක් සිදුවී නැති බවත් මාධ්‍ය විසින් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සභාපති තුමා පවසා තිබුනේ තමාද පෞද්ගලිකව මෙම භූමියට ගොස් කරුණු සියල්ල නිරීක්ෂණය කල බවත් මෙම ඉඩමේ පාංශු ඛාදනය වැලැක්වීමට අවශ්‍ය කටයුතු ගැනීම පිළිබඳව උපදෙස් දුන් බවත්ය. එසේම ඉඩම් රජයට පවරා ගැනීම දිගු කාලයක් තිස්සේ කල් ඇදෙමින් පවතින බවත් එවැන්නක් කඩිනමින් සිදු වූවානම් මෙවැනි ප්‍රශ්න මතු නොවන බවත් ඔහු වැඩිදුරටත් එහිදී පෙන්වා දෙනවා. Newsfirst

කලවාන ප්‍රාදේශීය සභාපතිතුමා:

මේ පිළිබඳව අප කලවාන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාපතිතුමා ගෙන් ද විමසීමක් සිදු කළා. එහිදී එතුමා අපට පවසා සිටියේ අදාළ ප්‍රදේශයේ නාය යාමේ තර්ජන තිබෙන බැවින් ඒ පිලිබඳ ඇගයීමක් භූ-විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් සිදුකල අතර අනෙකුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන කමිටුවල ද අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ භුමියේ ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාව මගින් අදාළ පාර්ශවයන් වෙත අවසර ලබා දුන් බවයි.

කෙසේ වෙතත් එතුමා තවදුරටත් පවසා සිටින්නේ එම අවසර දීමේ කිසිඳු තැනක වැවක් සෑදීමට අවසරයක් ලබාදී නැති අතර එවැන්නක් පිළිබඳව දැන් වාර්තා වී තිබෙන බැවින් ඒ පිළිබඳව ඉදිරියේ දී ඔවුන්ගෙන් විමසා අවශ්‍ය කටයුතු කිරීමට ක්‍රියා කරන බවයි

මෙම ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයක්ම ඇති අතර ඊට ඉහලින් හෝටල් ද ඉදිවී තිබෙන බව පවසමින් සභාපතිතුමා තවදුරටත් කියා සිටියේ වසරේ එක්තරා කාලයකදී අලි කිහිපදෙනෙක් මෙය ප්‍රදේශය මාර්ගය හරහා ද ගමන් ගන්නා බවයි.

පරිසරවේදීන්ගේ අදහස්:

කෙසේවෙතත් මේ පිළිබඳව ඇතැම් පරිසරවේදීන් සඳහන් කරන්නේ, ඇතැම් ප්‍රදේශවාසින් වුවද මේ පිළිබඳව දකිනු ලබන්නේ වන සංහාරයක් වශයෙන් බවයි. එයට හේතුව, රක්ෂිත සීමාවට අයත් නොවන පෞද්ගලික ඉඩම් වුවද දිගු කාලයක් පුරා හෙළි පෙහෙළි නොකර තිබීම හේතුවෙන් එම ඉඩම්ද රක්ෂිතයට අයිති බව සැලකීමයි. එසේම මෙම ඉඩමේ සින්නකර ඔප්පුව යනුවෙන් හුවමාරු වන ලියකියවිලි ද මෑතක (2020 ජුලි මස) ඒවා බව අපට දැක ගන්නට ලැබුණු අතර එහි නෛතික භාවය පිළිබඳව ද වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පරිසරවේදීන්ගේ අදහසයි.

නයනක රන්වැල්ල සහ සජීව චාමිකර යන පරිසරවේදීන් මේ සිද්දිය සම්බන්ධයෙන් දැක්වු අදහස් ඇතුළත් වීඩියෝවක් මෙතනින්. ඉහත දැරිවිය විසින් සිදුකළ ප්‍රකාශය ඇතුළත් සිංහරාජ ප්‍රේරණ කලාපයේ නොයෙකුත් ආකාරයේ වන විනාශ සිදුවන බවත්, ඒ පිළිබඳව මීට පෙර ඔවුන් විසින් කරුණු දැක්වීම සිදුකර තිබු බවත් පවසමින් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් හඬක් නැගු එම දැරියගෙන් ප්‍රශ්න කිරීම සිදු නොවිය යුත්තක් බවත් ඔවුන් පෙන්වා දී තිබුණා.

මෙය වන සංරක්ෂණ දෙපර්තමේන්තුවට අයත් ඉඩමක් බව පරිසරවේදීන් විසින් කිසිවිටෙකත් පෙන්වා දී නොමැති බවත් පවසමින් අවධාරණය කර තිබුනේ හෙක්ටයාරයකට වඩා වැඩි ඉඩක් සහිත අදාළ භුමියේ පරිසර බලපෑම් තක්සේරු කිරීමක් සිදුකර නොමැති බැවින් මෙය පාරිසරික නීති රාමු යටතේ සිදුවන්නක් නොවන බවත්, මෙම වන විනාශයට වගකිව යුතු පාර්ශවයන්ගේ නම් ද ඇතුළත් වාර්තාවක් මීට පෙර ලබාදී තිබෙන බවත්ය.

ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගයීම සඳහා වන නෛතික, ප්‍රතිපත්තිමය හා පරිපාලනමය සැකැස්ම

එසේම මෙම විනාශය, සම්පුර්ණ පරිසර පද්ධතිය ගැන සලකමින් කරුණු සලකා බැලිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

පොලිසිය විසින් භාග්‍යා දැරියගේ ප්‍රශ්න කිරීම පිලිබඳ කරුණු දැක්වීම්:

රත්නපුර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණ තමාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් භාග්‍යා අබේරත්න තරුණිය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඇය විසින් සිරස ලක්ෂපති වැඩසටහනේ සිදුකළ ප්‍රකාශයට අදාළ ප්‍රදේශය පුද්ගලික හෝ රජයේ ඉඩමක් ද යන්න විස්තරාත්මකව, ඉතාමත් සුහදශීලී ආකාරයෙන් පොලිසිය විමසීමක් සිදුකල බවත් එය නිශ්චිත ලෙස තමා නොදන්නා බවත්, තමා ගේ සියැසින් දුටු පරිසර විනාශය පිළිබඳව පමණ හඬක් නැගීමක් පමණක් සිදුකළ බවත්, ඇය පවසා තිබුණා. පෞද්ගලික ඉඩම් වුවද විශාල වශයෙන් ගහකොළ කපා අනවසර ඉදිකිරීම් කිරීමට ඉඩ නොදීය යුතු බව ඇය පවසා තිබුණා.

“ඉඩම් අයිතිකාරයින් ගැන පොලීසිය මගෙන් ඇහුවා -සිංහරාජය ගැන හෙළි කළ තරුණිය කියයි” යන තේමාවෙන් පළවූ භාග්‍යා අබේරත්න තරුණියගේ කරුණු දැක්වීමේ වීඩියෝව මෙතනින්.

මේ පිළිබඳව උදෑසන පුවත් පත් විග්‍රහයකදී කරුණු දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුණේ භාග්‍යා අබේරත්න තරුණිය අපහසුතාවයට පත් කිරීමට හෝ ඇයට විරුද්ධව කිසිදු නීතිමය කටයුත්තක් සිදු කිරීම සඳහා පොලීසිය විසින් ප්‍රශ්න කිරීම සිදු කළේ නැති බවයි. තරුණිය විසින් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සිදුකරන ලද ප්‍රකාශයක් පොලීසිය වෙතද ලබාදිය හැකි විය යුතු බවත් එම විස්තර ලබා ගැනීමට හේතු වූයේ ඇත්ත වශයෙන්ම මෙවැනි අපරාධයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව කරුණු විමසා බලා අදාල පාර්ශවයන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පමණක් බවත් පැහැදිලි කරමින් නියෝජ්‍ය පොලිස්පති තුමා පවසා තිබුණේ මේ ආකාරයට අදහස් ප්‍රකාශ කිරීම අගයන බවත් එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම පොලීසියේ නෛතික වගකීමක් බවත්ය. එම කරුණු දැක්වීම ඇතුලත් වීඩියෝව මෙතනින් (21 වන විනාඩියේ සිට)

Also Read: Fact Check - සිංහරාජ වන විනාශය සහ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පළවූ තවත් සාවද්‍ය ප්‍රකාශ පෙළක්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී අපට පැහැදිලි වන්නේ භාග්‍යා තරුණිය විසින් පෙන්වා දුන් ඉදිකිරීම් සිංහරාජ රක්ෂිතය ප්‍රදේශයට දැනට ඇතුළත් නොවන පෞද්ගලික ඉඩමක් නමුත් එම ප්‍රදේශ ඇතුලත් කිරීම සඳහා කාලයක් තිස්සේ යෝජිත වී තිබු බවයි. එය සිංහරාජ ප්‍රේරණ කලාපයේ ඇති පෞද්ගලික ඔප්පුවක් සහිත ඉඩමක සිදුකරන ලද ඉදිකිරීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය අංශ විසින් තහවුරු කර සිටින බවයි. කෙසේවෙතත් එම භූමියේ කුඩා වැවක් වැනි ඉදි කිරීමක් සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසරයක් ලබාගෙන තිබුණේ නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් සිදුකිරීමට අදහස් කරන බව කලවාන ප්‍රාදේශීය සභාපති තුමා පවසා සිටිනවා.

කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සිංහරාජ ප්‍රේරණ කලාපයේ ඇති හෙක්ටයාරයකට වැඩි මෙම භූමිය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදුකර නොමැති බවත් සම්පූර්ණ පරිසර පද්ධතිය වෙත ඇතිවිය හැකි බලපෑම පිළිබඳ නිසි විමර්ශනයකින් පසු මෙවැනි ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදිය යුතු බවත්ය.

අදාළ ප්‍රකාශය සිදු කළ භාග්‍යා තරුණියගෙන් පොලිසිය කරුණු විමර්ශනයක් කර තිබු අතර ඇය විසින් පවසා තිබූ පරිදි ඇත්ත වශයෙන්ම සිංහරාජ රක්ෂිතය තුළ අනවසර ඉදිකිරීමක් සිදුවන්නේදැයි කරුණු සොයා බැලීම සඳහා එම විස්තර ලබා ගැනීම සිදුවී තිබෙනවා. කිසිඳු ආකාරයෙන් අදාළ තරුණිය අපහසුතාවයකට පත්කිරීම සඳහා හෝ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කරුණු ලබාගැනීම සිදු නොකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටිනවා.

Avatar

Title:Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

By: Sara Gunaratne

Result: Explainer