ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධනේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ, ඔහු නව කඳවුරක් හරහා දේශපාලනය අවතීරණ වීම පිළිබඳව ඇතිවී තිබෙන කතාබහත් සමඟයි.

මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක සහ උපහාසාත්මක සටහන් උවිඳු විජේවීර ඉලක්ක කරගනිමින් නිර්මාණය වී තිබුණි. මේ අතර ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග උවිඳු විජේවීර සිටින ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අපට හෙළි කර ගැනීමට හැකි වූයේ එම ඡායාරූපය සංස්කරණය කර ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

G Anisha Jani නම් අයෙක් විසින් සටහනක් සිය ෆේස්බුක් වෙත එක් කර තිබුණා.

උවිඳු විජේවීර සහ නිශ්ශංක සේනාධිපති” යන තේමාවෙන් පහත සටහන දැක ගන්නට ලැබුණි.

“උවිඳුලගෙ ගෙවල් කුලී ගෙව්වේ සේනාධිපති

උවිඳුලගෙ පිටරට අධ්‍යාපනයට වියදම් කරේ සේනාධිපති

සේනාධිපති හිරේ යද්දී ළඟින්ම හිටියෙ උවිඳු

විජේවීර පවුලෙ මංගල උත්සවවලත් සම්පූර්ණ වියදම්

දැරුවෙ අවන්ට්ගාඩ් සමාගම

අද ජවිපෙට මඩ ගහන්න සල්ලි වියදම් කරන්නෙ සේනාධිපති

අද ජවිපෙ කඩන්න කුමන්ත්‍රණ කරන්නේ උවිඳු

දැන් පැහැදිලි නේද උවිඳු විජේවීර පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා ?

Facebook | Archived

මේ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ මෙලෙසිනි.

මෙහි ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිස් අත්අඩංගුවට පත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහා අධිකරණයට කැඳවූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ උවිඳු විජේවීරද නිශ්ශංක සේනාධිපතිගේ පිටුපසින් සිටින අයුරුයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ආදී කරුණු මත එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට 2019 වසරේ නියෝග ලබා දී තිබුණා. මේ අනුව 2019 වසරේ ඔක්තෝම්බර් මස නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට පත් වුණා.

මහා අධිකරණයට කැඳවීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේ ලබා ගත් මෙම ඡායාරූපයේ උවිඳු විජේවීර ද එහි සිටින බවට හැඟවෙන පරිදි සංස්කරණය කර ඇති බවට අප කළ මූලික නිරීක්ෂණයේදී තහවුරු වුණා.

ඒ සම්බන්ධයෙන් NEWS TUBE වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ මෙලෙසිනි. The Leader පුවත් වෙබ්අඩවියේද මෙහි සත්‍ය ඡායාරූපය පළ කළ තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

සත්‍ය ඡායාරූපය හා සංස්කරණය කරන ලද ඡායාරූපයේ සංසන්දනය පහතින් දක්වා තිබේ.

මෙම අවස්ථාවේ රූපගත කළ වීඩියෝවක් Hiru News ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

එමෙන්ම පසුගියදා නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා වලද මෙම සත්‍ය ඡායාරූපය යොදා ගෙන තිබුණේ මෙලෙසිනි.

ඉහත දක්වා සටහනේ දක්වා ඇති අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අප විමර්ශනය නොකළ බවත් අප විමර්ශනය කළේ සංස්කරණය කර ඇති ඡායාරූපය පිළිබඳව පමණක් බවත් අවධාරණය කරන්නෙමු.

Conclusion (අවසාන නිගමනය)

පොලිස් අත්අඩංගුවට පත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහා අධිකරණයට කැඳවූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයේ උවිඳු විජේවීරද සිටින බවට දැක්වූ ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කළ ඡායාරූපයක් බව අපගේ විමර්ශනයේදී තහවුරු වුණා.

Avatar

Title:මෙම ඡායාරූපයේ නිශ්ශංක සේනාධිපති සමඟ සිටින්නේ උවිඳු විජේවීරද?

Fact Check By: Sara Gunaratne

Result: Missing Context