MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා.

මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් රජයට සහ වරයා අධිකාරියට විශාල දෝෂාරෝපණය එල්ල වුණා. එයට හේතු වුයේ, රටවල් දෙකක් එරට වරායන් තුළට X-Press Pearl නෞකාවේ පැමිණීම වැළැක්වූ බවට අන්තර් ජාතික නාවික පුවත් වෙබ් අඩවියක් වාර්තා කිරීම තුළින්. එසේ රටවල් දෙකක් අවසර නොදී තිබියදී මෙරට මුහුදු සීමාවට මෙම නෞකාව ඇතුළත් කිරීමට අවසර දුන් බවට සමාජ මාධ්‍ය සටහන් පළ වුණා. මෙහි නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

BreakingLK නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුනේ “Splash සගරාවට අනූව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිණිගෙන දැවෙන Express Peral නොෟකාවෙ ගිනිගැනීමේ අවදානමක් සහිත නොෟකාවක් නිසා කටාර් රාජ්‍යය සහ ඉන්දියාව තම මුහුදු සීමාවට ඇතුළු කරගැනීමට පවා ප්‍රතික්ෂේප කර නැවකි.

මෙම නැව චීනයේ නිෂ්පාදිත නැවක් වන අතර එය පෙබරවාරි මාසයේ නිපදවා තිබේ.” යනුවෙන්

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අයුරු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ X -Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20වන දාය.

X-PRESS FEEDERS නම් නෞකා සමාගමට අයත් මෙම නෞකාවේ රැගෙන යමින් තිබූ බහාලුම් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු බහාලුම් කීපයක් ද ඇතුළත්ව තිබුණා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් එහි ඇතිවූ කාන්දුවක් මෙම ගින්නට හේතු වී තිබු බව වාර්තා වුණා.

X -Press Pearl නෞකාවේ අවසන් දින කිහිපයේ ගමන් මග වූයේ අප්‍රේල් 24, 25 යන දෙදෙනි සිංගප්පූරුවේත්, මැයි 9, 10 යන දෙදින ඩුබායි හා Jebel Ali වරාය වෙතටත්, මැයි 11 වන දින කටාර්හි Hamad වරාය වෙතටත්, මැයි 15, 16 යන දෙදින ඉන්දියාවේ Hazira වරාය වෙතටත්, මැයි 20,21 යන දෙදින කොළඹ වරායටත් ඉන් අනතුරුව 25, 26 යන දින නැවතත් මැලේසියාවේ Port Klang වරාය වෙතටත් යනුවෙනි.

මෙම නෞකාවේ ගමන් මග පිළිබඳ එම නෞකා සමාගමේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Archived Link

www.splash247.com  නමැති නාවික පුවත් වෙබ් අඩවිය “X-Press Pearl burning off Sri Lanka was denied entry to Qatar & India” යන සිරස්තලයෙන් වාර්තා කර තිබූ පුවත, මෙරට පුවත් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා දැක්වූ ආකාරයක් අපට දැක ගන්නට ලැබුණා.

Splash247 | Archived

එහි දක්වා තිබුනේ කටාර් සහ ඉන්දීය වරායන් වෙත මෙම නෞකාව ඇතුලත් කර ගැනීමට අවසර ලබා නොදුන් බවයි. මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් සඳහා මෙම වාර්තාව බොහෝ දුරට උපයෝගී වී තිබූ ආකාරය ද අපට දැක ගන්නට ලැබුණා.

කෙසේ නමුත් පසුව නෞකා සමාගම විසින් එම තොරතුර අසත්‍ය බවත් කටාර් සහ ඉන්දීය වරායන්හි X -Press Pearl නෞකාව බහලු මෙහෙයුම් සිදුකර තිබෙන බවටත්, නයිට්‍රික් අම්ලය කාන්දුව සහිත බහාලුම පමණක් පිළිසකර කිරීමට එහිදී ඉල්ලීමක් කළද එය පිළිසකර කිරීමේ විශේෂඥ පහසුකම් හෝ සේවකයන් එම අවස්ථාවේ නොමැති බව එම රාජ්‍යයන් දැක්වූ බව X -Press Pearl නෞකාවේ තත්ත්වය පිළිබඳ නිල තොරතුරු ලබාදෙන x-presspearl-informationcentre වෙබ් අඩවියේ දක්වා තිබුණා. 

x-presspearl-informationcentre | Archived Link

ඉන් පසුව splash247 වෙබ් අඩවියේ ඔවුන්ගේ සිරස්තලය වෙනස් කරමින් සඳහන් කර තිබුණේ, "X-Press Pearl was not allowed to offload leaking box in India and Qatar prior to Sri Lanka call" ලෙසටයි. එනම් ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයන් වලින් කාන්දු වන බහාලුම ගොඩබෑමට ඉඩ නොදුන් බවයි. 

Archived

වෙබ් සිරස්තලය වෙනස් කළත් එහි URL හි දැක්වෙන්නේ පෙර සිරස්තලයමයි. එසේම වාර්තාවේ අනෙකුත් කරුණු ද බොහෝ දුරට නොවෙනස්ව පවතියි.

X -Press Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් (Tim Hartnoll) උපුටා දක්වමින් ද ඉහත පුවත වාර්තා කර තිබුණ ද X -Press Pearl සිදුවීමේ තොරතුරු මධ්‍යස්ථානය (X-Press Pearl - Incident Information Centre) ලෙස X-Press Pearl නෞකාවේ තොරතුරු ලබා දීමට ඔවුන් විසින් සකසා ඇති වෙබ් පිටුවේ හෝ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල්ගේ ප්‍රකාශය පිළිබඳව අපට දැකගන්නට ලැබුනේ නැහැ.

ප්‍රශ්නගත බහලුම ගොඩබැසීමට සහ පිළිසකර කිරීමට කටාර සහ ඉන්දීය වරායන් දෙකෙහි දීම අවසර ඉල්ලා තිබුණ ද එය නොලැබීමෙන් පසුව ලංකාව වෙත ඊළඟ නැවතුම තිබු බැවින් ඒ පිළිබඳ කිසියම් හෝ දැනුවත් කිරීමක් (මැයි 19ට පෙර) සිදුවුණි ද යන්න අප X-Press Pearl ආයතනයේ අග්නිදිග ආසියාවේ අධක්ෂක තුමාගෙන් ද විමසීමක් සිදුකළ අතර එයට මෙතෙක් පිළිතුරක් ලැබී නැති අතර එයට පිළිතුරු ලැබුන පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

කටාරයේ Hamad වරායේ කටයුතු ආරම්භ වී තිබෙන්නේ 2017 වසරේදීය. එසේම ඉන්දියාවේ Hazira වරාය එරට ප්‍රධාන වරායන් අතර සඳහන් වන මෙම වර්ගීකරණයේ දක්වා තිබෙන්නේ දස වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය:

මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීමට අප ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගෙන් විමසීමක් කළේ, මෙම X -Press Pearl නෞකාවේ කාන්දු වීම සම්බන්ධයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමට පෙර දැනුවත් වීමක් සිදු වුනාද යන්නයි.

ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ, එවන් දැනුවත් වීමක් එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් හෝ කටාර් හෝ ඉන්දීය රාජ්‍යයන් විසින් හෝ මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමට පෙර ලබා නොදුන් බවයි.

අදාළ නෞකාව මැයි 19 වන දින ශ්‍රී ලංකා පාලන මැදිරියට ලබා දුන් පණිවිඩය වන්නේ එදින මධ්‍යම රාත්‍රියේ වරාය සීමාවට පැමිණෙන බවත් 20 වන දා අළුයම් කාලයේ කොළඹ දියත් ප්‍රදේශයට පැමිණෙන බවත්ය. එම අවස්ථාවේ වරාය මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටීමට අවසර දුන් බවත් එම අවස්ථාවේ හෝ බහාලුම් කාන්දුව සම්බන්ධයෙන් දැනුවත් නොකළ බව සඳහන් කළා. එම නෞකාවේ බහාලුම් රැසක් කොළඹ වරායට ගොඩ බැස්වීමට කටයුතු යෙදී තිබුණු බවත් මෙම නෞකාවේ අන්තරායදායක බහාලුම් අඩංගු බවට දැනුවත් කර තිබුණ ද කාන්දුවීම හැර නීති වලට අනුකූලව සියල්ල දැනුවත් කර ඇති බවත් පවසා සිටියා.

ප්‍රශ්නගත කටයුත්ත සම්බන්ධයෙන් කාන්දුවන නයිට්‍රික් අම්ලය සහිත බහලුවක් ගොඩබා නැවත සකස් කිරීමට අවසර ඉල්ලා හාබර් මාස්ටර් වෙත පසුදින උදැසන (මැයි 20) විද්‍යුත් පණිවිඩයක් ලබාදෙමින් දැනුවත් කිරීම කළේ, ඉන් පසුව බවත් පවසා සිටියා.

ජෙනරල් දයා රත්නායක මහතා තවදුරටත් පවසා සිටියේ කාන්දු වීම සම්බන්ධයෙන් අඩුම තරමින් ලංකා මුහුදු සීමාවට පැමිණි විගස හෝ සඳහන් කළා නම් ඊට පිළියම් ගැනීමට කටයුතු කිරීමේ හැකියාවක් තිබූ බවයි. ලංකාවේ මුහුදු සීමාවේ එවැනි ප්‍රශ්නයක් පැනනැගුණු අවස්ථාවක එසේ සහය ලබාදීමට වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන ද බැඳී සිටින බවත් මීට පෙර බොහෝ අවස්ථාවල ද එසේ කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මෙවන් කාන්දු වීමක් සම්බන්ධයෙන් ඒවා පිළිසකර කර ගැනීම සඳහා පුහුණුව ලැබූ සහ වෘත්තීය නිපුණත්වය ඇති පිරිස් සිටිවාද යන්න පිළිබඳවද විමසීමේ දී ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ, මෙවන් තත්ත්වයකදී කටයුතු කළ හැකි විශේඥ පිරිසක් ද මෙරට සිටින බවයි.

මේ පිළිබඳ කොළඹ වාරයේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉහත කරුණු තහවුරු කර සිටි අතර මීට පෙර ද වතාවන් දෙකකදී මෙම නැව ලංකාවට පැමිණ තිබු අතර මෙවර ද එහි නිශ්චිත ගමන් මාර්ගයේ මීළඟ නැවතුම වූයේ ලංකාව බව පැහැදිලි කර සිටියා. එතුමා ද පවසා සිටියේ මෙම කාන්දුව පිළිබඳව කොළඹ වරාය වෙත දැනුවත් කිරීම ප්‍රමාද වී තිබූ බවයි. එසේම පැවති අයහපත් කාලගුණික තත්ත්වය ද මෙම ගින්න මර්දනය කිරීමේ කටයුතු වලට විශාල බාධාවක් වූ බව ඒ මහතා පැහැදිලි කර සිටියා.

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිනි ගැනීමෙන් පසු තත්ත්වය යනුවෙන් දෙරණ Big Focus වැඩසටහනේ දී කොළඹ වාරයේ හාබර් මාස්ටර්, වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් දැක්වූ අවස්ථාව මෙතනින්.

වරාය අධිකාරිය විසින් නෞකාව ලංකාව මුහුදු සීමාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ වැරදි අවබෝධයක් ඇති වීම හේතුකොට ගෙන ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

රසායනික ද්‍රවය කාන්දුවීමක් පිළිබඳ ලංකාවේ වෙරළ තීරයට ඇතුල් වීමේදී සිදුවන දැනුම් දීම් වලදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත් දැනුම් දීමක් සිදුවූයේ නැති බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තුමා අප සමඟ පවසා සිටියා.

නැවේ ලංකාවේ නියෝජිත ආයතනයෙන් මෙම තත්ත්වය මීට පෙර දැනුවත් කිරීමක් සිදු වුනේ නැද්ද යන්න පිළිබඳ ව විමසීමට අප ඔවුන්ව ද සම්බන්ධ කර ගත්ත ද ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලැබුනේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා :

X -Press Pearl නෞකාව සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් රැසක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව දක්වමින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද මේ පිළිබඳ දීර්ඝ විස්තර කිරීමක් MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ලබා දුන්නා. එම වීඩියෝව පහතින්.

https://www.facebook.com/NalakaGodahewaOfficial/posts/2779779152334007?__cft__[0]=AZXM2QgpxSO48xBkdIJ5uwfCsnN-9kDbhKcNQPQG9RODLNb7j4jRpxgG4goAMAZBIitJ9l3mh5JtMsI3FB89KMN9nVa19IFpXMne_PAlXQ0yCnKX62R7I1Ztf8ul1AG0jwoif1FeGKh2DsOwndqT9yrg4rqgQdgNQvhu6YuPTmp04w&__tn__=%2CO%2CP-R

මැයි මස 20 වනදා උදෑසන 10 ට පමණ මුලින්ම විද්‍යුත් පණිවුඩයක් මඟින් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බවක් වරයා අධිකාරිය වෙත දැනුම් දුන් බවත් ගින්නක් පිළිබඳව පළමු වරට එදින මධ්‍යහන 12ට පමණ දැනුවත් කළ බවත් ඉන්පසු මද වෙලාවකින් ඔවුන් විසින් ම එය නිරාකරණය කරගත් බවත් දැනුම් දුන් බව පැවසුවා. කෙසේවෙතත් ඊට පැය 2 කට පමණ පසු එනම් දහවල් 2ට පමණ ගිනි ගැනීම නැවත ආරම්භ වී ඇති බැවින් වරයා අධිකාරියේ සහය පැතූ බවත් සඳහන්. මෙම කරුණු ඉහත වරාය අධිකාරියේ නිවේදනයේ ද ඇතුලත්.

එහිදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කර සිටියේ රටවල් දෙකකින් මෙම නෞකාවට ඔවුන්ගේ වරායවල් වෙත පැමිණීමට අවසර ලබා නොදුන් කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි.

එසේම මෙම සිද්ධිය පිළිබඳව වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුවන බවත් නඩු පැවරීමට හා වන්දි ලබා ගැනීමටත් කටයුතු කරන බවත් ඇතුළු කරුණු ද එහිදී පවසා තිබුණා.

MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබඳ දැනුවත් කිරීමේ සම්පුර්ණ මාධ්‍ය හමුව මෙතනින්.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට X -Press Pearl නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ද සහය ඇතිව නැවේ ගින්න පාලනය කර තිබුණ ද කාලගුණික වෙනස්වීම් හේතුවෙන් නෞකාව යළි ගිනි ගැනීමේ අවදානමක් සහ ගිලාබත් වීමේ අවධානමක් පවතින බව ද මෙරට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මැයි 27 වනදා මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙලෙසින්.

මෙම ගින්න හේතුවෙන් පරිසරයට සිදුවූ හානිය පෙන්වන වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

ගින්නෙන් හානි වූ පරිසර පද්ධතිය යතා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත වෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ මෙලෙසින්. MV X - press pearl නෞකාවෙන් සිදු වු පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මේ වන විටත් පුර්ණ හානි ගණනය කරමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් අතරමැදි හානි පූර්ණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කරන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසා තිබුණා.

මීට ඉහතදී පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තිරයේදී පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් වන New Diamond තෙල් නෞකාවේද ගින්නක් හටගත්තා.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වල දක්වා තිබූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගැනීමකට ලක්වූ MV X - press pearl “එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව මීට පෙර රටවල් දෙකකට ඇතුල් වීමට ඉඩ නොදුන් බවට හුවමාරු වී තිබුණේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.

එම සටහන් සඳහා පාදක වී තිබුනේ splash247 නම් වෙබ් අඩවියක පළවූ සිරස්තලයක් වූ අතර පසුව එම වෙබ් අඩවිය එය යාවත්කාලීන කර තිබුනේ ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයන් වලින් කාන්දු වීම සිදුවූ බහාලුම ගොඩබෑමට ඉඩ නොදුන් බව දක්වමින්.

X -Press Pearl නෞකාව ද කරුණු තහවුරු කරමින් පවසා සිටින්නේ කටාර් සහ ඉන්දීය වරායන්හි X -Press Pearl නෞකාව බහලුම් ගොඩබෑමේ සහ පැටවීමේ කාර්යන් සිදුකළ අතර කාන්දු වෙමින් පැවති බහලුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම වරායන් දෙකෙහි දීම ඉල්ලීමක් කළද එය පිළිසකර කිරීමේ විශේෂඥ පහසුකම් හෝ සේවකයන් එම අවස්ථාවේ නොමැති බව පවසමින් එම කටයුතු සිදුකරගැනීමට නොහැකි වූ බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය තහවුරු කර සිටින්නේ X -Press Pearl නෞකාව මෙරට වෙරළ තීරයට ඇතුල් වීමට පෙර මෙම කාන්දුව පිළිබඳ කිසිඳු දැනුම්දීමක් සිදුකර තිබුණේ නැති බවත් පළමු වර දැනුම් දීමක් සිදුකරන්නේ මැයි මස 20 වනදා උදෑසන බවත්ය.

Avatar

Title:ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

Fact Check By: Sara Gunaratne

Result: Misleading