යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්.

සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා රුපවාහිනී වැඩසටහනකදී ඇසූ පැනයක් ඔහුගේ මතයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යට ලක් කරමින් හුවමාරු වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

Gayan Silva නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබු‍ණේ, “නැවේ කැප්ටනුයි, කාර්ය මණ්ඩලයයි, නැවෙන් බැහැල ගියාම, නැවට නගින ඕනෑම කෙනෙකුට නැව අයිති වෙනවා.. - සුනිල් හඳුන්නෙත්ති”

එහි තවදුරටත් දැක්වුණේ “මෙව්ව ඉතිං මොළගෙනාපු නැව්.. උඹලගෙ ගෙවල් පරිස්සම් කර ගනිල්ල එළියට ගිය වෙලාවට මූ ඇතුළට ගිහිං අයිති කර ගනියි.” යනුවෙන් උපහාසාත්මක කෝණයකිනි.

Facebook | Archived

මෙම සටහන බොහෝ පිරිසක් අතර මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගෙන තිබුණා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක් මෙතනින්.

මෙම වීඩියෝවේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා කැප්ටන් හඳුන්නෙත්ති යනුවෙන් සඳහන් කරමින් දක්වා තිබුණේ ඒ මහතා නැවේ කැප්ටන් ඇතුළු කාර්ය මණ්ඩලය, නැවෙන් පිටවී ගියාම නැවට නගින ඕනෑම කෙනෙකුට නැව අයිති වන බවට තම මතය ඉදිරිපත් කළ බවක් හැඟවෙන පරිද්දෙනි.

මේ ඔස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ සටහන්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ප්‍රථමයෙන්ම හඳුන්නෙත්ති මහතා සහභාගි වූ “ගිනිගත් නැවට සැබෑවටම සිදුවූයේ කුමක්ද?” යනුවෙන් සිරස නාලිකාවේ පසුගිය 03 වන දා විකාශය වූ “මාවත” නම් වැඩසටහනේදී සංවාදය අතර තුරදී හඳුන්නෙත්ති මහතා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කරනු ලැබුවා. එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=3DHw4ls3Tmg

X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාව තුළ ගිනි ගැනීම හා සම්බන්ධ ඉන් වූ හානිය සහ ඒ සම්බන්ධයෙන් ඇති මෙරට නෛතික රාමුව හා ජාත්‍යන්තර නාවුක නීතිය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ඇතුළු ඒ හා සම්බන්ධ විද්වත් මඩුල්ලේ කරුණු පැහැදිලි කිරීමක් මෙම වැඩසටහනේදී සිදු කෙරිණ.

මීට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගත් MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන්ද මෙහිදී සංවාදයට ලක් වූ මාතෘකාවක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු කර තිබු අවස්ථාවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා මුහුදු හා නාවුක නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය නීතිඥ ඩෑන් මාලික ගුණසේකර මහතාගෙන් විමසීමක් කළේ, පහත පරිදිය.

දැන් මන් තව දෙයක් කියන්නම් ඔබතුමා ජාත්‍යන්තර නාවුක නීතිය ගැන දන්න හින්දා. මම දේශපාලනඥයෙක්, මම ඕවා දන්නේ නෑ ඒ තරම්ම. ඇහෙන කතානේ. නැවක කපිතාන්වරයයි ක්‍රෘ එකයි බැහැල ගියොත් ඒ නැවට නගින ඕනම කෙනෙක්ට ඒ නැව අයිති කියලා මොකක් හරි නීතියක් තියෙනවද මැරයින් ලෝ එකක් ?

යනුවෙන් ඔහු නොදන්නා කරුණක් සම්බන්ධයෙන් විමසීමක් කරනු ලබන බවට එම වීඩියෝවෙන් පැහැදිලිව දැකගන්නට පුළුවන්. එම කොටස සම්පූර්ණ වැඩසටහන සහිත වීඩියෝවේ පැය 1.විනාඩි 56 තත්පර 31දී(1.56.31) දැක්වෙන අතර එම කොටස පමණක් අඩංගු වීඩියෝව “නැවේ කපිතාන් බැහැලා ගියාම නැව අපිට අයිති වෙන නීතියක් තියෙනවද?” යනුවෙන් Newsfirst.lk ෆේස්බුක් පිටුවේද දැක්වේ. එම වීඩියෝ කොටස පහතින්.

https://www.facebook.com/watch/?v=455106745791215

එමෙන්ම එම ප්‍රශ්නයම එම වැඩසටහන මෙහෙයවන ප්‍රවීන මාධ්‍යෙව්දී ගයාන් සම්පත් විසින් ද ආචාර්ය නීතිඥ ඩෑන් මාලික ගුණසේකර මහතාගෙන්ද විමසා සිටියා.

එහිදී ඒ මහතා සඳහන් කළේ, එලෙස නීතියක් නොමැති බවයි. එසේම ඩෑන් මාලික ගුණසේකර මහතා පවසා සිටියේ මෙම කරුණු මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ යම් අයද ඉදිරිපත් කර තිබූ මතයක් බවත් එවැනි කිසිඳු නීතියක් නොමැති බවත්ය.

සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත ප්‍රශ්නයක් යොමු කරමින් අසනු ලබන්නේ New Diamond නෞකාව ගෙනියනු ලැබුවේ කව්රුන් විසින්ද යනුවෙනි? එහිදී ආචාර්ය නීතිඥ ඩෑන් මාලික ගුණසේකර මහතා සඳහන් කළේ Salvor නැතහොත් Salvage ආයතනයක් මගින් බවයි. (නැව් සමාගම විසින් නම් කෙරෙන අනතුරකට ලක්වූ නැවක් බේරා ගැනීම සඳහා කටයුතු කරන ආයතනය)

මෙම සංවාදය තවත් ඉදිරියට පැවතෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කෙරුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඇසූ පැනය ඔහුගේ මතයක් බවට සඳහන් කරමින් අදහස විකෘති කර සඳහන්කර ඇති බැවිනි.

අප මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන්ද විමසීමක් කළ සිටියේ මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහායි.

ඒ මහතා සඳහන් කළේ, තමන් නොදන්නා කාරණයක් පිළිබඳ එ් සම්බන්ධ විශේඥයෙකුගෙන් විමසා සිටියා විනා තමන්ගේ මතයක් ලෙස ඉදිරිපත් නොකළ බවයි. තමන් පැහැදිලිව එහිදී සඳහන් කළේ, තමන් දේශපාලඥයෙකු පමණක් බවත් එවන් නීතියක් ජාත්‍යන්තර නාවුක නීතියේ තිබෙනවාද යන්න පිළිබඳ පැනයක් යොමු කළ බවයි.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වලද දැක ගන්නට ලැබුණේ නැවේ කැප්ටනුයි, කාර්ය මණ්ඩලයයි, නැවෙන් බැහැල ගියාම, නැවට නගින ඕනෑම කෙනෙකුට නැව අයිති වෙනවා ද? යන්න සත්‍ය වශයෙන්ම ඇසූ පැනය සම්බන්ධයෙන් සඳහන් නොකර නැවේ කැප්ටනුයි, කාර්ය මණ්ඩලයයි, නැවෙන් බැහැල ගියාම, නැවට නගින ඕනෑම කෙනෙකුට නැව අයිති වෙනවා යනුවෙන් මතයක් ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමයි.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ සංවාදාත්මක රූපවාහිනී වැඩසටහනක දී ඒ මහතා යොමු කළ පැනයක් මතයක් ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවා දක්වමින් ජනතාව නොමග යැවීමට කටයුතු සිදු කර ඇති බවයි.

Avatar

Title:සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading