මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් ජනප්‍රිය විදෙස් සඟරාවක් වන Forbes විසින් හෙළි කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී ඉතා සීඝ්‍රයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් දත්තයන් හා තොරතුරු වල නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වල් ශේෂන් නම් ෆේස්බුක් පිටුවක සඳහන් වූයේ 2018 Forbes වාර්තාවට අනුව අපේ රටේ පොහොසත්ම දේශපාලඥයින් 10 දෙනා ඔවුන්ගේ වත්කම් සමග හෙළිකළ ඇති බවයි. ඒ අනුව, ධනවත්ම දේශපාලඥයාගේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එහි දසවන ස්ථානයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවත් දක්වා තිබුණි.

එහි සඳහන් වී තිබු , ධනවත්ම දේශපාලඥයින් දස දෙනා පහතින්.

  1. මහින්ද රාජපක්ෂ
  2. අර්ජුන රණතුංග
  3. මෛත්‍රීපාල සිරිසේන
  4. ආරුගම් තොණ්ඩමන්
  5. විනයාගමූර්ති මුරලිදරන්
  6. එච්.එම්. ෆවුසි
  7. චන්ද්‍රිකා කුමාරතුංග
  8. අනුර කුමාර දිසානායක
  9. එල්. එම්. අතාඋල්ලා
  10. රනිල් වික්‍රමසිංහ

බවට එම වාර්තාවේ දැක්වෙයි.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබූ අයුරු

එමෙන්ම මෙරට ධනවත්ම දේශපාලඥයින් 10 දෙනා යනුවෙන් ඉහත තොරතුරු ම උපුටා දක්වමින් පළ වූ වීඩියෝවක් මෙතනින්.

මෙහි දක්වා තිබු සුවිශේෂී කරුණ ලෙස පෙනී ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනාකම ඩොලර් 18,000,000,000 එනම් ඩොලර් බිලියන 18 ක් (රුපියල් බිලියන 3177 - ඩොලරය රුපියල් 176.51 ලෙස ගණනය කිරීම් සඳහා යොදාගෙන තිබු බව දක්වා තිබුණි).

එම සටහනේ දක්වා ඇති දත්තවල නිරවද්‍යතාවය සෙවීමට බොහෝ දෙනෙකු අපගෙන් ඉල්ලීම් කරනු ලැබුවා. ඒ අනුව මෙහි සත්‍යකරුණු පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහන් වල සඳහන් පරිදි Forbes සඟරාව විසින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් පිළිබඳ වාර්තාවක් නිකුත් කරාද යන්න අප නිරීක්ෂණය කළා.

2018 වර්ෂයේ හෝ ඊට පෙර හෝ පසු වර්ෂවලදී ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් පිළිබඳ Forbes වෙබ් අඩවියේ වාර්තාවක් පළවී තිබුණේ දැයි පරීක්ෂා කළ ද අපට එවැනි වාර්තාවක් දැක ගන්නට ලැබුනේ නැහැ.

2019 වසරේ Forbes වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවූ වාර්තා කිහිපයක ප්‍රධාන වශයෙන්ම දැක්වුණේ පාස්කු ප්‍රහාරය ආශ්‍රිතව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදකාරී තත්ත්වයන්, ලංකාවේ චීන ආයෝජනයන් යනාදී කරුණු පිළිබඳවයි.

එමෙන්ම Forbes වෙබ් අඩවියේ 2018 වසරේ ව්‍යාපාර සඳහා හොඳම රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 78 වන ස්ථානයයි. එම වාර්තාව මෙතනින්.

Forbes සඟරාව විසින් 2018 වර්ෂයේ ලොව ධනවත්ම පුද්ගලයින් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණද, 2018 වර්ෂයේ ලොව ධවනත්ම දේශපාලඥයින් සහ ඔවුන්ගේ වත්කම් හෙළිකළ බවට ඔවුන්ගේ වෙබ් අවඩියේ වාර්තා නොතිබුණි.

නමුත් 2019 වර්ෂයේ අග භාගයේ දී දශකයේ කෝටිපති දේශපාලනඥයින් සම්බන්ධයෙන් Forbes සඟරාවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

එම වාර්තාවට අනුව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වටිනාකම (net worth) ඇස්තම්නේතු කර තිබුනේ ඩොලර් බිලියන 3.1ක් ලෙසයි. එම වකවානුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා චෙක් ජනරජයේ අගමැති වරයෙකු වූ Andrej Babiš ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 3.6 ක් ද ලෙස දැක්වුනා.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින්ගේ වත්කම් ලැයිස්තුව බවට සඳහන් කළ සටහනේ පළමුවට දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 18 ක්.

එ් අනුව ලොව ලොව ධනවත්ම දේශපාලඥයයින් අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නම ද Forbes වාර්තාවේද දැක්විය යුතු වනවා. එසේ නමුත් ඔහුගේ නම එහි සඳහන් වන්නේ නැහැ.

Forbes | Archived Link

එම සංසදනය පහතින්.

එමෙන්ම 2021 ලොව බිලියනපතියන්ගේ ලයිස්තුවේ කිසිඳු තැනක මෙරට කිසිවෙකුගේ නමක් සඳහන් වන්නේ ද නැහැ. (2021 දත්ත හා සැසඳීම කිරීමට හේතුවූයේ මීට පෙර වර්ෂවල Forbes වාර්තාවේ දැක්වූයේ ධනවත්ම 20 දෙනා පමණක් නිසාවෙනි)

Forbes | Archived

කෙසේ නමුත් සමාජ මාධ්‍ය සටහන් වල ශීර්ෂ පාඨයේ දක්වා ඇත්තේ Forbes සඟරාව විසින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් 10 දෙනා කවුරුන්ද යන්න හෙළිකළ ඇති බවයි. මේ සම්බන්ධයෙන් Forbes හි වාර්තාවක් දක්වා ඇති බවට දැකගන්නට නොලැබුණු අතර මේ සම්බන්ධව වෙබ් අඩවියේ පළ නොවූවද Forbes සඟරාවේ හෝ පළ වූ වාර්තාවක් තිබේද යන්න අප ඔවුන්ගෙන් විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරක් මෙතෙක් ලැබුනේ නැහැ.

කෙසේවෙතත් අප මෙරට සටහනේ සඳහන් දේශපාලඥයින් 10 දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් වෙනත් ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළෙමු.

එක්සත් රාජධානියේ Asian World News නම් පුවත් වෙබ් අඩවියක 2019 වර්ෂයේදී පළ වූ වෙබ් වාර්තාවේ දක්වා තිබූණේ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා සහ ඔවුන්ගේ වත්කම් පිළිබඳවයි. එම පුද්ගලයන් 10 දෙනා ලෙස මෙරට සටහනේහි සඳහන් වූ දේශපාලඥයින් 10 දෙනාගේ වත්කම් දක්වා තිබුණා.

මෙම වාර්තාවට අනුව මෙරට සංසරණය වූ සටහන් නිර්මාණය කර ඇති බව එහි දත්තයන් සන්සන්දය කිරීමේදී දැකගන්නට පුළුවන්. එහි මහින්ද රාජපක්ෂ මහතාගේ ශුද්ධ වටිනාකම (net worth) ඩොලර් බිලියන 18ක් ලෙසත් අර්ජුන රණතුංග ඩොලර් මිලයන 68ක් ද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඩොලර් මිලියන 14ක් ද යනාදී වශයෙන් දක්වා තිබුණා. එම වාර්තාව පහතින්.

Asianworldnews | Archived Link

නමුත් මෙම වෙබ් වාර්තාව සඳහා පදනම් කර ගත් මූලාශ්‍ර හෝ එම ගණයය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව එම වාර්තාවේ දක්වා නොතිබුණි.

මෙරටේ ධනවත්ම දේශපාලඥයින් 10 දෙනා සම්බන්ධයෙන් වාර්තා කර තිබූ එක්සත් රාජධානියේ Asian World News වෙබ් වාර්තාව සඳහා උපයෝගී කරගත් මූලාශ්‍ර සම්බන්ධයෙන් අප ඔවුන්ගේ විමසීමක් කළ අතර ඔවුන් ඒ සඳහා මෙතක් පිළිතුරක් ලබා දුන්නේ නැති අතර පිළිතුරක් ලැබුනහොත් ඒ හා සමඟ මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට Factcrescendo අප බලාපොරොත්තු වෙමු.

එමෙන්ම මේ සම්බන්ධයෙන් INDAPAPER.COM නම් වෙබ් අඩිවියකද දක්වා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණද, නමුත් මේ වන විට එම වාර්තාව ඉවත් කර තිබෙනවා.

Update: අප ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් Forbes ආයතනයෙන් සිදුකළ විමසීමට ජුනි මස 23 වැනිදා පිළිතුරු ලැබුණු අතර එහිදී ඔවුන් තහවුරු කර සිටියේ මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලකයින්ගේ ලැයිස්තුවක් ඔවුන් විසින් පළකර තිබුනේ නැති බවයි

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පෙන්වා දිය හැක්කේ Forbes සඟරාව විසින් මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළ බවට සඳහන් සටහන් නොමඟ යවන සුළු නිල මුලාශ්‍රයක් රහිතව පළවූ සටහන් පෙළක් බවයි.

Forbes සඟරාව විසින් එවන් වාර්තාවක් නිකුත් කර තිබෙන බවට ඔවුන්ගේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට නොලැබෙන අතර මෙම සටහනේ දැක්වෙන දත්තයන් හා සත්‍ය වශයෙන්ම Forbes හි පළවූ ලොව ධනවත්ව දේශපාලඥයින්ගේ වත්කම හා සැසඳීමේදී එම වටිනාකම, එම අවධියේ අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල් ට්‍රම්ප්ට වඩා 6 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් පමණ වැඩි බව පෙනී යයි. එසේනම් 2019 වසරේ පළවූ Forbes හි පළවූ දශකයේ ලොව ධනවත්ම දේශපාඥයින්ගේ ශ්‍රේණිගත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත් විය යුතුව තිබුණා. ඒ අනුව ද Forbes හි මෙවැනි වාර්තාවක් පළවිය නොහැකි බව පෙනී යනවා.

තවද, සමාජ මාධ්‍ය සටහන් උපයෝගී කරගත් බවට උපකල්පනය කළ හැකි Asian World News වාර්තාවේ දත්තයන් සඳහා යොදා ගත් මූලාශ්‍ර දක්වා නොතිබීම හේතුවෙන් එය ද මුලාශ්‍ර හෝ ක්‍රමවේදයකින් තොරව පළකර තිබු සටහනක් ලෙස දැක්විය හැක. එහි පෙන්වා තිබු කරුණු ලබාගත් ආකාරය පිළිබඳ විස්තරයක් ද ඔවුන්ගේ විමසීමේ දී මේ වන තෙක් අපට ලබා දී නැහැ.

Avatar

Title:Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading