ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ ඡායාරූපවල පෙනී සිටින විවිධ පුද්ගලයන් හුවා දක්වමින් ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ ජාලවල හුවමාරු වෙනු අපට නිතර දැකගන්න ලැබෙනවා.

එලෙස ඡායාරූපයක සිටින පුද්ගලයෙකු, පාස්කූ ප්‍රහාර මාලාවේ ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරනෙ බෝම්බකරු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ 2019 වර්ෂයේ සිට මේ දක්වා සංසරණය වන ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අචිනි වීරසූරිය නමැති තැනැත්තියක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අනුර කුමාර දිසානායක මහතා මුස්ලිම් පුද්ගලයෙක් සමග සිටින ඡායාරූපයක් දක්වමින් සඳහන් කර තිබුණේ, “ෂැන්ග්‍රිලා එකේ මරාගෙන මැරුන එකා උගේ විප්ලවීය නායකයා සමග. දැන් වරෙන්කො ජෙපි මල්ලිල ටික මූව අදුරන්නේ නෑ කියාගෙන මෙතන...හැබැයි කියන්න එහෙම එපා මේව එඩිට් කියල හරිද ..”

Facebook | Archived Link

පාස්කූ ප්‍රහාරයත් සමග මෙම ඡායාරූපය සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බව පෙනී යන අතර නැවතත් මේ දිනවල මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන බවක් නිරීක්ෂණය වුණා.

මීට පෙර වර්ෂවලදී ෆේස්බුක් ඔස්සේ මෙම සටහන හුවමාරු වූයේ මෙලෙසිනි.

2021 ජුනි මස 18 වැනිදා පළවී තිබු සටහනක් පහතින්

Facebook | Archived

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

2019 වර්ෂයේ දී මෙරට සිදුවූ පාස්කූ ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඡායාරූප සම්බන්ධයෙන් එම අවධියේ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වලද පුවත් වාර්තා පලවී තිබුණා.

ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාරයන්හි බෝම්බකරුවන් වූයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයයි.

ෂැන්ග්‍රිලා ප්‍රහාරය ඇතුළු අනෙකුත් බෝම්බකරුවන්ගේ අනන්‍යතාව පිළිබඳව පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. එම ඛේදවාචකයේ CCTV දර්ශන මෙතනින්.

එමෙන්ම හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ ඡායාරූප වලද ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පුද්ගලයා පිළිබඳ සඳහනක් නොමැත. එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

අප මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම පුද්ගලයා මුතුර් ප්‍රදේශයේ වෙසෙන එස්. පජීර් නමැති ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බවයි.

2019 වසරේ ජවිපෙ තෝපූර් සංවිධායක ලෙස පජීර් මහතා කටයුතු කළ බව ජවිපෙ නිල ෆේස්බුක් පිටුවේ සටහනක දැක්වුණේ මෙලෙසින්. පාස්කු ප්‍රහාරයෙන් පසුව JVP ත්‍රිකුණාමල ෆේස්බුක් පිටුවේ පරීර් මහතා ද එක්වූ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පිලිබඳ සටහනක් මෙතනින්.

ඡායාරුපය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා එස්. පජීර් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.

ඔහු සඳහන් කළේ තමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් ෂැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරු තමන් ලෙස සඳහන් කරමින්, ජවිපෙ නායක අනුරකුමාර මහතා සමග ලබාගත් ඡායාරූපයක් පාස්කු පරහාරයෙන් පසුව අවභාවිතා කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමග ගත් මෙම ඡායාරූපය ත්‍රීකුණාමලයේ පැවති උත්සවයකදී ගත් ඡායාරූපයක් බවද ඔහු පවසා සිටියා.

තම ඡායාරූපය අවභාවිතා කර තමන් ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගසමින් තම පක්ෂයේ නායකයා පිළිබඳ වැරදි අවබෝධයක් සමාජයට දීමට මෙසේ කටයුතු කර තිබු බැවින් 2019 අප්‍රේල් මාසයේ දී ම මුතූර් පොලීසියට මේ පිළිබඳව පැමිණිල්ලක් කළ බවද ඔහු සඳහන් කළා.

එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් සමඟින් පළව තිබු වාර්තාවක් පහතින්.

LankaTruth | Archived

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ කරුණු අනාවරණයෙන් පැවසිය හැක්කේ 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාර මාලාවේ ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ දැනට ජීවතුන් අතර සිටින ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවෙකු වන එස්. පජීර් මහතා බවයි. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව මුල්වරට හුවමාරු වූ මෙම සටහන් සම්බන්ධයෙන් ඔහු එම අවධියේ පොලිසියට පැමිණිලි කර තිබුණා.

ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේ බෝම්බකරුවන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අය බවට හඳුනාගනු ලැබුවා.

Avatar

Title:අනුර සමඟ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙක්?

Fact Check By: Pavithra Sandamali

Result: False