ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා.

මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Lanka Facebook නම් සමූහයට ප්‍රියාන් ලියනගේ නම් පුද්ගලයෙකු සටහනක් එකතු කර තිබුණා. එහි දක්වා තිබුණේ මෙක්සිකෝවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු විවාදයක් අතරතුර සිය ඇඳුම් සියල්ල ඉවත් කර විරෝධතාවක් දක්වා ඇති බවයි.

මෙක්සිකානු පාලකයන් ජනතාවගේ මුදල් සොරාගනිමින් සිටින අතරේ ජනතාව පීඩා විඳිමින් අතරමං වී සිටිය ද ඒ පිලිබඳ ලජ්ජා නොවන බව හැඟවෙන අදහසක් පාර්ලිමේන්තුවේ දී පවසා ඇති බවට එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.

ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසුවා යයි සඳහන් වන කොටස පහතින්.

මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මාව මෙහෙම නිරුවතින් දකින්න ඔබ සියල්ල ලජ්ජා වෙනවා ඇති. න්වමුත් මේ රටේ ජනතාවගේ මුදල් සහ ඔවුන්ට දිය යුතු පහසුකම් ඔබලා සොරාගෙනඔවුන්ව වීදිවල නිරුවතින්, පාවහන් නොමැතිව, රැකියා විරහිතව, කුසගින්නෙන් මංමුලාවෙලා ඉන්නවා දකින්න ඔබ සියළුදෙනා ලජ්ජා වෙන්නේ නැහැ” 

Facebook | Archived

බොහෝ දෙනෙක් අතර මෙම සටහන් හුවමාරු වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

අප මෙහි සත්‍ය සිදුවීම පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම ඡායාරූප කොටස රිවර්ස් ඉමේජ් සෙවුම ඔස්සේ පරීක්ෂාවක් සිදු කර බැලුවා. එහිදී අපට මෙම සිදුවීමේ පසුබිම් කතාවට භාජනය වී තිබූ කරුණ සම්බන්ධයෙන් දැන ගැනීමට හැකිවුණා.

පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරේ ඇන්ටෝනියෝ ගාර්ෂියා (Antonia Garcia) මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙසේ ඇඳුම් ගලවා රටේ තෙල් අංශය විදේශ ආයෝජන සඳහා විවෘත කෙරෙන මතභේදාත්මක නීති හෙළා දැකීම වෙනුවෙන් මෙලෙස ඇඳුම් ඉවත් කර මෙසේ විරෝධය දක්වා ඇති බවයි කරුණු අනාවරණය වුණේ.

2013 වසරේදී පාලක පක්ශය විසින් පුද්ගලික සමාගම් වලට තෙල් කැනීම් කටයුතු වලට අවසර දෙමින් ගෙන ආ පනතට විරෝධය දැක්වීමට ඇන්ටෝනියෝ ගාර්ෂියා මේ ආකාරයට හැසිරුන බව BBC වාර්තාවකින් ද දක්වා තිබුණේ පහත අයුරින්.

BBC | Archived

මෙක්සිකානු රජය එරට විදුලි සැපයුම් සේවාද පුද්ගලීකරණය කළා සේම මෙම තෙල් කැනීමේ අයිතියද පුද්ගලීකරණය කරමින් එම සම්පත් ජාතියෙන් උදුරා ගන්නා බවට ඇන්ටෝනියෝ ගාර්ෂියා ඔහුගේ කතාවේ ප්‍රකාශ කළ බවට රොයිටර් සේවාව ඔවුන්ගේ වෙබ් අඩවියේ පල කල වාර්තාවක සඳහන් වෙනවා.

Reuters | Archived

මෙම කතාව සිදු කරන අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝ පටයක් අපට යූටූබ් තුලින් හමු වුණා. එම කතාව ඔහු සිදු කරනු ලබන්නේ ස්පාඤ්ඤ භාශාවෙන් වන අතර 11 වන විනාඩියෙන් පසුව පමණ මෙසේ ඇඳුම් ඉවත්කර යට ඇඳුමින් පමණක් කතා කරමින් ඔහුගේ විරෝධතාව ප්‍රකාශ කර සිටියා.

https://youtu.be/zh1l_laSgBQ?t=694

YouTube

මෙම කතාව හා සම්බන්ධයෙන් පළවූ වෙනත් පුවත් වාර්තා පරීක්ෂා කළ අතර ඒ සියල්ලකම දැක්වෙන්නේ ද පෞද්ගලික ආයෝජකයින්ට රජයේ තෙල් හා ගෑස් සමාගමක ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙන බලශක්ති පනතට පළ කරන විරෝධතාවක් ලෙසයි.

එහි සඳහන් වී තිබෙන්නේ 'This is how you're stripping the nation. Where is the benefit? ‘How shameful! But this doesn’t embarrass me,’ යනාදී වශයෙන්. එනම් “'ඔබ ජාතිය නිරුවත් කරන්නේ මේ ආකාරයට ද. මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?” යනාදී වශයෙන් ඔහු එහිදී ප්‍රශ්න කර තිබුණා.

පාලකයින් ජනතාවගේ මුදල් සොරා ගනිමින් සිදුකළ දුෂණය සහ පහසුකම් සොරගනීම පිළිබඳව ඔහුගේ 2013 දෙසැම්බර් මස සිදුකළ කතාවේ සඳහන් වී තිබු බවක් දැක්වෙන්නේ නැහැ.

WSJ | Daily Mail

මෙසේ තෙල් කැනීම් කටයුතු සඳහා පුද්ගලික අංශ වෙත අවස්ථා ලබාදීම තුළින් රජය මඟින් රජයේ දූෂණ පිළිබඳව ද ඔහු අදහස් කර තිබුණා විය හැකි වුව ද එය අපට සත්‍යාපානය කළ හැකි කරුණක් නොවන අතර සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන්නේ ඔහු විසින් සිය කතාවේ දී මේ ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළා යනුවෙනි.

මෙම සටහන් ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයකින් ලොව පුරා ද හුවමරු වී තිබු අතර ලංකාවේ දක්නට ලැබෙන්නේ එහි සිංහල පරිවර්තනයයි. ඉංග්‍රීසි බසින් මේ පිළිබඳව සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්. එම විමර්ෂණ වලදී ද දැක්වෙන්නේ ඔහුගේ කතාවේ දී එබඳු කරුණක් පවසා තිබුනේ නැති බවයි.

Also Read:

FACT CHECK: හරීන් ප්‍රනාන්දු මහතා කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වල දක්වා ඇති පරිදි ඇත්ත වශයෙන්ම 2013 වසරේ දී මෙක්සිකානු මන්ත්‍රීවරයෙකු පාර්ලිමෙන්තුදී ඇඳුම් ගලවා යට ඇඳුමින් පමණක් විරෝධතාවයක් දක්වා තිබූ බවයි.

එසේ නමුන් එම සටහනේ පරිදි රටේ පාලකයින් රටේ ජනතාවගේ මුදල් සහ පහසුකම් සොරාගනිමින් සිටින බවට එම දිනයේ දී මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා වන්නේ නැති අතර එහි දී ඔහු විරෝධතාවය දක්වා තිබුනේ එවකට මෙක්සිකානු රජය විසින් ඉදිරිපත් කර තිබු තෙල් කැනීම් සඳහා පුද්ගලික සමාගම් සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධ පනතකටයි.

Avatar

Title:මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

Fact Check By: Sahan Perera

Result: Missing Context