
2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වූයේ තරඟකරුවන් ලිංගික කටයුතු වලින් වළක්වා ගැනීමට මෙලෙස උපාය මාර්ගයක් යෙදූ බවයි. මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් :
Words Of World – WOW එක නමැති ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ,
මෙවර ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ තරඟකරුවන් අතර ලිංගික කටයුතු වැලැක්වීමට ජපානය අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබේ. ඒ අනුව සියලු දෙනා භාවිතා කරන ඇඳන්, විශේෂ කාඩ්බෝඩ් වර්ගයකින් සාදා ඇති අතර, ඒවාට එක් පුද්ගලයෙකුගේ පමණක් දරා ගත හැකි අයුරින් නිර්මාණය කර ඇත. යනුවෙනි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පළ වූ තවත් සටහනක දැක්වුණේ, මෙම තරඟාවලිය අතරතුරදී ක්‍රීඩකයන් ලිංගිකව එක්වීම වැළැක්වීම වෙනුවෙන් ජපානයේ ඔලිම්පික් සංවිධායකයන් විශේෂ කාඩ්බෝඩ් ඇඳන් 18000ක් ලබා දී ඇති බවට පුවතක් රේකා කහඳගම නම් අයෙකු විසින් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.එහි දැක්වුනේ මෙම ඇඳන් වල එක් පුද්ගලයෙකුගේ බර පමනක් දරා ගැනීමට හැකි බවයි.

සමාජ මාධ්‍යයේ උණුසුම් මාතෘකාවක් වුණ මෙම සටහන් ෆේස්බුක් තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම පුවතේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නිල වශයෙන් ඇඳන් සපයන සමාගම වන airweave ආයතනය මේ සම්බන්ධව පළ කර ඇති කරුණු සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එම ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ඔවුන්ගේ වෙබ් අඩවියේ එලි දක්වා තිබුණා. එහි සඳහන් කර තිබුණේ, ඔලිම්පික් උළෙල සඳහා ඔවුන් නිර්මාණය කර ඇත්තේ නැවත වරක් ප්‍රතිචක්‍රීකරන කළ හැකි කාඩ්බෝඩ් වලින් තැනූ ඇඳන් බවයි.

මෙම ඇඳන් සඳහා භාවිතා කරනු ලබන්නේ නැවත වරක් භාවිතා කළ හැකි ඉහළ ප්‍රතිරෝධයක් සහිත සැහැල්ලු කාඩ්බෝඩ් බවත්, එවැනි ඇඳන් 18,000ක් සහ ආබාධිත තරඟකරුවන් සඳහා සුළු වෙනස්කම්වලට භාජනය වූ එවැනි ඇඳන් 8000ක ප්‍රමාණයක් ක්‍රීඩකයන් සඳහා සූදානම් කර ඇති බවයි.
කාඩ්බෝඩ් අමුද්‍රව්‍ය නැවතත් කඩදාසි නිර්මාණ වලටත් මෙට්ට සඳහා භාවිතා කර අමුද්‍රව්‍ය ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා භාවිතා කරන බව usatoday.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එම සඳහනනේ වැඩි දුරටත් සඳහන්ව තිබුනේ මෙම ඇඳන් රාත්තල් 441ක පමන බරක් දැරිය හැකි බව දක්වා තිබුණා. සාමාන්‍යයෙන් මෙම බර වැඩුණු පුද්ගලයන් දෙදෙනෙකුගේ බරක් බව පහත වාර්තාවට අනුවද පෙනී යනවා.
NHK ආයතනය විසින් දක්වා ඇති වීඩියෝ පටයකද මෙම ඇඳන් පිළිබඳව පැහැදිලිව දක්වා ඇති අතර එහි බර කිලෝග්‍රැම් 200ක් දැරිය හැකි බව පැහැදිලිව සඳහන් වෙනවා.
මේ වනවිට ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ කර ඇති බැවින් දැනට එහි තරඟ සඳහා එකතුව ඇති Rhys Mcclenaghan නම් ජිම්නාස්ටික් ක්‍රීඩකයා මෙම ඇඳක දරාගැනීමේ හැකියාව පිළිබඳ පෙන්වීමට වීඩියෝ පටයක් සිය Twitter ගිණුමේ පළ කර තිබෙනවා. එම වීඩියෝව පහතින්.
මෙම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමෙන්ද පෙනී යන්නේ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් වෙනුවෙන් නිම කර ඇති ඇඳන් සඳහා විශාල දරා ගැනීමේ හැකියාවක් ඇති බවයි.
Olympics නිල Twitter ගිණුමේ Rhys Mcclenaghan මිත්‍යාව දුරු කිරීම සම්බන්ධයෙන් වූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර තිබුණේ මෙලෙසින්.
Factcresendo අප බෙංගාලි කණ්ඩායම මේ සම්බන්ධයෙන් කළ කරුණු විමර්ශනය මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු අනුව සැලකීමේදී අපට පෙනී යන්නේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිර්මාණය කර ඇති ඇඳන් වල දරාගැනීමේ ප්‍රමාණය එක් පුද්ගලයෙකුගේ බරට පමණක් සාදා නොමැති බවයි. එමෙන්ම එසේ ඇඳවල් නිර්මාණය කර ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වැළැක්වීමට නොව කාඩ්බෝඩ් වලින් නිර්මාණය කරන ලද ඇඳවල් නැවතත් ප්‍රතිචක්‍රීකරණය කර භාවිතයට ගැනීමට හැකිවීම නිසා බව ද වාර්තා වනවා. එබැවින් ඔලිම්පික් ක්‍රීඩකයින්ට ලිංගික කටයුතු වැළැක්වීමට විශේෂ කාඩ්බෝඩ් ඇඳන් එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ලබාදී ඇති බවට හුවමාරු වන ෆේස්බුක් සටහන් අසත්‍ය බවට අපට තහවුරු කළ හැකියි.

Title:2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?
Fact Check By: Sahan PereraResult: Misleading
