පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදුකළ ගවේෂණයකුයි මේ .

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් සමාජ ජාලයේ පළව තිබූ සටහනක දැක්වුණේ,

ඕස්ට්‍රේලියාවේ කෑම සලාක පෝලිම - වියලි ආහාර එක් අයෙකුට පැකට් 2 යි . Shopping යාම පවුලකින් එක් අයෙක් පමනයි. කිරිබත් කාපු බයියන්ට දෑන් සැපද ?

කොරන්න පුළුවන් එකෙක්ට දීලා යන්නකෝ ගෝටා...”

Facebook | Archived

මෙම ඡායාරූප සහ සටහන් ෆේස්බුක් අවකාශය තුළ පැතිර තිබුණේ මෙලෙසින්.

ඉහත සටහන්වල දැක්වෙන පරිදි මෙම ඡායාරූප මගින් දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය පිළිබඳ අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මුලින්ම මෙහි ඇති ඡායාරූප සම්බන්ධයෙන් විමසා බැලීමට Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී අපට පෙනී ගියේ මෙම ඡායාරූප ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැලවල් 2 කදී, 2020 වසරේ ලබා ගත් ඡායාරූප බවයි.

සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු ඉහත ඡායාරූපය ගෙන තිබුණේ 2020 මාර්තු මාසයේදී යි, එනම් කොවිඩ් වසංගතයේ ආරම්භක අවධියේ යි . ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය වාර්තා කර තිබුනේ මෙයින් නිරූපණය වන්නේ කොරෝනා තත්ත්වයත් සමග ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම සඳහා සුපිරි වෙළද සැල් ආශ්‍රිතව පෝලිම් වල සිටින ජනතාව ලෙසයි. මෙහිදී ග්‍රොසරි හිමිකරුවන්ගේ සංගම් පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණේ , සුපිරි වෙළදසැල් වලින් විශාල තොග වශයෙන් බඩු භාණ්ඩ මිලට ගැනීමෙන් වලකින ලෙසයි. එම ඡායාරූපය ඇතුලත් ABC මාධ්‍ය වාර්තාව මෙතනින්.Archived.

Epa.eu

දෙවන ඡායාරූපය ලබාගෙන ඇත්තේ ද 2020 මාර්තු මාසයේදීයි. එය පළව තිබු European Press Photo Agency විස්තරයට අනුව එයින් දැක්වුණේ, කොරෝනා තත්ත්වය නිසා ආහාර ගබඩා කර ගැනීම සඳහා බඩු භාණ්ඩ මිලට ගැනීම සඳහා සිඩ්නි නුවර සුපිරි වෙළදසැල් අවට ජනතාව පෝලිම් ගැසී ඇති බවකුයි. COVID-19 හේතුවෙන් මිනිසුන් වෙනදාට වඩා බොහෝ දේ මිලදී ගැනීමට කටයුතු කර තිබු බැවින් (panic buying) එදිනෙදා භාණ්ඩ බොහෝමයක් මිලදී ගැනීමට එම අවධියේ දී සුපිරි වෙළඳ සැල් සීමා පනවා තිබු බවත් වාර්තා වුණා. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.Archived.

Getty Images

තෙවන ඡායාරුපය සම්බන්ධයෙන් පලවී තිබු විස්තරයේ දක්වා තිබුනේ එය 2020 නොවැම්බර් මස දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී ලබාගත් ඡායාරුපයක් බවයි. එහිදී දින 6ක් සඳහා ලෝකඩවුන් තත්වයක් ප්‍රකාශ කර තිබු අතර සුපිරි වෙළඳ සැල් වෙත යා හැක්කේ එක් නිවෙසකින් එක් අයෙකු ලෙස සීමා කර තිබුණි.

කෙසේනමුත් අප වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින තත්වය පරීක්ෂා කිරීමට ද යුහුසුළු වුණා. කොරෝනා ඩෙල්ටා නව ප්‍රභේද ව්‍යාප්තියත් සමග කොරෝනා 3 වන රැල්ලේ වර්ධනයත් සමග ඔස්ට්‍රේලියාවේ සිඩිනි, මෙල්බර්න් සහ කැන්බරා යන නගර මේ වන විට වසා දමා තිබෙනවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

කෙසේනමුත් පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ Foodbank නමැති ඕස්ට්‍රේලියාවේ විශාලතම ආහාර පිලිබඳ සහන සංවිධානයක දිගු ආහාර පෝලිමක් තිබු අයුරු මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්. එමඟින් පෙන්වා දී තිබුනේ පවතින ලොක්ඩවුන් තත්වය යටතේ පැනනඟි තිබු විවිධාකාරයේ සමාජීය හේතුන් මුල්කරගනිමින් සමාජයේ ඇතැම් කොටස් ආහාර සපයාගැනීමේ අර්බුදයකට මුහුණ පාමින් සිටින බවයි.

කෙසේ වෙතත් 2020 වසරේ ඉහත වාර්තා කර තිබු ආකාරයේ සලාක ක්‍රමයට ආහාර ලබාදීමට කටයුතු කිරීම පිලිබඳ වාර්තා ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වාර්තා වී තිබෙනු දැකගනන්ට නොලැබුණි. රට තුළ වර්තමානයේ ආහාර හිඟයක් ඇත්දැයි අප ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුල් කිහිපයකින් ද විමසා බැලුවා. ඔවුන් පැවසුවේ, ඔස්ට්‍රේලියාව තුළ ඇති තරම් ආහාර ඇති බවත් සලාක ක්‍රමයක් හෝ බඩු භාණ්ඩ මිලට ගැනීම සඳහා සුපිරි වෙළද සැල් වලට යාම සීමා කිරීමක් කර නැති බවකුයි.

කෙසේනමුත් ලොක්ඩවුන් තත්වයන් ඉවත් කිරීමේ දී ක්‍රමවත්ව ක්‍රියාකළ යුතු බවත් එසේ නොමැති නම් ආහාර සැපයීමේ දාමයේ අවදානම් සහගත තත්වයන් ඉදිරියේ මුහුණපෑමේ අවදානමක් ද තිබිය හැකි බව Australian Food & Grocery Council’s (AFGC) පෙන්වා දී තිබුනේ මෙලෙසින්

වර්තමාන ඕස්ට්‍රේලියානු තත්වය පිලිබඳ නිල තොරතුරක් ලබා ගැනීමට අප ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් සිදුකල අතර ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණි. එම පිළිතුර සමඟ මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ කරුණු විමර්ශනයන්ට අනුව පෙනී යන්නේ, ඉහත සඳහන් කල සමාජ ජාල සටහන් ඕස්ට්‍රේලියාව තුළ ආහාර අර්බුදයක් ඇති බව පෙන්වීමටත්, බඩු භාණ්ඩ හිඟයක් ඇති නිසා වෙළද සැල් වලට යන පිරිස සීමා කිරීමට කටයුතු කර ඇති බව පෙන්වීමටත් යොදා ගෙන තිබුනේ 2020 වසරේ කොරෝනා වසංගතයේ මුල් අවධියේදී සහ වෙනත් අවස්ථාවල ආහාර හා අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම් වල සිටි ආකාරය දැක්වූ ඡායාරුප පෙළකි. එම අවධියේ දී ජනතාව බඩු රැසක් ලබාගැනීමට කටයුතු කර තිබු හෙයින් (panic buying) විවිධ සලාක ක්‍රම යටතේ සහ පවුලේ එක් සාමාජිකයෙකු ට පමණක් වෙළඳ පොළ වෙත පැමිණිමේ සීමා පනවා තිබුණි

කෙසේනමුත් මේ ආකාරයේ තත්වයක් දැනට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ නැති අතර බොහෝ ප්‍රදේශ ලොක්ඩවුන් තත්වයේ පවතින අතර එම සීමා ඉවත් කිරීමත් සමඟ ක්‍රමානුකූලව කටයුතු නොකළහොත් ආහාර සපයා ගැනීමේ දාමයේ යම්කිසි අවදානම් තත්වයන් ඇතිවිය හැකි බව ඕස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු හඟවයි. තවද වසර දෙකකට ආසන්න කාලයක් බලපැවැත්වෙන කොවිඩ් තත්වය හේතුවෙන් ඇති වී තිබෙන සමාජීය බලපෑම් හේතුවෙන් ඇතැම් ඕස්ට්‍රේලියානුවන් ආහාර අර්බුදයකට මුහුණ පා ඇති අයුරු, සහන ක්‍රමයට ආහාර සපයන ආයතන වල දිගු පෝලිම් ඔස්සේ පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා.

Avatar

Title:ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්... ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

Fact Check By: Kalana Krishantha

Result: Misleading