ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා පෘතුවිය දෙසට යෝධ ග්‍රාහකයක් පැමිනීමට නියමිතය. කිලෝමීටර් 791 ක විෂ්කම්භයකින් යුත් එම ග්‍රාහකයේ උස ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා තරම්ය. ග්‍රාහකයේ ගමන්මග දශමයිකින් හෝ වෙනස් වුවහොත් එය පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු අඟවා තිබේ. ” යනුවෙන් සඳහන් කළ සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

සත්‍ය වශයෙන්ම මෙම ග්‍රාහකයා පෘථීවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇත්දැයි අප විමර්ශනයක් කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්දැයි විමර්ශනය කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ, බොහෝ මාධ්‍ය වාර්තා වල සඳහන් වූ පරිදි නාසා ආයතනය පවසා ඇත්තේ, මෙම ග්‍රාහකය පෘථිවියේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ප්‍රමාණයටත් වඩා උසින් යුත් විශාල ග්‍රාහකයෙක් දෙසැම්බර් මැද භාගයේදී පෘථිවිය දෙසට ගමන් කරන බවයි.

මෙම ග්‍රාහකය හඳුන් වන්නේ,163899 (2003 SD220) ලෙසයි. මෙම ග්‍රාහකයාගේ විෂ්කම්භය මීටර් 791 ක් පමණ වන අතර 2015 දී Puerto Rico හි Arecibo නිරීක්ෂණාගාරය විසින් කරන ලද නිරීක්ෂණ මගින් පවසා ඇත්තේ මෙම ග්‍රහකයා අවම වශයෙන් කිලෝමීටර 2 ක් දිග විය හැකි බවයි. වර්තමාන නාසා ඇස්තමේන්තු වලට අනුව මෙම ග්‍රාහකය විෂ්කම්භය මීටර් 791ක් බවට පවසා තිබෙනවා.

163899 (2003 SD220) නමැති මෙම ග්‍රාහකය දෙසැම්බර් 17 වන දින පෘථිවිය පසුකර ග්‍රහලෝකයේ සිට කිලෝමීටර මිලියන 5.4ක් පමණ දුරින් තත්පරයට කිලෝමීටර 5.6ක වේගයෙන් පියාසර කරනු ඇති බවත්, එහි විශාලත්වය මත සහ පෘථිවියට සමීප වීම හේතුවෙන් අනතුරුදායක ග්‍රහකයක් (PHA) ලෙස වර්ගීකරණය කර ඇතත්, එය පෘථීවියට තර්ජනයක් නොවන බවත් නාසා ආයතනය ඉදිරි වසර 100 සඳහා පෘථිවිය ග්‍රහක බලපෑම් වලින් ආරක්ෂිත බව ප්‍රකාශ කර ඇති බවත් දක්වා තිබුණා. මෙම ග්‍රාහකය සමීප වීම හේතුවෙන් පෘථිවියට බලපෑමක් ඇති විය හැකි බවට එම වාර්තා වල දක්වා නොතිබුණි. මෙම තොරතුරු රැගත් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අප නාසා ආයතනයේ වෙබ් අඩවිය පිරික්සීමේදී දැක ගන්නට ලැබුණේ, නාසා හි ග්‍රාහක පිළිබඳ සෙවුමේ මෙම ග්‍රාහකය 2021 දෙසැම්බර් 17 වන දා දක්වා ඇති බවයි.

NASA|Archived Link

අප මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා නාසා ආයතනයෙන් විමසීමක් කළ අතර, පෘථිවියට ආසන්න වස්තු අධ්‍යයන මධ්‍යස්ථානයේ (Center for Near Earth Object Studies) අධ්‍යක්ෂ Paul Chodas මහතා විසින් අප වෙත පැහැදිලි කරනු ලැබුවේ, 163899 (2003 SD220) නමැති මෙම ග්‍රාහකය සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයින් වසර 20කට ආසන්න කාලයක් ලුහුබැඳ පරීක්ෂා කොට එහි ගමන් පථය නිවැරදිව හඳුනාගෙන ඇති බවත්, එම ග්‍රාහකය කිසිදු විටෙක සෘජුව පෘථීවිය දෙසට ගමන් නොකරන බවත් ය. එය දෙසැම්බර් 17 වන දින කිලෝමීටර මිලියන 5.4 කට නොඅඩු දුරකින් අපගේ ග්‍රහලෝකය පසුකර යනු ඇති අතර 2018 දී එය පෘථිවියෙන් අඩක පමණ දුරින් ගමන් කළ නමුත් අවම වශයෙන් ඉදිරි වසර සියය තුළ එම දුරට වඩා සමීපව ගමන් කළ නොහැකි අතර එයට අපගේ ග්‍රහලෝකයට බලපෑම් එල්ල කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

දශක දෙකක කාලයක් තිස්සේ එම විශාල ග්‍රාහකයාගේ පිහිටීම පිළිබඳ දහසකට අධික නිරවද්‍ය මිනුම් වලින් මනිමින් ඒ පිළිබඳව තොරතුරු තහවුරු කර ගත් බවත්, එහි උස ප්‍රමාණයද විශාල වන අතර, සමහර විට දිග කිලෝමීටර 1 කට වඩා වැඩි බවත් එහි පළලින් අඩක් විය හැකි බවත්, එය Burj Khalifa හි උසට වඩා තරමක් දිගු වන බවත් ඔහු පවසනවා.

එය මධ්‍යම ප්‍රමාණයේ පෘථිවි ආසන්න වස්තුවක් (Near-Earth Object - NEO) වන අතර මෙම ග්‍රාහකයට වඩා විශාල NEO දහසකට වඩා ඇති බවත්, 95% කට වැඩියෙන් මෙවැනි බොහෝ විශාල ග්‍රාහකයන් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඒවා පසුපස ලුහුබඳිමින් පරීක්ෂණ කටයුතු කර බවත් තවමත් සොයා ගැනීමට ඇත්තේ කුඩා ග්‍රාහකයන් සංඛ්‍යාවක් පමණක් බවත් Paul Chodas මහතා අවධාරණය කළා. 

Asteroid {{mp|2003 SD|220 radar images (15–17 December 2018)

(Wikipedia)

මේ අනුව පෙනී යන්නේ, එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා 163899 (2003 SD220) නමැති විශාල ග්‍රාහකයෙක් පෘථීවිය පසුකර ගමන් කරන බවත් 2018 දී එය පෘථිවියෙන් අඩක පමණ දුරින් ගමන් කළ නමුත් අවම වශයෙන් ඉදිරි වසර සියය තුළ එම දුරට වඩා සමීපව ගමන් කළ නොහැකි අතර එයට අපගේ ග්‍රහලෝකයට බලපෑම් එල්ල කළ නොහැකි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලොව විශාලම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලිෆා ගොඩනැගිල්ලට වඩා උසින් යුත් ග්‍රාහකයෙක් දෙසැම්බර් 17 වන දින පෘථිවිය දෙසට පැමිණෙන බවත්, එම ග්‍රාහකයේ ගමන්මග දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු අඟවා ඇති බවට පළ වන සටහන නොමග යවන සුළු බවයි.

බර්ජ් කලිෆා ගොඩනැගිල්ලට වඩා උසින් යුත් විශාල ග්‍රාහකයෙක් දෙසැම්බර් 17 දින පෘථිවිය පසු කර ගමන් කිරීමට නියමිත වුවද, එම ග්‍රාහකයාගෙන් මෙම අවස්ථාවේ හෝ ඉදිරි වසර 100 තුළදී කිසිදු බලපෑමක් පෘථිවියට එල්ල නොවන බවයි නාසා ආයතනයේ පෘථිවියට ආසන්න වස්තු අධ්‍යයන මධ්‍යස්ථානයේ (CNEOS) අධ්‍යක්ෂ Paul Chodas පවසන්නේ.

Avatar

Title:දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading