Update :

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා.

srilankacricket.lk| Archived Link

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා.

සමුගැනීමට ගත් තීරණය පිළිබඳ සිතාබලන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණු අතර ක්‍රීඩා අමාත්‍යවරයා සහ භානුක රාජපක්ෂ අතර ඊයේ (12) අරලිගහ මන්දිරයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විස්මයට පත් කරමින් ක්‍රිකඩ් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා. එම උණුසුම පහව යන්නටත් කලියෙන් භානුක රාජපක්ෂ විසින් එම තීරණය ඉල්ලා අස් කරගෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මේ Fact Crescendo අප එහි සත්‍යතාවය පිළිබඳ කරන ලද කරුණු පැහැදිලි කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇති බවත්, එමෙන්ම ඔහු එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාද නම් කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූවා.

ඉංග්‍රීසි බසින් සටහන් කර ඇති එම සටහනේ, සිංහල බසින් දක්වා තිබුණේ, “කියලා ආරංචියක් ආවෝතින් කොහොමද” යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටමන 1100 ට අධික ෆේස්බුක් පරිශීලිකයින් අතර සංසරණය වී තිබුණා.

තවත් වෙබ් අඩවි සටහනක් මගින් මෙම භානුක රාජපක්ෂ ගැන ඇහෙන සතුටුදායක පුවතක් යනුවෙන් සඳහන් කරමින් ඔවුන්ගේ වෙබ් අඩවි සබැඳිය දක්වමින් වැඩිදුර විස්තර දක්වා තිබුණා.

Facebook | Archived Link

එම වෙබ් අඩවියේ දක්වා තිබුණේ, මෙලෙසින්.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, අදාල තීරණය පිළිබඳ යළි සළකා බලන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම ඔහු එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාද නම් කර ඇති බව සඳහන්.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා සිදුකරුනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත භානුක රාජපක්ෂ සිය ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ තීරණය ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණේ පෙරේදා දිනයේදී.

මේ අතර භානුක රාජපක්ෂගේ තීරණය සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස ප්‍රවීන ක්‍රීඩක ලසිත් මාලිංගද සිය ට්වීටර් ගිණුම හරහා ඉල්ලීමක් කර තිබුණා.

රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කළේ ජාත්‍යන්තර තලයේදී රට නියෝජනය කිරීම අසීරු කාර්යයක් වන අතර එහිදී විවිධ අභියෝග පැමිණෙන බවයි.”

gossiplankanews.lk | Archived Link

ඒ ඔස්සේ ෆේස්බුක් පරිශීලිකයින් විසින් එම පුවත සම්බන්ධ සටහන් ෆේස්බුක් හි සටහන් සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්.

පසුගිය 05 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට පසුගිය 05 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වූ බවයි.

තමන් පීතෘත්වයේ වගකීම් දැරීමට සූදානමින් සිටින බැවින් සහ සිය පවුලේ වගකීම් ගැනත් සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගත් බවට භානුක රාජපක්ෂ විසින් දැන්වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

මේ පිළිබඳව පුවත් වෙබ් අඩවිද වාර්තා කර තිබුණා.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා පෙන්වා දුන්නේ, භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නො හැකි වනු ඇති බවයි.

hirunews.lk | Archived Link

භානුක රාජපක්ෂ හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුගැනීමට හේතු වු බවට පැවසෙන skinffold test යනු ශරීරයේ මේද ප්‍රමාණය සළකා බැලෙන පරීක්ෂණය වන අතර එහි සමත් මට්ටම පෙර 85 ක් ලෙස පැවතියද එය මෙවර සමත් මට්ටම 70 ක් ලෙස නම් කර තිබෙනවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින්. Archived Link

කෙසේ වෙතත් මෙම පුවතත් සමගින් මෙරට ක්‍රීඩා ලෝලින් ශෝකයට පත් වූ අතර එහි උණුසුම වියකෙන්නට කලින් නැවතත් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණය ඉල්ලා අස් කරගත් බවට ෆේස්බුක් සටහන් සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කරනු ලැබුවා.

මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් විමසීමට අප ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම උත්සහය ව්‍යර්ථ වුණා.

ඉන් අනතුරුව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එවන් නිල තොරතුරක් තමන්ට මෙතෙක් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දන්වා නොමැති බවයි.

එමෙන්ම එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ක්‍රීඩා මාධ්‍යවේදී දනුෂ්ක අරවින්ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම භානුක රාජපක්ෂ ට සමුනොගන්නා ලෙස බලකරමින් ක්‍රීඩා ලෝලීන් #dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද දියත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇති බවට නිල වශයෙන් මේ වන තෙක් සඳහන් කර නොමැති අතර එසේ සිදුවුවහොත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer