ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි.

මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවකදී බොරු කීමේ කර්ම විපාකයක් ලෙස ගැහැණු දරුවන් උපදින බව උන්වහන්සේ දේශනා කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහන් රැසක් පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබිණ.

Facebook | Archived

මෙම සටහන් මඟින් දක්වා තිබුණේ දුවෙක් යම් පවුලකට උපදුනේ නම් එයට හේතු වී තිබුනේ එකී දෙමව්පියන් සංසාරේ සිදුකළ මුසා කර්මයක් හේතුවෙන් බවයි

මේ සම්බන්ධයෙන් පළවූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived Facebook | Archived

උපහාසාත්මක කෝණයෙන් යුතුව මෙහිදී දක්වා තිබු කරුණ ස්වාමීන් වහන්සේගේ පුද්ගලික මතයක් සේ හැගවෙන සේ වීඩියෝවක් පළව තිබුණේ මේ ආකාරයෙන් . Facebook | Archived

මේ පිළිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වූ ධර්ම දේශනාව:

අප මුලින්ම වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සිදු කළ, පහත දැක්වෙන සම්පූර්ණ දේශනාව ඇතුලත් වීඩියෝ පටය සොයා පරීක්ෂා කර සිටියා.

https://youtu.be/j0g1cJ4-Wms?t=2777

එම වීඩියෝ පටයෙහි ධර්ම දේශනාවට මුල් වී තිබු ජාතක කථාව ලෙස සදහන් වන්නේ චෙතිය ජාතකයයි. එහි ත්‍රිපිටක මූලාශ්‍රය සොයා ගිය අපට දැකගන්නට ලැබුණේ මෙය ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතක පාලියේ අට්ඨක නිපාතයට අයත් චේතිය ජාතකයට අයත් ගාථා පාඨ්යන් පදනම් කරගනිමින් දක්වා තිබු ධර්ම කරුණක් ඔස්සේ වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ දේශනයක් වන බවයි.

ඒ අනුව මෙය ස්වාමීන් වහන්සේගේ පුද්ගලික මතයක් නොව ත්‍රිපිටකයේ සදහන් වන කරුණක් ඇසුරු කරගෙන පැවසූ කරුණක් බව පැහැදිලියි. ත්‍රිපිටකය තුළ මෙම දහම් කරුණ පවතින ජාතක පාලියේ චෙතිය ජාතකය(422)ට අදාළ කොටසට පිවිසිය හැකියි මෙතනින්. කුරුණෑගල යුගයේදී ජාතක පාලිය ඇසුරින් නිර්මාණය කෙරුණු පන්සිය පනස් ජාතක පොතේ ඇති චේතිය ජාතක කතාව කියවිය හැකියි මෙතනින්.

උපුටා ගැනීම -චෙතිය ජාතකය (ජාතක පාළිය)

වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ

සමාජයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ උන්වහන්සේගේ ධර්ම දේශනාවේ දියණියන්ගේ උත්පත්තිය සහ බොරුවේ ආදීනව පිළිබඳව කොටස පිළිබදව ශ්‍රද්ධාසීල හිමියන් විසින් පසුව පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහිදී උන්වහන්සේ පවසන්නේ අසත්‍ය කතා කරන පුද්ගලයින් හට පිරිමි දරුවන් / පුතුන්ද ඉපදීමේ හැකියාවක් ඇති බවයි. එම වීඩියෝව පහතින්.

මෙම වීඩියෝව මගින් උන්වහන්සේගේ චෙතිය ජාතකය පිළිබද සම්පූර්ණ ධර්ම දේශනාවම ශ්‍රවණය කරන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. එවිට මෙම ගැටලුව ඇති නොවන බව පවසනවා.

එහෙත් උන්වහන්සේගේ සම්පූර්ණ ධර්ම දේශනාවේ බොරු කියන අයට විශේෂයෙන්ම පුතුන් ලැබෙන බවක් සදහන් වී තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේනමුත් බොරු කියන අයට දරුවන් නොලැබිය හැකි බවත් දරුවන් ලැබුනත් ඔවුන් අකීකරු වන බවක් එහි සදහන් වී තිබුණා.

පුජ්‍ය මාතර විජයසීහ හිමි

එසේම මේ පිලිබඳ අදහස් දක්වමින් පුජ්‍ය මාතර විජයසීහ හිමි කරුණු පැහැදිලි කර සිටියේ රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචිත ග්‍රන්ථයක් පරිශීලනය කරමින් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ සිදුකළ ධර්ම දේශනාවක දී මෙම ආන්දෝලනාත්මක කරුණ මතුව තිබු බවයි.

මේ අනුව උන්වහන්සේ ද පවසා සිටියේ කරමින් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ දේශනා කල කරුණ ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් බොහෝ දෙනා තුළ සමාජයේ කැළඹීමක් ඇතිව තිබු බවත්, බොරු කීමේ විපාකයක් ලෙස ගැහැණු දැරියක උපදිය හැකි හෝ නොහැකි බවත්, මෙය තර්කානුකුල කරුණක් බවත්, එය වෙනත් ආකාරයෙන් වඩාත් පැහැදිලි කරමින් ඉදිරිපත් කෙරුනේ නම් මෙවැනි ප්‍රශ්නගත තත්වයක් ඇති නොවනු ඇති බවයි.

එසේම ඉහත ග්‍රන්ථයේ කරුණු අතර බොරු කීමේ ආදීනව අතර ඉදිරි ආත්මයක දී ගැහැණු දරුවකු ලැබිය හැකි බවත් සඳහන් වුවද මෙය තර්කානුකුල කරුණක් බවත් ඊට වඩා ලැබිය හැකි ආදීනව රැසක් ගැන ද සඳහන් බව උන්වහන්සේ පැහැදිලි කර සිටිනවා. දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් තුළින් මාතර විජයසීහ හිමි පවසා සිටියේ කාන්තාවක් හෝ පිරිමෙයෙක් වී ඉපදීම විශාල භාගයක් බවත් එය කර්මානුරුපී බවයි.

ආවේණික දුක්ඛ සුත්‍රය උපුටා දක්වමින් ද පිරිමියෙකු ට අත්විඳීමට නොලැබෙන ගැහැණියකට අත්විඳීමට සිදුවන දුක් වර්ග 5 ක් ගැන ද ඇතුළු එම සම්පුර්ණ ධර්ම දේශනාව පහතින්.

https://youtu.be/5bQcwYTpDu4?t=363

තලාවේ සුමනරතන හිමි

මේ පිළිබදව අප විසින් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන තලාවේ සුමනරතන හිමියන්ගෙන් විමසා බැලුවා. චෙතිය ජාතකයේ මෙවැනි සටහනක් පවතින බව පිළිගත් උන්වහන්සේ, කෙසේ වෙතත් ත්‍රිපිටකයේ සදහන් කරුණු වුව ද අර්ථකතනය කිරීමේදී ප්‍රවේසම් සහගත විය යුතු බව පවසා සිටියා.

එසේම බොරු කියන පුද්ගලයන්ගේ දරුවන් නියත වශයෙන්ම කාන්තාවන් වී උපදින බව මේ චෙතිය ජාතකයෙන් අදහස් නොවන බවත් උන්වහන්සේ පැවසුවා. එමෙන්ම මෙම දහම් කරුණු වල අරුත පැවසීමේදී ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, ත්‍රිපිටකයේ අනෙත් ස්ථානවල සදහන් දේශනාවල අඩංගු කරුණු පිළිබදවත් අවධානය යොමු කොට අරුත් පැවසිය යුතු බවයි උන්වහන්සේගේ අදහස.

බොරු කීම නිසාම ගැහැණු දරුවන් ලැබීම නියතියක් නම් ලෝකයේ මේ වන විට පුරුෂ ජනගහනය ඉතා අල්ප විය යුතු බවත් දියණියන් ලැබීම් සදහා බොරු කීම පමණක් නොව තව බොහෝ කරුණු සමෝධානිකව කර්මානුරූපව බලපාන බවත් උන්වහන්සේගේ පැහැදිලි කර සිටියා.

එමෙන්ම කාන්තාවක් වී ඉපදීම අදාල දෙමාපියන්ගේ හෝ දරුවාගේ අකුසල කර්මයක විපාකයක් ලෙස සෑම විටම පැවසිය නොහැකි බවත් පැවසූ උන්වහන්සේ සිදුහත් කුමාරයාගේ මව වන මහාමායා දේවිය බුද්ධ මාතාවක් වී උපත ලැබීමම උපාදානයක් කරගෙන සංසාරයේ බොහෝ කුසල කර්ම සිදු කර ඇති බවත් එම කුසල කර්ම වල විපාකයක් ලෙස කාන්තාවක් වී ඉපදුනු බවත් උන්වහන්සේ පැවසුවා.

නමුත් පුරුෂයන් විසින් කාමය වරදවා හැසිරීමේ වරද ආදී වැරදි කිරීමේ අකුසල විපාකයක් ලෙස අනාගත බව වල කාන්තාවන් වී ඉපදී සාමාන්‍ය කාන්තාවක් විසින් මුහුණ දෙන දුක් පීඩාවලට වඩා බොහෝ දුක් පීඩාවලට ලක්විය හැකි බවද ධර්මයේ සදහන් වන බවයි සුමනරතන හිමියන් පැවසුවේ.

නිර්වාණ ධර්ම සදහන් ව්‍යාපාරයේ නිර්මාතෘ - කාන්තා දේශක රජිතා විදුරංසි

මේ සම්බන්ධයෙන් කාන්තා දේශකවරියකගේ ද අදහස් දැනගැනීමට අප සම්බන්ධ කරගත්තේ නිර්වාණ ධර්ම සදහන් ව්‍යාපාරයේ නිර්මාතෘ, බුදු දහම පිළිබද කාන්තා දේශකවරියක් වන රජිතා විදුරංසි වයි.

ඇය පැවසුවේ සද්ධාශීල ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිපිටක ග්‍රන්ථයක් ඇති කරුණක මතුපිට අරුත (Literal Meaning) ගැනීම නිසා මෙම වියවුල්කාරී තත්ත්වය ඇතිව ඇති බවයි.

ස්ත්‍රී ආත්ම භාවයන් ලැබීමට මෙන්ම පුරුෂ ආත්ම භාවයන් ලැබීමටත් විවිධ හේතු සාධක බලපාන බව පැවසූ ඇය හේතූන්ගේ ඵලයක් ලෙස උපත සිදුවන බවත් පැවසුවා. එමෙන්ම මෙම ජාතක දේශනාව තුළ බොරු කියන පුද්ගලයන්ට පිරිමි දරුවන් කිසිසේත්ම ඇති නොවන බවක් සදහන් නොවන අතර පිරිමි දරුවන් ඇති වුවත් ඔවුන් අකීකරු වන බවත් සදහන්ව ඇති බවත් පැවසුවා. එමෙන්ම ඇය පැවසුවේ මෙම ජාතක කතාවේදී බොරු කීම මගින් එම පුද්ගලයාට දියණියන් ලැබෙන බවත් පුතුන් නොලැබෙන බවත් සදහන් කර ඇත්තේ කෙලෙස් සහිත බෝධිසත්ව වරයෙක් වන කපිල තාපසයා (බුදුන් වහන්සේගේ පෙර භවයක ) විසින් චේතිය රජුට සිදු කරන ලද අවවාදයක් ලෙස බවත් එවැනි කරුණක් සම්පූර්ණ සත්‍යයක් ලෙස ධර්මයට අනුව පිළිගත නොහැකි බවයි.

සම්පූර්ණ සත්‍යයක් ලෙස පිළිගත හැක්කේ බුදුන් වහන්සේ විසින්  ලබාදෙන අවවාදයක් /උන්වහන්සේ විසින් පවසන යම් උපදෙසක් පමණක් බවත් ඇය පැවසුවා.

වල්පොල රාහුල ධර්ම පර්යේෂණායතනය

ඉන් පසුව අපගේ අවධානය යොමුවූයේ වල්පොල රාහුල ධර්ම පර්යේෂණායතනය මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා තබා ඇති සටහනක් පිළිබදවයි.

මේ ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහසයි.

“දරුවන් ලෙස ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසට යැයි භික්ෂුවක කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලවල සාකච්ඡාවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනය හදාරමින් සිටින අතර ඉදිරියේ දී වඩාත් ශාස්ත්‍රීය වූ පිළිතුරක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරමු.

දැනට අපට පැවසිය හැක්කේ මේ භික්ෂුව ප්‍රකාශකරන අදහස මුල්බුදුසමයේ එන අදහසක් නොවන බවයි.

බෞද්ධ සාහිත්‍යයට ඓතිහාසික වර්ධනයක් ඇති අතර එම ඓතිහාසික වර්ධනය ගැන දැනුමක් නැතිව කටයුතු කරන්නට ගිය විට පාලියෙන් ඇති සියල්ල බුද්ධභාෂිත ලෙස පිලිගැනීම සිදුවෙයි. මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ද එයයි.

මුල් බුදුසමය ලෙස සැලකෙන්නෙ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකායේ ඇතැම් කොටස්ය. ඛුද්දක නිකායේ ජාතක පාලිය ඇතුළු කොටස් කිහිපයක් මුල් බුදුසමයට අයත් ලෙස සැලකෙන්නේ නැත.

මුල්බුදුසමයට අයත් අංගුත්තර නිකායේ බොරු කීමෙහි විපාක ලෙස දැක්වෙන්නේ බොරු කියන්නා නිරයගාමී වන බව සහ අභූත චෝදනාවලට ලක්වන බවයි. එයට වැඩි වෙනත් කිසිදු විපාකයක් එහි විස්තර නොවේ.

මුල්බුදුසමයේ එන ඉහත කී අදහසෙ පසුකාලීන වර්ධනය මුලින්ම හමුවන්නේ ජාතක පාලියෙහි (චේතිය ජාතකයෙහි) ය. එය ඛුද්දක නිකායට අයත් පසුකාලීන සාහිත්‍යයට අයත් කෘතියකි. එහි බොරුකීමේ විපාක ලෙස ගැහැනු දරුවන් ලබන බව විස්තර වේ. එය තව දුරටත් වර්ධනය වීම ජාතක අ‍ටුවාවෙන් (ක්‍රි.ව. 5 සියවස පමණ සම්පූර්ණ වූ පසුකාලින සාහිත්‍යයකි) දැකිය හැකිය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1800 කට පමණ පසු එනම් පොළොන්නරු යුගයේ ලියැවුණු උපාසක ජනාලංකාරය නම් කෘතියේ එය තවදුරටත් වර්ධනය කොට, ගොත වීම, අශෝභන දත් ඇති වීම වැනි විපාක දක්වා ඇත.

රේරුකානේ චන්දවිමල හිමි විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නම් කෘතියට පාදක කොට ගෙන ඇත්තේ ජාතක අ‍ටුවාව හෝ උපාසක ජනාලංකාරයයි. (එය පරීක්ෂා කිරීමෙන් පසුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු).

ආගමික සාහිත්‍යයට ඉතිහාසයක් ඇති බව දැනගැනීමට එය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍යය. එබඳු පුහුණුවක් නැති අය ධර්ම දේශකයන් වීම නිසා සමාජයට සිදුවන හානිය අති මහත් ය”

Facebook | Archived

හාරිත ජාතක අටුවාවේ දැක්වෙන්නේ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු කිසි දිනක අසත්‍ය වදන් පවසා නැති බවයි. ඒ සම්බන්ධ වැඩි විස්තර මෙතනින්. නමුත් වෙස්සන්තර ජාතකයේදී වෙස්සන්තර රජතුමාට කෘෂ්ණජිනා නම් දියණියක් සිටි බව ජාතක පාළියේ දැක්වෙනවා. එම කරුණ අනුවද පෙනී යන්නේ බොරු කීම නිසා අනිවාර්‍යයෙන්ම දියණිවරුන් ලැබෙන බව යම් අයෙක් පිළිගන්නේ නම් එම විශ්වාසය ත්‍රිපිටක ධර්මය තුළින්ම අභියෝගයට ලක්වන බවයි.

කෙසේ වෙතත් බුදුන් වහන්සේ විසින් කර්ම විපාක ආදිය සම්බන්ධයෙන් වැඩිදුර සිතීම එතරම් දිරිමත් කර නැහැ. උන්වහන්සේ අචින්ත්‍ය සූත්‍රය තුලින් පැහැදිලිවම පවසන්නේ කර්ම විෂය ආදිය පිළිබදව වැඩිදුර සිතීම මගින් උන්මත්තක බවට ද පත්විය හැකි බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!

By: Kalana Krishantha

Result: Explainer