කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් රුපියල් 1000/= ක් ඉල්ලා තිබෙනවා ඔහු රුපියල් 1000/= නොදීම හේතුවෙන් පිහියෙන් ඇන ගාතනය කර තිබෙනවා .(කටුනායක ප්‍රදාන මාර්ගයේ 18 කනුවේ අදිවේගි මාර්ගය අසල බස් නැවතුම් පලේදි) ඒ නිසා ගමන් යනවිට ප්‍රවේසම් වන්න.” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

WhatsApp ඔස්සේද, එම සටහන හුවමාරු වී තිබුණා.

ෆේස්බුක් ඔස්සේ පරිශිලකයින් එම සටහන සංසරණය කර ගෙන තිබූ අයුරු පහතින්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශ්වයන් කිහිපයක් දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින්(ATM) මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ඒ පසුපස පැමිණි පුද්ගලයෙක් එම පුද්ගලයාගෙන් රු.1000ක් ඉල්ලා එය නොදීම හේතුකොට ගෙන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කළ බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණයක් සිදු කළා. නමුත් එහිදී දැක ගන්නට ලැබුණේ, එවැනි පුවතක් වාර්තා වී නොමැති බවයි.

ඉහත සටහනේ එම සිදුවීම වී ඇත්තේ කටුනායක ප්‍රදේශයේ බවට සඳහන් කර තිබීම හේතුවෙන් අප කටුනායක පොලිස් ස්ථානාධිපතිගෙන් මේ පිළිබඳව විමසීමක් කළා.

කටුනායක පොලිස් ස්ථානාධිපති

මෙම ඝාතනය, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ආකාරයේ සිදුවීමක් නොව අධික ලෙස බීමත්ව සිටි යහළුවන් තිදෙනෙකු අතර සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් වූ ඝාතනයක් ලෙසයි පොලිස් ස්ථානාධිපතිවරයා අවධාරණය කළේ.

පසුගිය 26 වන දා මෙම තිදෙනා කටුනායක 18 කණුව අධිවේගි මාර්ග පිවිසුම අසළ සිට එකට පැමිණෙන අතර බස් රථයක් පැමිණේමේදී එක් පුද්ගලයෙකු බස් රථයට ඇතුළත් වීමට පියවර ගන්නා අතර එක් පුද්ගලයෙක් බස් රථයට ඇතුල්වීමට යාමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා එම පුද්ගලයාට බස් රථයට නැග යාමට නොහැකි වන ලෙස එය වැළැක්වීමට උත්සහ කර ඇති අතර ඔහු නැවත බස් රථයෙන් බැස ඝාතනයට ලක් වූ පුද්ගලයා ළඟ තිබූ උල් ආයුධය(පිහිය) රැගෙන ඝාතනය ලක් වූ පුද්ගලයාගේ කලවා වලට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා මීටර් 50 ක් පමණ දුරකින් පැමිණ අතර ඔහුව එම ස්ථානයේ සිටි ජනතාව අල්ලාගෙන තිබේ. ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා බස් රථයට ඇතුල් වී තිබේ. කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා නිවසේ සිටි අතර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව ඔහු දැන නොසිටි බවක් පැවසු බවයි කටුනායක ස්ථානාධිපතිවරයා පවසා සිටියේ.

කෙසේ වෙතත් බස් රථයට එම ඝාතනය සිදුවීමේ දර්ශන වැසෙන නමුත්, මෙම තිදෙනා ඝාතනය සිදුවූ බස් නැවතුම්පොළේ අනෙක් පස මාර්ගයේ ඇති ATM යන්ත්‍රය දෙසට ගමන් නොකරන බවත්, මොවුන් තිදෙනා 18 කණුව අධිවේගි මාර්ග පිවිසුමේ මාර්ගයේ සිට එම සිදුවීම වූ ස්ථානය දක්වා ඇවිදිමින් එන දර්ශන CCTV ඔස්සේ දිස්වෙන බවත් සඳහන් කළා.

එම පුද්ගලයා බේරා ගැනීමට අවස්ථාව තිබියදීත්, බොහෝ පිරිසක් එම සිදුවීම වීඩියෝ කරමින් පමණක් සිට ඇති අතර එම පුද්ගලයා මිය ගොස් තිබුණේ අධික ලෙස රුධිරය වහණය වීම නිසා බවත්, රෝහල් වෛද්‍යවරයා සඳහන් කළ බවත් එම ස්ථානයට පොලීසිය පැමිණෙන තුරු එම පුද්ගලයාව බේරා ගැනීමට කිසිදු පුද්ගලයෙක් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් බවයි ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

සිදුවීම සම්බන්ධයෙන් ඉතිරි පුද්ගලයන් දෙදෙනා ද, අත්අඩංගුවට ගෙන තිබේ. අධික බීමත්කම හේතුවෙන් ඇති වූ ආරවුලක් බවත් චේතාන්විත මිනිමැරුමක් නොවන බවත් ඔහු සඳහන් කළා.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මේ පිළිබඳව පසුගිය 27 වනදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ එම ඝාතනය පිළිබඳ සඳහන් වූ කොටස පහතින්.

Police.lk

මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

සිදුවීම වූ ස්ථානය අසළ ප්‍රදේශවාසීන්

කෙසේනමුත් මෙම සිදුවීම වූ ස්ථානයේ ආසන්නයේ ඇති සාප්පුවකින් ද අප මේ පිළිබඳව විමසීමක් කළා.

එම ස්ථානයේ සේවකයින් සඳහන් කර සිටියේ, මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මීට පෙර අවස්ථාවකදී ද, ඉන්ධන පිරවුම්හලක සිදුවූ හෙල්මට් සොරකමකට සම්බන්ධ බවක් වාර්තා වූ බවයි.

එසේම අදාළ සැකකරුවන් දෙදෙනා වයසින් අඩු තරුණයින් වන අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔවුන්ට වඩා වයසින් වැඩි මැදි වියේ පුද්ගලයෙකු බවත්, ඒ අනුව ඔවුන් යහළුවන් බවට පැවසීමට අපහසු බවත් ඔවුන් පවසා සිටියා.

එමෙන්ම එම ප්‍රදේශයේ ATM අසළ දී මුදල් ලබා ගන්නා අයගේ මුදල් මංකොල්ල කෑම් බොහෝ අවස්ථා වලදී සිදුවන බවත් ඔවුන් සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද?

By: Pavithra Sandamali

Result: Explainer