වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස අප පාඨක ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එවැනි ජාවාරමක් පිලිබඳ ලංකාවෙන් වාර්තා වූ අවස්ථාවක් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ මෙලෙසින්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අවපාතය නිසා බොහෝ දෙනා ජිවත් වන්නේ ජිවන වියදම දරා ගැනීමට හෝ නොහැකිව අධික පීඩනයක් තුලයි. එවන් වටපිටාවක් තුළ මුදල් සෙවීමේ විවිධ විධික්‍රම සම්බන්ධයෙන් සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා. අප මේ අවධානය යොමු කරන්නේ අවයව ජාවාරම්කරුවන්ට පුරුෂ ප්‍රජනන පද්ධතියේ වැදගත් අවයවයක් වන වෘෂණ කෝෂ විකිණීම මගින් විශාල මුදලක් උපයා ගත හැකි බවට සමාජ ජාලාවල පළවන සටහන් සම්බන්ධවයි.

සමාජ ජාලා සටහන්

වෘෂණ කෝෂ යුගලක්, අවයව ජාවාරම්කරුවන්ට විකිණීම මගින් ඇමෙරිකානු ඩොලර් 50,000 ක් ,180,000 අතර මුදලක් (ලංකාවේ මුදලින් අවම වශයෙන් රුපියල් කෝටියකට වඩා) ඉපයීමේ හැකියාවක් සහිත බව සමාජ ජාලා සටහන් වල තිබුණා. ඒවායේ වැඩිදුරටත් උපහාසාත්මකව කියවුනේ මෙය ලංකාවේ මේ දිනවල පවතින ඩොලර් සංචිත හිගයටත් විසදුමක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසදුමක් .

නිරෝගී පුද්ගලයන්ගේ වෘෂණ කෝෂ දෙක අවයව ජාවාරම්කරුවන්ගේ කලු කඩ තුළ ඇමෙරිකානු ඩොලර් 50,000 ක්, 180,000 අතර එනම් අවම වශයෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලකට අලෙවිවේ. විශේෂත්වය නම් මෙහිදී වැඩිම මුදලක් ඔවුන් වම් වෘෂණ කෝෂයට ගෙවීමයි. එයට හේතුව වම් වෘෂණ කෝෂය දකුණු වෘෂණ කෝෂයට වඩා විශාල වීම සහ වැඩිපුර ශුක්‍රාණු නිෂ්පාදනය කිරීමයි .

ලංකාවේ 40% ක් වූ පිරිමින් විසින් එක වෘෂණ කෝෂය බැගින් විකුණුවහොත් අපේ ඩොලර් ගැටලුව ඉක්මනින් විසදෙනු ඇත. රටට අවශ්‍යම මොහොතේ ඔබේ ඇටයක් කැපකර මුතු ඇටය බේරාගමු.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් වල ව්‍යාප්තව පැවතියේ මේ ආකාරයෙන් .

මේ කරුණම විවිධාකාරයේ වීඩියෝ ඔස්සේ ද උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වී තිබුණා.

මේ පිලිබදව කරුණු විමසුමක් කිරීමට අප තීරණය කළා .

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

පිරිමින් ගේ ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියයන් අතර වෘෂණ හා වෘෂණ කෝෂ වැදගත් ස්ථානයක් හිමි කරගනියි. සාමාන්‍යයෙන් පුරුෂයෙකුට වෘෂණ යුවලක් පවතින අතර පුරුෂ ලිංගිකත්වය හා සම්බන්ධ කාර්යයන් රැසක් ඉටුකරන ටෙස්ටෙස්ටෝරෝන් හෝමෝනය ශ්‍රාවය , සුක්‍රානු නිපදවීම ආදී වැදගත් කාර්යයන් රැසක් වෘෂණ කෝෂ මගින් සිදුවේ. මේ සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

ලෝකයේ මේ ආකාර වෘෂණ කෝෂ ජාවාරමක් පවතී ද , වෘෂණ කෝෂ බද්ධයන් , වකුගඩු ආදී අනෙකුත් අවයවයන් බද්ධ කිරීම් මෙන් සුලබව සිදුවේද ? එහි නීතිමය පසුබිම කෙබදු ද ? මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් ...

සමාජ ජාලා සටහන් වල වෘෂණ කෝෂ විකිණීම මගින් ඩොලර් දහස් ගණනක් ඉපයිය හැකි බවට සදහන්ව තිබුණ ද ,ඇමෙරිකා එක්සත් ජනපදය ආදී ලෝකයේ බොහෝ රටවල බද්ධ කිරීමේ අරමුණ උදෙසා අවයව විකිණීම නීති විරෝදී ක්‍රියාවක් ලෙස සැලකේ.

වෘෂණ කෝෂ බද්ධ කිරීම් සුලබ ද ? බද්ධ කිරීම සදහා පරිත්‍යාග කල හැකි ද ?

ඉතා කලාතුරකින් අවස්ථාවකදී හැර වෙනත් අවස්ථාවකදී වෘෂණ කෝෂ බද්ධ කිරීම් හෝ පරිත්‍යාග කිරීම් සිදු නොවේ. න්‍යායාත්මකව බැලීමේදී වෛද්‍ය පර්යේෂණයක දී හෝ යම්කිසි ආබාධ තත්ත්වයක් නිසා වෘෂණ වල ක්‍රියාකාරිත්වය අඩපණ වූවකු වෙනුවෙන් වෘෂණ කෝෂ පරිත්‍යාග කල හැකි වුවත් ප්‍රායෝගික භාවිතයේ දී එවැන්නක් සිදු වීමේ හැකියව ඉතාමත් අඩුය.

වෛද්‍ය පර්යේෂකයන් සතුව මේ වන විට වෘෂණ වල ක්‍රියාකාරිත්වය සම්බන්ධ පුළුල් අවබෝධයක් ඇති නිසා ජිවතුන අතර සිටින පුද්ගලයෙක් පරිත්‍යාග කරන වෘෂණ කෝෂ පර්යේෂණ සදහා යොදාගන්නා වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම වෘෂණ කෝෂ වල ඇති ජනක සෛල මගින් සුක්‍රානු නිපදවන්නේ වෘෂණ කෝෂය අයත් පුද්ගලයාගේ ජාන සංයුතිය අනුවයි. යම් හෙයකින් එය වෙනත් පුද්ගලයෙක්ට කෘතිමව බද්ධ කලත් වෘෂණ කෝෂ වලින් නිපදවන සුක්‍රානු වල ජාන සංයුතිය කෝෂ පරිත්‍යාග කල පුද්ගලයාගේ ජාන සංයුතියම වේ . එම නිසා සුක්‍රානු සහ ඩිම්බ සංසේචනයෙන් බිහිවන දරුවාගේ පිය පාර්ශ්වයෙන් අයත් ජාන ලෙස හිමිවන්නේ අලුතින් වෘෂණ කෝෂ රෝපණය කරගත් පුද්ගලයාගේ ජාන නොව වෘෂණ කෝෂ වල මුල් හිමිකරුවාගේ ජානය. මෙවැනි සදාචාරාත්මක හේතු බොහොමයක් නිසා වෘෂණ කෝෂ බද්ධ කිරීම් සිදුව ඇත්තේ සමස්ත වෛද්‍ය ඉතිහාසයේම අතලොස්සක් පමණි .මේ සම්බන්ධ වැඩි දුර විස්තර ලබාගත හැකියි මෙතනින් .Archived

දන්නා ඉතිහාසය තුළ පළමු වෘෂණ කෝෂ බද්ධය සිදුව ඇත්තේ 1978 වසරේදීයි. ඒ සමනිවුන් දරුවන් දෙදෙනෙක් අතරයි. ඉන් එක දරුවෙකුට උපතේදීම වෘෂණ කෝෂ තිබී නැහැ. වෛද්‍යවරුන් සිදු කර ඇත්තේ අනෙත් දරුවාගෙන් වෘෂණ කෝෂයක් ලබාගෙන වෘෂණ කෝෂයක් නොමැති දරුවාට බද්ධ කිරීමයි. ඒ පිලිබදව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්.Archived.

දැනට වාර්තා වී ඇති දත්ත වලට අනුව ඉතිහාසයේ 3 වන වෘෂණ කෝෂ බද්ධය සිදුව ඇත්තේ 2019 වසරේදී යි. 36 හැවිරිදි පුද්ගලයකුට සර්බියාවේ වෙසෙන සිය සම නිවුන් සහෝදරයාගෙන් ලබාගත් වෘෂණ කෝෂයකි බද්ධ කර ඇත්තේ. ඒ සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

වෘෂණ කෝෂ වල වටිනාකම කොපමණද ?

සේවා ස්ථානයේ සිදුවන හදිසි අනතුරක දී වෘෂණ කෝෂ අනතුරට ලක්වුවහොත් හෝ එහි ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත් අදාල සේවකයාට ඔහු සේවය කරන සමාගම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් ඇතැම් ප්‍රාන්තවල දී වන්දියක් ගෙවන බවත් සාමාන්‍යක් වශයෙන් එහි උපරිම අගය ඇමෙරිකානු ඩොලර් විසිහත් දහසහක් පමණ බවත් සඳහන්. නමුත් එය කාලය සහ ප්‍රාන්තය අනුව වෙනස්විය හැකියි. මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ජීවත්වූ Mark Parisi නම් පුද්ගලයෙක් 2013 වසරේදී වෛද්‍ය පර්යේෂණයක් සදහා ඩොලර් 35,000 කට සිය වෘෂණ කෝෂයක් ඉවත්කරන ශල්‍යකර්මයක් සදහා සුදානමින් සිටියත් එම සැත්කම විවිධ හේතු මත ඉදිරියට ක්‍රියාත්මක වුයේ නැති අතර ඔහුට මුදල් ලැබීමක් ද සිදුව තිබුනේ නැහැ.ඒ පිළිබද විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived. මේ ඔස්සේ බොහෝ දුරට ඩොලර් 35,000 කට වෘෂණ කෝෂයක් විකිණීය හැකි යන සටහන් නිර්මාණය වී ඇති බව ද බොහෝ විට අනුමාන කෙරෙනවා.

2013 වසරේදී ඇමෙරිකාවේ පෙනිස්ල්වෙනියා ප්‍රාන්තයේදී ශල්‍ය වෛද්‍ය වරයෙකුට සිදුවූ අතපසුවීමක් නිසා රෝගියෙකුගේ වෘෂණ කෝෂ දෙකින්, සෞඛ්‍ය ගැටලුවක් ඇති ක්‍රියාකාරී නොවන වෘෂණ කෝෂයක් ඉවත් කිරීම වෙනුවට, සෞඛ්‍ය සම්පන්න හොදින් ක්‍රියාකරන අනෙක් වෘෂණ කෝෂය ඉවත්කිරීම නිසා, ප්‍රාන්ත අධිකරණය මගින් තීන්දුවක් ලබාදී තිබුණේ අගතියට පත්වූ රෝගියාට ඩොලර් 870,000 ක වන්දියක් ලබාදෙන ලෙසයි. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

මේ සම්බන්ධ සටහන් බොහෝ අවස්ථාවල ඉංග්‍රීසි බසින් ද හුවමාරු වී තිබු අතර 2015 වසරේ දී විමර්ෂණ කණ්ඩායමක් විසින් ඉංග්‍රීසියෙන් සිදු කල කරුණු විමසා බැලීමක් කියවිය හැකියි මෙතනින්.Archived

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය ):

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරුවූ කාරණය වන්නේ වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බවයි. වාර්තාගත මුලාශ්‍රවලට අනුව ඉතිහාසයේ මෙතෙක් සිදුව ඇත්තේ වෘෂණ කෝෂ බද්ධ අතලොස්සක් පමණි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු බොහෝ රාජ්‍යවල ශරීර අවයව විකිණීම තහනම් අතර වකුගඩු ආදී බද්ධ කිරීමට හැකි අවයව වුවත් බද්ධ කල හැක්කේ පරිත්‍යාග කළහොත් පමණි.

කෙසේ වෙතත් වෘෂණ කෝෂ යනු වටිනාකමක් නැති අවයවද නොවේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදය වැනි රටවල සේවයේ යෙදී සිටින කාලය තුළ යම් අනතුරක් සිදුවුවහොත් ආදාළ ප්‍රාන්තයට අනුව එම සේවකයාට අදාල සමාගම මගින් ඩොලර් දහස් ගණනක වන්දියක් හිමිවේ.

කෙසේනමුත් ඩොලර් හිගයට පිලියමක් ලෙස උපහාසාත්මක කෝණයකින් වෘෂණ කෝෂ විකිණීම ලංකාවට යෝජනා කරන සමාජ ජාල සටහන් වෙනත් මුහුණුවරින් වසර ගණනක් තිස්සේ හුවමාරු වී තිබෙනවා. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ජීවත්වූ Mark Parisi නම් පුද්ගලයෙක් 2013 වසරේ දී වෛද්‍ය පර්යේෂණයක් සදහා ඩොලර් 35,000 කට සිය වෘෂණ කෝෂයක් ඉවත්කරන ශල්‍යකර්මයක් සදහා සුදානමින් සිටීම ඔස්සේ නිර්මාණය වී ඇති බව බොහෝ විට උපකල්පනය කෙරෙන අතර එම සැත්කම ද සිදුව තිබුණේ හෝ ඔහුට මුදල් ලැබීමක් සිදුව තිබුනේ නැහැ.

Avatar

Title:වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි ද ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading